July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරාන නායකයාගේ අවමංගල්‍යය උළෙලේ වියදම ඩො. මිලියන 800ක්

1 min read

අලි කොමේනිගේ අවමංගල්‍යය උත්සවය පැවැත්වෙන අතරතුර තුර්කියේ ඇන්කරා නගරය බලා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිටත්ව ගියේ නේටෝ හවුලේ නායක සමුළුවට සහභාගි වීමටය.

ඉරානයට එරෙහි ඊශ්‍රායල එක්සත් ජනපද යුද්ධයේදී ජනාධිපති ට්‍රම්ප් නේටෝවේ සහයෝගය අපේක්ෂා කළද නේටෝව ජනාධිපතිවරයාට සහයෝගය දැක්වූයේ නැත. ඒ හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප් සහ නේටෝව අතර පසුගිය කාලයේ වර්ධනය වූයේ දැඩි මතභේදාත්මක තත්ත්වයකි. ජනාධිපතිවරයා නේටෝව තදබල ලෙස විවේචනය කළ අතර දෙගොල්ලෝ එකිනෙකා විවේචනය කරගත්හ. මේ ආකාරයට එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ නේටෝ නායකයන් හමුවීම මගින් පැහැදිලි වනුයේ හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ උද්ගත වී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් විසඳා ගැනීම සඳහා දෙපාර්ශ්වය එකට එක්ව වැඩකිරීමේ අවශ්‍යතාවය. ඉරාන උත්තරීතර නායකයාගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන අතර පසුගිය සඳුදා ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නැව් කිහිපයකට පහර දුන් බව එක්සත් ජනපද ඉහළ නිලධාරීන් සඳහන් කර තිබේ. එහෙත් එකී ප්‍රහාර හේතුවෙන් සැලකිය යුතු හානියක් සිදුව නැත. උත්තරීතර නායකයාගේ අවමංගල්‍යය උත්සවය අතරතුර ගැටුමක් ඇති කරගැනීමට ඉරානයට අවශ්‍යව ඇතැයි සමහර ජාත්‍යන්තර විශ්ලේෂකයෝ සඳහන් කරති. ඒ කෙසේ වෙතත් මෙම අවමංගල්‍ය උත්සවය ඉරාන ඉස්ලාමීය ජනරජය මහජනතාව අතර තම බලය තහවුරු කර ගැනීම සඳහා ඉතාම උපායශීලීව භාවිත කරන බව සමහර විචාරකයන්ගේ මතයයි. දින හයකට ආසන්න කාලයක් ඒ සඳහා වෙන්කර තිබෙන්නේ එකී දේශපාලන අරමුණ වෙනුවෙන් බව ඔවුන්ගේ අදහසයි. විශේෂයෙන් ඉරාන නායකයා හුදෙක් දේශපාලන නායකයකු පමණක් නොව ඉස්ලාමීය ආගමික නායකයකුද වන හෙයින් එවැනි අරමුණකට යොදාගත හැකි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඉරාන නායකයාගේ මෘත දේහය තැන්පත් කළ මංජුසාව හැරුණු විට ඔහුගේ කුඩා මිනිපිරියගේ දේහය තැන්පත් කළ කුඩා මංජුසාව බෙහෙවින් අවධානයට ලක්ව තිබේ. ඒ ආකාරයට ඉතාම සැලසුම් සහගතව අවමංගල්‍යය උළෙල කළමනාකරණය කර තිබෙන බව සඳහන් කළ හැකිය. විශේෂයෙන් ජූලි මාසය ඒ සඳහා වෙන්කර ගැනීම ද ඉතා උපායශීලීව ගනු ලැබූ පියවරක් බව සඳහන් කළ හැකිය. එයට හේතුව එකී මාසය ඉරාන ෂියා දින දර්ශනය අනුව ආගමික වශයෙන් ජීවිත පූජා කළ තැනැත්තන් හා සම්බන්ධ සමරන කාල පරිච්ඡේදයක් හෙයිනි.

ජනප්‍රිය පුවත්  ඉරාන නැවට පහර දෙන්න ඔත්තුව දුන්නේ ඉන්දියාවයි…! – ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි…

මේ අතර ඝාතනයට ලක් වූ උත්තරීතර නායක අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයේදී පැවැත්වූ පුවරුවල එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක් නොව, කොන්සර්වේටිව් විචාරක බෙන් ෂැපිරෝ, ක්‍රියාකාරිනී ලෝරා ලූමර්, ඊශ්‍රායල-ඇමරිකානු ප්‍රකෝටිපති මිරියම් ඇඩෙල්සන්, රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් සහ තවත් අය ඉරාන පළිගැනීමේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන අයුරු දැකගත හැකි විය. එය දේශපාලනිකව කරුණු සලකා බලා සකස් කළ ලැයිස්තුවක් බව සඳහන් කළ හැකිය.

