රෝල්ස්රොයිස් සහ ජෙට් යානා රටක දුප්පත්කම: වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්!
1 min read
වියට්නාමයේ ගොවියා OCOP තුළින් සංවර්ධනයේ හිමිකරුවෙක් වෙනකොට, ලංකාවේ ගොවියා රෝල්ස්රොයිස් කාර්වලට සහ ජෙට් යානාවලට පාර කියා දෙමින් ඉන්නවා.
අපේ රටේ සහල් කර්මාන්තයෙන් ධනය උපයන ව්‍යාපාරිකයින් දෙන්නෙක් රෝල්ස්රොයිස් කාර් සහ පෞද්ගලික ජෙට් යානා තරඟෙට මිලදී ගනිමින් ඉන්නවා කියල සමාජ මාධ්‍ය පුරා පැතිරිල ගියා. මේ පුවත් කියවනකොට, මගේ හිත ගියේ වියට්නාමයේ ගොවි ගම්මාන වලටයි.
එක් පසෙකින් සුළුතරයකගේ අධි සුඛෝපභෝගී ජීවිතය, අනෙක් පසෙකින් කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල ජීවත් වන ගොවි ජනතාවගේ දුප්පත්කම. මෙම විකාර රූපී ප්‍රතිවිරෝධතාව හමුවේ, වියට්නාමයේ ගොවි ගම්මාන ක්‍රියාත්මක කරන “එක් ගම්මානයක්, එක් නිෂ්පාදනයක්” (OCOP) වැඩසටහන අපට මොනවද කියල දෙන්නේ?
බොහෝ පාඩම් වියට්නාමය අපට කියල දෙනවා. අනුර කුමාර දිසානායකත් ජනාධිපති වෙච්ච ගමන් වියට්නාමයේ ගියෙත් මේ පාඩම් ඉගෙන ගන්න වෙන්න ඕනි. පාඩම් ඉගෙනගෙන ඉක්මණින්ම ඒවා ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඕනි නිසා පුද්ගලික ජෙට් එකකින් ලංකාවට ආවා කියලත් මතකයි.
🔴වියට්නාමයේ වෙනස් මග
වියට්නාමය යුද්ධයෙන් විනාශ වූ රටක සිට ගොඩනැඟීමේ ආශ්චර්යයක් කරපු රටක්. ඒ පරිවර්තනයට මුල පිරුණේ 1986 දී ආරම්භ කළ “ඩොයි මොයි” (Đổi Mới) ප්‍රතිසංස්කරණ බව කියන්න ඕනි.
ඒ වැඩ පිළිවල මඟින් ඔවුන් ග්‍රාමීය සංවර්ධනය සඳහා සුවිශේෂී සංවර්ධන ආකෘතියක් ද නිර්මාණය කළා. එය තමයි OCOP වැඩසටහන. “එක් ගම්මානයක්, එක් නිෂ්පාදනයක්” වැඩ සටහන.
මෙය හුදෙක් නිෂ්පාදන සංවර්ධන වැඩසටහනක් නොවන බවත් කියන්න ඕනි. මෙය ගම්වැසියන් කේන්ද්‍ර කරගත් සංවර්ධන දර්ශනයක්. මෙහි මූලික ප්‍රතිපත්තිය වන්නේ, පහළ සිට ඉහළට සංවර්ධන කටයුතු සැලැසුම් කිරීම.
සාමාන්‍යයෙන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නෙ ඉහළ සිට පහළට ක්‍රියාත්මක කරන සැලැසුමක්. ඒකනේ මිනිස්සු කියන්නෙ සීතල කාමරවල ඉඳළ හදනවා ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියල. උදාහරණයක් විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ගෙවල් කුලී පනත සහ වැව් රක්ෂිත මැනීම වගේ සැලැසුම් පෙන්වල දෙන්න පුළුවන්.
