ශූන්‍යවාදය !
1 min read
මේ ඉන්නේ පිල්ලෙයාන් ය. ඔහුගේ කමිසයේ සාක්කුවට ජාතික කොඩිය පළඳවන්නේ විමල් වීරවංශ ය. ඒ අසල ඉන්නේ නන්දන ගුණතිලක ය. පිල්ලෙයාන්ට පසුපසින් ඈතට වී ඉන්නේ මොහොමඩ් මුසාම්මිල් ය. ඔහු පැළඳ ඉන්නේ ඉස්ලාම් බැතිමතුන් පළඳින තොප්පිය ය.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” L.T.T.E. සංවිධානයේ සන්නද්ධ සාමාජිකයකු ලෙස නැගෙනහිර පලාත තුල කටයුතු කළ අයෙක් ය. ඔහු එකල සිටියේ කරුණා අම්මාන් යටතේ ය. 2004 වසරේ දී කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් වෙන් වන විට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් මෙහි සිටින පිල්ලෙයාන් ද ඔහු සමග එක් විය.
පසුව “දෙමළ මක්කල් විසුදලයි පුලිගල්” නැමැති පක්ෂය පිහිටුවා එහි නායකයා වූයේ ද පිල්ලෙයාන් ය. 2008 වසරේ දී පැවති නැගෙනහිර පලාත් සභා මැතිවරණයෙන් මහ ඇමතිවරයා බවට පත්වූයේ ද පිල්ලෙයාන් ය. කොටි සංවිධානය තීරණාත්මකව පරාජය කරන වන්නි මානුෂීය මෙහෙයුමට කරුණා අම්මාන්ගේ ද පිල්ලෙයාන්ගේ ද සෘජු හා වක්‍ර සහයෝගය ලැබුණේ නොමදව ය. සතුරාගේ සතුරා අපේ මිතුරා ය. කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් කොටි සමග සිටින විට අපගේ සතුරා ය. ඔවුන් කොටින්ගෙන් වෙන්ව රට සමග හිටගන්න කොට “සතුරාගේ සතුරා” අපගේ මිතුරන් ය. මිතුරන් හා සතුරන් හරියට වෙන්කරගන්නට බැරි ජාතියකට හැමදාම යන්නට වෙන්නේ අතුරේ ය. අතුරේ යාම වනාහී අනතුරේ යාම ය.
හතුරාගේ හොඳම හතුරාවන්නේ හතුරා සමඟ සිට බිඳී ආ වුන්ය. ඒ අර්ථයෙන් කොටි හිතවාදින්ගේ හොඳම හතුරා වන්නේ පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් වැන්නන් ය. මෙහි සිටින විමල් වීරවංශ හා නන්දන ගුණතිලක වැන්නන්ද ජ.වි.පෙ. හොඳම හතුරන්ය. ජ.වි.පෙ. භාෂාවෙන් කිවහොත් හොඳම ද්‍රෝහීන්ය. කොටි සංවිධානයේ ද්‍රෝහීන් හා ජ.වි.පෙ. ද්‍රෝහීන් එකට ඉන්නේ මේ ඡායාරූපයේ ය. ජ.වි.පෙ. ට අනුව ද කොටින්ට අනුව ද ද්‍රෝහීන්ට හිමිවන්නේ මරණය ය.
දැනටමත් නන්දන සැකකටයුතු මරණයකට ගොදුරු වෙලා ය. ජ.වි.පෙ. ආණ්ඩුවක් යටතේ පිල්ලෙයාන් ඉන්නේ සැකකරුවකු ලෙස හිරගෙදර ය. විමල් තාම ඉන්නේ එළියේ ය. විමල්ට හිමිවන්නේ නන්දනගේ ඉරණම ද පිල්ලෙයාන්ගේ ඉරණම ද කියා දන්නේ අනුර කුමාර ය.
අනුර කුමාර ජ.වි.පෙ. න් ඉවත් වූයේ 1989 අගය. ඒ රෝහණ විජේවීර මරා දැමීමෙන් පසුය. අනතුරුව ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දී විශ්ව විද්‍යාලයට ගියත්, විමල්ලා කළේ එම ඉරණමට ලක් වීමෙන් පසුව ද ජ.වි.පෙ. යළි ගොඩනැංවීමට කටයුතු කිරීමය. අනුර යළි ජ.වි.පෙ. ට ආවේ 1997 පලාත් පාලන මැතිවරණයෙන් පසුව ය. ඉතිහාසය වීරයන් සහ ද්‍රෝහීන් තීරණය කරන්නේ පුදුමාකාර ලෙසට බව මෙයින් වැටහෙන්නේ ය.
