April 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පරලවීමට එරෙහිව සරලවීම

1 min read

මේ දිනවල බුකියේ මාතෘකාව ලාල් කාන්ත ය. මිහින්තලේ වනචාරියා යනුවෙන් භික්‍ෂූන් වහන්සේ නාමකරණය කරන ලද ලාල්, තමන් අලුතෙන් ඉදිකර පදිංචි වූ නිවසේ පින් අතේ වැඩක් කිරීම එයට හේතු වී තිබේ. ඊට අදාළව ප්‍රසිද්ධ වූ ඡායාරූප මගින් දර්ශනය වන වායු සමීකරණ යන්ත්‍ර, පියානෝව සහ සුඛෝපභෝගී ගෘහභාණ්ඩ දැක බුකීවාසීහු විමසන්නේ වසර 30ක් පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වූ ලාල් මෙච්චර පොහොසත් වූයේ කොහොමද කියා ය. ඒ ප්‍රශ්නය විමසීම මෙම කතුවැකියේ අරමුණ නොවේ.

ඒ සමගම ප්‍රකට කෙරුණු තව ඡායාරූපයක් වූයේ එම පින්කමට පැමිණි ජනාධිපති හා අගමැති සාමාන්‍ය පුටුවක අසුන්ගෙන බෙදා ගත් දෑ සහිත පිගාන අතේ තබා ගෙන කිරිබත් කන අන්දම ය. ආණ්ඩුවේ රෙදි සෝදන්නන් මෙය ඉමහත් උත්කර්ෂයට නංවන්නේ ‘‘බලන්න සරල කම… කොච්චර වටිනව ද?‘‘ යනුවෙන් කියා ය.

මේ අන්දමේ සරල කම් දැක අප ඉමහත් චිත්ත ප්‍රීතියට පත්ව තෙත් කර ගත යුතු ද? මේ සරලකම් මාරනම්, මේ රට ගොඩ යන්නට එයම ප්‍රමාණවත් වේ ද? අපට අනුව නම් කල්පනා කළ යුත්තේ මේ ගැනය.!

ඩී.එස්. ද, ඩඩ්ලි ද සරල ය. ඒ දෙදෙනා උඩුකය ඇඳුමකින් සරසා නොගෙන, ගැමියන් අඳින සරම ඇද දවස ගෙවන අන්දම දැක්වෙන ඡායාරූප අප දැක ඇත. ජේ.ආර්. ද සරල ය. ජේ.ආර්. ගේ නෝනා ඊටත් වඩා සරල ය. ජේ.ආර්. සරල වන්නේ දේශපාලනයට පැමිණීමට පෙර ඔහු භුක්ති විඳී ජීවන විලාසයට සාපේක්ෂව ය.! තඹුත්තේගම තනි සිග්නල් කණුව යටට වී කෝච්චියේ ටොපි සිගරට් විකුණපු එකාගේ සරල බව දැකිය යුත්තේ ඒ ජීවන තත්ත්වයට සාපේක්ෂව ය. එහෙව් එකෙක් ලාල් කාන්තගේ නව සුපිරි නිවාසයට පැමිණ සාමාන්‍ය පුටුවක අසුන් ගෙන කිරිබත් කෑවා කියා යමෙකු චූන් විය යුත්තේ මන් ද?

ජනප්‍රිය පුවත්  ධම්මිකගේ කරල පැහේ! ජනාධිපතිගේ ''හුණ්ඩු" මොලේ!

රනිල් ද ඒ අතින් සරල ය! රනිල්ගේ නෝනා ඊටත් වඩා සරල ය. අරගලකරුවන් විසින් ගිනි තැබූ රනිල්ගේ ගෙදර, ඔහුගේ අභාවයෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කරන මට්ටමට රනිල් සරල ය. මෛත්‍රීපාල සිරිසේන ඊටත් වඩා සරල ය. ඔහු ජනාධිපති මන්දිරයට වී කෑවේ නෝනා උයා පිළියෙල කර දෙන කෙසෙල් කොළේ ඔතපු කෑම පැකට්ටුව ය. දැන් මෙකී නොකී සරලකම් වලින් අපට ලැබී ඇත්තේ ‘‘පාන්“ ද?