නමුත් OCOP වැඩසටහනින් කරල තියෙන්නෙ ගමේ නිෂ්පාදනය කරන්න ඕනි මොකක්ද කියල තීරණය කිරීමේ වගකීම ගම්වාසීන්ට පවරන එක.
ඒ අනුව එක් එක් ගම්මානයේ ඇති සුවිශේෂී නිෂ්පාදන (ආහාර, අත්කම්, සංචාරක) හඳුනාගෙන, ඒවායේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට, ඇසුරුම්කරණය වැඩිදියුණු කිරීමට සහ ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා රැගෙන යාමට ආණ්ඩුව කටයුතු කරල තියෙනවා.
🔴ප්‍රතිඵල ගැන බලමු.
- 2025 මැයි වන විට, වියට්නාමය පුරා OCOP නිෂ්පාදන 17,400කට අධික සංඛ්‍යාවක්.
- නිෂ්පාදන ආයතන 9,000කට අධික සංඛ්‍යාවක්.
- OCOP ක්‍රියාත්මක කරන ආයතනවලින් 40%ක් පමණ කාන්තා නායකත්වයෙන් යුක්ත වීම.
- සුළුතර ජන කොටස්වල සහභාගිත්වය 17-19%ක් පමණ වීම.
නමුත් වඩාත්ම වැදගත් දෙය නම්, මේ වැඩසටහන යටතේ, 2021-2025 කාලය තුළ පමණක් ජනතාව සෘජුවම ගම්මාන සංවර්ධනය සඳහා මුළු ආයෝජනයෙන් 22%කට ආසන්න මුදලකින් දායක වෙලා තියෙන එකයි.(වියට්නාම් ඩොන්ග් බිලියන 813,000කට අධික මුදලක්).
මෙයින් පෙන්වන්නෙ මොකක්ද? දේශපාලන අධිකාරිය ගැන ජනතාවට තියෙන විශ්වාසය තමයි මෙයින් පෙන්වල තියෙන්නෙ.
ඒ වගේම ජනතාව සංවර්ධන ක්‍රියාවලියේ හිමිකරුවන් ලෙස සලකනවනම්, ඔවුන් ස්වේච්ඡාවෙන් දායක වෙන්න ඉදිරිපත් වනවා කියලත් මේ වැඩ සටහනින් පෙන්වලා දෙනවා.
🔴ලංකාවේ ප්‍රතිවිරෝධතාව
දැන් අපි අපේ රට දෙස බලමු.තත්ත්වය කුමක්ද?
අපේ රටේ කෘෂිකර්මාන්තය පැතිරිලා තියෙන දිස්ත්‍රික්කවලම තමයි දුප්පත්කම වැඩිපුරම තියෙන්නේ. මොණරාගල, අම්පාර, හම්බන්තොට, අනුරාධපුරය සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්ක ගොවිතැනින් පෝෂණය වුණත්, එහි ජනතාවගේ ජීවන තත්ත්වය අතිශයින් පහත් මට්ටමක තියෙනවා.
නමුත් එම පළාතේම සහල් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් රෝල්ස්රොයිස් කාර් සහ පෞද්ගලික ජෙට් යානා තරඟෙට මිලදී ගනිමින් ඉන්නවා. ගොවියාගේ කුඹුරේ කැපෙන සුළු වී අස්වැන්න නෙළාගෙන, ඔහුට සාධාරණ මිලක් නොගෙවීමේ කෘෘරත්වය දැන් අපිට පේනවා. ගොවියාගේ ධනය සුළුතරයක් අතට එකතුවෙලා තියෙන විදිහ දැන් අපි දන්නවා.
ඊටත් වඩා පුදුමය කියන්නේ, බලයට ආවේ “නිර්ධන පංතියේ දේශපාලන ව්‍යාපාරයක්” විදිහට ප්‍රකාශ කරපු පක්ෂයක්. ඔවුන් දුප්පත්කම නැති කිරීම සඳහා වැඩ පිළිවෙලක් දියත් කළා කියලා ලොකු උත්සවයකුත් ගත්තා. නමුත් ගොවියාගේ ජීවිතයට සිද්ධවෙලා තියෙන වෙනස මොකක්ද?