ඉරාන උත්තරීතර නායකයාගේ අවමංගල්‍යය උත්සවයේ සඳහා ඉතා ඉහළ ජන සහභාගිත්වයක් අපේක්ෂා කළද අපේක්ෂා කළ මට්ටමේ ජනතා සහභාගිත්වයක් දැකගත නොහැකි බව සමහර මූලාශ්‍ර අනුව කල්පනා කළ හැකිය. ඉරාන දින දර්ශනය අනුව නිවාඩු දිනද ශෝක කාලය සඳහා ඇතුළත් කළද මහජන සහභාගිත්වය ඉරාන බලධාරීන් අපේක්ෂා කළ තරම් නොවන බව පෙනේ. එපමණක් නොව ඉරාන ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියදී උත්තරීතර නායකයා වෙනුවෙන් සුවිසල් අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීම සමහරුන්ගේ විවේචනවලට හේතු වී තිබේ. සමහර තොරතුරු මූලාශ්‍ර අනුව ඉරාන උත්තරීතර නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ වියදම ඩොලර් මිලියන 800කි. මෑත කාලයේ මියගිය ජාත්‍යන්තර මට්ටමේ නායකයන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා වියදම් කළ මුදලට වඩා මෙකී මුදල ඉහළ අගයක් ගන්නා බව විවේචකයන්ගේ අදහසයි. 2022 වසරේදී බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිනගේ අවමංගල්‍ය කටයුතු සඳහා වැයකර තිබෙන්නේ පවුම් මිලියන 162ක් වැනි මුදලකි. වර්තමාන මිල ගණන් අනුව එය ඩොලර් මිලියන 200 ක් වැනි අගයක් ගන්නා බව පෙනේ. ඉරාන මහජනතාව ආහාරපාන උද්ධමනය ඇතුළු ආර්ථික ගැටලු රැසකින් පීඩා විඳිති. එවැනි පසුබිමක මෙයට මාස හතරකට පමණ පෙර මියගිය උත්තරීතර නායකයා සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් සුවිසල් අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීම ජනතා විවේචනවලට හේතු වී තිබේ. එහෙත් ඉස්ලාම් පාලන අධිකාරියට තිබෙන බිය හේතුවෙන් එකී විවේචන එළිපිට පළ කිරීමට මහජනතාව බියක් දක්වති. රාජ්‍ය සේවකයන්, හමුදා සාමාජිකයන් ඇතුළු පිරිස්වලට අවමංගල්‍යය උත්සවයට සහභාගිවීම අනිවාර්ය හෙයින් ඔවුන් ඊට සහභාගී වන බව පෙනේ. මෙකී අවමංගල්‍යය උත්සවය ඉරාන ඉස්ලාම් ජනරජය තමන්ට තිබෙන ජාත්‍යන්තර සහයෝගය ප්‍රදර්ශනය කිරීමටද යොදාගෙන තිබෙන බව සඳහන් කළ හැකිය. එයට හේතුව රටවල් රැසක නායකයන් සහ නියෝජිතයන් අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමය. මියගිය උත්තරීතර නායකයාගේ අනුප්‍රාප්තිකයා වන ඔහුගේ පුත්‍රයා කිසිදු අවමංගල්‍ය කටයුත්තකට සහභාගි නොවීම ඉරාන ජනතාව තුළද බෙහෙවින් කතා බහට ලක්වී තිබෙන කරුණකි. කෙසේ වෙතත් අවමංගල්‍ය උත්සවයෙන් පසු ඉරානයේ තත්ත්වය කෙබඳු එකක් විය හැකිදැයි යන්න අවිනිශ්චිතය. බොහෝ දුරට උත්තරීතර නායකයාගේ දේහය මිහිදන් කළ පසු යළි ඉරානය සහ එක්සත් ජනපදය අතර ගැටුම් මතුවිය හැකි බව බොහෝ ජාත්‍යන්තර විවේචකයන්ගේ මතයයි.

ජනප්‍රිය පුවත්  බිලියන 40ක ඩබල් කැබ් ගන්න - ආණ්ඩුව දාපු අමුතු ඩෙන්ඩරය!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x