ද්‍රෝහීන් සහ වීරයන් කවුදැයි තීරණය කරන්නේ ජයග්‍රාහකයන් ය. දැනට ජයග්‍රාහකයා අනුර ය. අනුරට අනුව, පිල්ලෙයාන් ද නන්දන ද විමල් ද යන සැවොම ද්‍රෝහීන් ය. අනුර ද පරාජිතයකු වන දවස උදාවන්නේ ය. එවිට ද්‍රෝහියා වන්නේ කවුදැයි තීරණය කරන්නේ ජයග්‍රාහකයා ය. කිසිවකු සදාකල්හිම ජයග්‍රාහකයකු වන්නේ නැත.
ඉතිහාසය හරිම අපූරුය. බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් වරක් ප්‍රකාශ කළේ “ස්ටාලින් රුසියාව භාරගත්තේ නගුලක් අතැතිව තිබූ රටක් ලෙස වුව ද, ඔහු එය හැර ගියේ න්‍යෂ්ඨික අවි වලින් සන්නද්ධ මහා බලවතෙකු ලෙස” බවය. එහෙත්, ස්ටාලින් ගැන, වින්ස්ටන් චර්චිල් තරමටවත් සාධාරණ විශ්ලේෂණයකට එළැඹීමට බොහෝ එම කඳවුරේම අයට හැකි වූයේ නැත.
සියල්ල ප්‍රතික්ෂේප කිරීමට කියන්නේ ඓතිහාසික ශුන්‍යවාදය කියාය. එය වූ කලී, පාලක පක්ෂයක, රාජ්‍යයක හෝ ජාතියක ඉතිහාසය, එහි ජයග්‍රහණ හා ඓතිහාසික නායකයන්ගේ ක්‍රියාකලාපය සැකයට භාජනය කිරීම, විවේචනය කිරීම හෝ සහමුලින් ප්‍රතික්ෂේප කිරීම ය. එමගින් නිපදවනු ලබන්නේ අරාජිකත්වය ය. දැන් ලංකාව ගතකරමින් ඉන්නේ ඓතිහාසික ශූන්‍යවාදය කර තබාගත් ගමනක් ය. රාජ්‍යයක, පාලක පක්ෂය, ජාතියක ඉතිහාසය හා එහි ජයග්‍රහණ දැන් ඇස්පනාපිට හෑල්ලුවට ලක් කරමින් තිබේ. රණවිරුවන් කියා කෙනෙක් නැත. පිරපාහරන් කියා පරදවා ඇත්තේ අහිංසක දෙමළ මිනිසුන් ය. යුද්ධයකදී ජයග්‍රාහකයකු ද පරාජිතයකු ද ඇත්තේ නැත. මහාවංශය බොරු ය. ඒ ලියා ඇත්තේ මහානාම හිමියන්ට එකල සිටි රජු පගාවක් දීලා ය. මහා සංඝයා තක්කඩියන් ය. ඔවුන්ට දන් දිය යුතු නැත. දානය දුන්නත් මුදල් පිරිකර දිය යුතු නැත. දේශපාලනඥයා පොදුවේ ගත්කල හොරෙක් ය. රාජ්‍ය සේවකයා ඊටත් වඩා පට්ට හොරෙක් ය. සල්ලිකාරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් ය. කළු සල්ලි වලින් තර වූවෙක් ය. ශ්‍රමය සූරාකන අපතයෙක් ය. මේ හැමෝම දූෂිත ය. හැමතැනම අපවිත්‍ර ය. මෙලෙස සිතීම වනාහී ඓතිහාසික ශූන්‍යවාදය ය. එනම් ඓතිහාසික බිංදුවාදය ය. ඉතිහාසය විසින් සිදුකළ යහපත් කිසිවක් ඒ අනුව, ඇත්තේ නැත !
දැන් අප ඉන්නේ එහෙම හිතන පාලකයන්ගේ සමයක ය. ඒ සමය වැඩ කරන්නේ එසේ හිතාගෙනය. එබැවින්, වීරයෝ හිරගෙදර ය. නොමැතිනම් බන්ධනාගාර බස් රථයේ ය. නැත්නම් උසාවියේ ය. ඒත් නැත්නම් CID එකේ ය. එහෙමත් නොවේනම් “බ්‍රයිබරි කමිෂන්” එකේ ය. දැන් ඒ වීරයන් ද්‍රෝහියෝ ය. ඔවුන් රටට, ජාතියට කළ කිසිදු සෙතක් ඇත්තේ නැත. ඓතිහාසික ශූන්‍යවාදය යනු එලෙස හිතන නරුමයන්ගේ දහම ය. ඒ දහම හරියටම ගැලපෙන්නේ නව ලිබරල්වාදී දැක්මට ය. ඒ ගැන කතාකරන්නට වෙන්නේ පසුවට ය.