ඉතිහාසය පුරාම ධනපතියන් ධනය රැස් කරමින් ඉන්නවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. නමුත් “නිර්ධන පංතියේ පක්ෂයක්” යටතේ මෙම ධන සාන්ද්‍රණය සිදුවීම, ඔවුන්ගෙ දේශපාලන ප්‍රතිපත්තියේ මූලික අසාර්ථකත්වයක් පෙන්වල දෙනවා කියල කියන්න පුළුවන්.
ඇත්තටම එය පෙන්වල දෙන්නේ “පහළ සිට ඉහළට” සංවර්ධනයක් ගැන කතා කළත්, ප්‍රායෝගිකව “ඉහළ සිට පහළට” ධනය ගලා යන ආකාරයයි.
🔴වියට්නාමය ලංකාවෙන් අහන ප්‍රශ්නය
ප්‍රශ්නය 1: ගොවියා නිෂ්පාදනයේ යෙදෙන නමුත්, එහි ප්‍රතිඵල භුක්ති විඳින්නේ වෙනත් කෙනෙක් නම්, එය සාධාරණ සමාජයක් ද?
ප්‍රශ්නය 2: “නිර්ධන පංතියේ පක්ෂයක්” ලෙස හඳුන්වා ගන්නා පාලකයින්, ධනපතියන්ට ධනය රැස් කිරීමට ඉඩ දෙන අතරම, දුප්පත්කම නැති කිරීමේ උත්සව පවත්වන්නේ ඇයි?
ප්‍රශ්නය 3: වියට්නාමයේ ගොවියා OCOP තුළින් ඔහුගේ නිෂ්පාදනයේ හිමිකරු බවට පත් වෙලා තියෙන අතර, අපේ ගොවියා තවමත් අතර මැදියාගේ කුලියට වැඩ කරන්නේ ඇයි?
ප්‍රශ්නය 4: රෝල්ස්රොයිස් කාර් සහ පෞද්ගලික ජෙට් යානා තරඟෙට මිලදී ගන්නා ව්‍යාපාරිකයින්ට බදු අය කර, එම මුදල් ගොවියාගේ ගම්මානයේ යටිතල පහසුකම් සඳහා යොදවන්නේ නැත්තේ ඇයි?
අවසාන වශයෙන්, වියට්නාමයේ ගොවියාට වගේම අපේ රටේ ගොවියාට ද එවැනිම ගෞරවනීය තැනක් හිමි වන්නේ කවදාද? රෝල්ස්රොයිස් කාර් සහ පෞද්ගලික ජෙට් යානා තරඟෙට මිලදී ගන්නා ව්‍යාපාරිකයින් පමණක් නොව, ඒවා නිෂ්පාදනය කරන ගොවියා ද සුවසේ ජීවත් වන සමාජයක් ගොඩනැගීමට අපගේ නායකයින්ට පුළුවන් වෙයිද?
එහෙම නැත්නම්, දුප්පත්කම නැති කිරීමේ උත්සව පැවැත්වීමෙන් ඔබ්බට ගොස්, සැබෑ විසඳුම් සොයා යන තෙක් අපට මේ විකාර රූපී අසමානතාවය දෙස බලා සිටීමට පමණක් සිදු වෙයිද?
මොකද, වියට්නාමය අපෙන් අහන ප්‍රශ්නයට පිළිතුරු නොදුන්නොත්, රෝල්ස්රොයිස් කාර් පාරේ දුවන හැම මොහොතකම ඒ ප්‍රශ්නය අප පසුපස එනවා.
උපුටා ගැනීම ප්‍රියන්ත මධුකුමාර ෆේස්බුක් පිටුවෙන්