සිරිසේනගේ කාලයේ ඩොලර් බිලියන 15 ක පමණ ණය තොගයක් 6%-7% පොලියට ගත්තේ ය. ඒ ණය තොගයේ පීඩනය ආවේ ගෝඨාභයගේ කාලයේ ය. ගෝඨාභයත් පට්ට සරල ය. ඔහු රටට නායකත්වය දුන්නේ මිරිහානේ පිහිටි තම නිවසේ සිට ය. එහෙත් සරල ගෝඨාභයට අර්බුදය තරණය කිරීමට හැකි වීද? සරල සිරිසේනට පාස්කු ප්‍රහාරය වළකා ගන්නට (බුද්ධි අනතුරු දැක්වීමේ තිබියදීත්) හැකි වූයේ ද? ජේ.ආර්. ගේ සරල කමින් 83 කළු ජූලිය නිවුනේ ද? ආර්ථිකය ලිබරල්කරණය වැළකුණේ ද? 60,000ක් මරා දැමුණු අඳුරු මර්දන ඉතිහාසය බිහි නොවුණේ ද? උතුරේ කොටි වැඩි වැඩියෙන් බලවත් නොවුණේ ද?

ජනප්‍රිය පුවත්  ''නඩු බලවන" සූරසේන!

පාලකයා සරලවීම වැදගත් වන්නේ පාලකයාට ය.! කොහොමටත් පාලකයා සංකීර්ණ විය යුතු නැත.! නමුත් සරලවීම යනු පාලකයාට ආවේණික පෞද්ගලික ලක්ෂණයක් මිස, රටේ අභිවෘද්ධිය සලසන කාරණයක් නොවන්නේ ය.

මෙතන ඇත්තේ විකුණන්නට වටිනාකම් නොමැති වීමේ අර්බුදයක් ය. දැන් ආණ්ඩුවේ අගය පෙන්වන්න මතු කළ හැක්කේ කුමක් ද? ‘‘දිට්වා“ එන බව දැන පූර්ව පියවර ගැනීමේ කාර්යශූර බව ද? තහඩුවටත් ලක්ෂ 10ක් දී කියූ පරිදිම වැඩේ කළා යැයි කියන්න ද? ගල් අඟුරු හොරකමේ බරපතලකම හැංගීමෙන් ද? විදුලිය බිල යළි වැඩි වන විට, විදුලිය කපන විට පාලකයන්ගේ මෑණියන්ලා මතක් කරන එක වළක්වන්නට ද? බඩු මිල අතින් අල්ලන්නවත් බැරි තරමට ඉහළ ගිය විට, විදුලිය නැතුව රටම නවතින්න විට, සිංහල අලුත් අවුරුද්ද උදා වූ මස්තබාල්දුම අවුරුද්ද බව දැනෙන විට, පාලකයාගේ සරලකම අපට කන්න ද?

පාලකයා අවශ්‍ය නිවැරදි මොහොතට අදාළව නිවැරදි තීරණ ගැනීමට ය. ඒවා යුහුසුළුව ක්‍රියාවට නැගීමට ය. එසේ නොමැතිව සරල බව පෙන්වා පාලකයා පිළිබඳව පරල වී සිටින සමාජය අන්දන්නට පාලකයා වුවමනා නැත.

ජනප්‍රිය පුවත්  තඹුත්තේගමයාගේ කොටි මෙහෙයුම

අද කොයිකත් වෙන්නේ රුයිතෙට ය. රුයිතෙට යන්නේ ආණ්ඩුව ය. රුයිතෙට යන ආණ්ඩුවක ලොක්කන්ගේ සරලකම පෙනෙන්නේ උන් එක්රැස් කරගෙන ඇති වත්කම් ගැන විස්තර එළියට ආ වෙලාවට ය.! ලාල්ගේ මන්දිරය එයට කුඩා නිදසුනක් පමණි.! මන්දිරය සංකීර්ණය.! ජනපති හා අගමැති පුටුවේ වාඩි වී පිඟාන අතට ගෙන කිරිබත් කෑම පට්ට සරල ය.! මේවට කියන්නේ වඳුරු කුණුහරුප කියාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x