කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය එක්ක වැඩ කරන්න බෑ කියා මන්ත්‍රීවරු දෙදෙනෙක් මුදල් කමිටුවෙන් ඉල්ලා අස්වේ..
1 min read
කොළඹ නගර සභාවේ පාලක පක්ෂය සහ නගරාධිපතිනිය සමඟ එක්ව කටයුතු කළ නොහැකි බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මුදල් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ විපක්ෂ මන්ත්‍රීවරුන් වන රෝයි බෝගහවත්ත සහ තරංග ශානක යන මහත්වරුන්ය.
නගරාධිපතිනි ව්රායි කැලී බැල්තසාර් මහත්මිය සහ පාලක පක්ෂයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඔවුන් පවසන්නේ, නගර සභාව මුහුණ දී සිටින වත්මන් අර්බුදයට තවදුරටත් හවුල් විය නොහැකි බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝයි බෝගහවත්ත මහතා සඳහන් කළේ නගර සභාව විසින් ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා කිසිසේත්ම යථාර්ථවාදී නොවන බවයි.
“නගරාධිපතිනිය වසර අවසානය වන විට රුපියල් බිලියන 28ක ආදායම් ඉලක්කයක් ඉදිරිපත් කළත්, මේ වසරේ ජූනි මස අවසානය වන විට උපයා ඇත්තේ රුපියල් බිලියන 8ක් පමණයි. මෙවැනි තත්ත්වයක් තුළ පාලක පක්ෂය සතුටු කිරීමට අපට නොහැකියි,” යැයි ඔහු පැවසීය.
නගරය පුරා ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අතර එය පාලනය කිරීමට නගර සභාව අපොහොසත් වී ඇති බවට ද ඔහු චෝදනා කළේය.
කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා පවසන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන් නගරය පිරිසිදුව තබා ගැනීමේ වගකීම ඉටු කරනවා වෙනුවට දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවයි.
ඔවුන්ගේ ඉල්ලා අස්වීම හරහා නගරය පිරිසිදු කිරීමට ඔවුන්ට ඇති උනන්දුවක් නොමැති බව මනාව පැහැදිලි වන බව ද ඔහු සඳහන් කළේය.
කොළඹ නගරයේ ඩෙංගු තත්ත්වය මේ වන විට පාලනය වී ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය නගරාධිපතිවරයා, ජනවාරි මාසයේදී වාර්තා වූ 10% ක ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතය මේ වන විට 4% දක්වා අඩු වී ඇති බව ද පැවසීය.
නගරයේ පෞද්ගලික නිවාස පිරිසිදු කිරීමේ ගැටලුවක් නොමැති වුවද, පොදු ආයතන පිරිසිදු කිරීමේ කටයුතු විධිමත් කිරීම වත්මන් ප්‍රධාන අභියෝගය වී ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
