ඉරාන යුද්ධය සමග ට්‍රම්ප්ගේ කතා මල්ල කොටස් වෙළෙඳපොළේ සල්ලි මල්ලක් වෙන හැටි !
1 min read
මැදපෙරදිග කලාපයේ ඇවිළෙන යුද ගින්න හුදෙක් දේශපාලන හෝ මිලිටරි බල අරගලයක් පමණක්ම නොව, එය ඇතැම් බලවතුන්ට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපද්දවන ඉල්ලමක් බවට පත්වෙලා තියෙනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හැසිරීම සහ ලෝක වෙළෙඳපොළේ සිදුවන අසාමාන්‍ය වෙනස්වීම් දෙස බලන විට, මේ පිටුපස මහා පරිමාණ මූල්‍ය අපහරණයන් සිදුවන බවට ආර්ථික විද්‍යාඥයන් සහ දේශපාලන විචාරකයන් බරපතළ චෝදනා එල්ල කරනවා.
ප්‍රශ්නය වන්නේ, යුද්ධය නිසා වෙළෙඳපොළ වෙනස් වීම නොව, ට්‍රම්ප් ප්‍රකාශයක් කිරීමට “මිනිත්තු කිහිපයකට පෙර” ඇතැම් ආයෝජකයන් ලෝක වෙළෙඳපොළ තුළ අතිවිශාල නිශ්චිත ගනුදෙනු සිදුකර ලාභ ලැබීමයි. සූදු පොළක ඊළඟට වැටෙන කොළය කලින්ම දන්නා කෙනෙකු සේ, ට්‍රම්ප්ගේ තීරණ කලින්ම දැනගෙන ලාභ ලැබූවන් සිටීද නැත්නම් මේ සියලු සිදුවීම් අහම්බයන්ද? අද වෙල්ට්පොලිටික් තුළින් විමසා බලමු.
📍 1. තෙල් වෙළඳපොලේ මිනිත්තු 15 ක අභිරහස
පසුගිය මාර්තු 23 වැනිදා ලෝක තෙල් වෙළෙඳපොළ මාරම නිශ්ශබ්දව පැවති මොහොතක, එක්වරම ඩොලර් මිලියන 580 ක අතිවිශාල ආයෝජනයක් සිදු වුණා. කිසිදු පොදු පුවතක් නොතිබූ ඒ මොහොතේ සිදුවූ මේ ගනුදෙනුවෙන් හරියටම මිනිත්තු 15 කට පසුව, ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ Truth Social ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඇමෙරිකාව සහ ඉරානය අතර “සාර්ථක සාකච්ඡා” පැවැත්වෙන බවයි.
ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශයත් සමඟම ලෝක තෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටුණු අතර, මිනිත්තු 15 කට පෙර රහස දැනගෙන වගේ ආයෝජනය කළ පිරිසක් එක රැයකින් බිලියනපතියන් බවට පත් වුණා. ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥ පෝල් කෘග්මන් මේ පිළිබඳව පවසා සිටියේ, ට්‍රම්ප් ප්‍රකාශ කිරීමට යන දේ ඔහුගේ සමීපතමයන් කලින්ම දැනගෙන පුද්ගලික ලාභ ගන්නා බවට මෙයට වඩා සාක්ෂි අවශ්‍ය නොවන බවයි.
📍 2. ට්‍රම්ප්ගේ “කටමැත කතා” නිසා වෙනස් වන කොටස් වෙළෙඳපොළ
ට්‍රම්ප්ගේ වචන හරියට කොටස් වෙළෙඳපොළ පාලනය කරන රිමෝට් එකක් වගෙයි. ඔහු එක් වෙලාවක “යුද්ධය අවසන්” යැයි පවසන විට ඇමරිකානු කොටස් වෙළෙඳපොළ ඉහළ යනවා. තවත් වෙලාවක ඉරානය විනාශ කරන බවට තර්ජනය කරමින් බෝම්බ ප්‍රහාර ගැන ඉඟි කරන විට වෙළෙඳපොළ කඩා වැටෙනවා.
පසුගිය අප්‍රේල් 7 වැනිදා ට්‍රම්ප් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශ කිරීමට පැය කිහිපයකට පෙර, Polymarket වැනි ඔට්ටු අල්ලන අඩවිවල ගිණුම් රැසක් ඩොලර් මිලියන ගණනින් සටන් විරාමයට පක්ෂව ඔට්ටු තබා තිබුණා. මේ සියල්ල සාමාන්‍ය ජනතාවට රහසක්ව තිබියදී, ට්‍රම්ප්ගේ ආශිර්වාදය ලත් සමීපතමයන් මේ අභ්‍යන්තර තොරතුරු උපරිමයෙන්ම මුදල් බවට පත් කරගත් බවට සාධක පෙළගැස්වෙනවා.
📍 3. ට්‍රම්ප් පවුලේ සහ සමීපතමයන්ගේ සම්බන්ධයක් තියෙනවාද?
මේ මූල්‍ය වාසි සෘජුවම ට්‍රම්ප් වෙත ගලා යන බවක් කිසිවිටක වාර්තා වෙන්නෑ. හැබැයි හිතවතුනි, ඇමරිකානු ජනාධිපති නෙවෙයි ලංකාවෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රි පවා දන්නවනෙ වැඩේ කරනවනම් කරන්න ඔනෙ විදිය. මේකත් ඒ වගේ වෙන්න පුළුවන් ! ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් නම් මෙයින් සෘජුවම ප්‍රතිලාභ ලබනවා.
ට්‍රම්ප්ගේ පුතුන් වන එරික් සහ ඩොනල්ඩ් ජූනියර් ආරක්ෂක අංශ කොන්ත්‍රාත් ලබාගන්නා ඩ්‍රෝන සමාගම්වල ආයෝජනය කර ඇති අතර, ඩොනල්ඩ් ජූනියර් මේ වන විට ලොව විශාලතම Prediction Markets එකක් වන Polymarket ආයතනයේ උපදේශකයෙකු ලෙසද කටයුතු කරනවා. එමෙන්ම, ට්‍රම්ප්ගේ මැදපෙරදිග විශේෂ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ජැරඩ් කුෂ්නර් මේ යුද්ධයට මැදිවී සිටින පර්සියානු ගල්ෆ් කලාපීය රාජ්‍යයන්ගෙන් තමන්ගේ පෞද්ගලික අරමුදල් සඳහා බිලියන ගණනින් ආයෝජන ලබාගැනීමට උත්සාහ කරන බවද වාර්තා වෙනවා.
යුද්ධයකදී සාමාන්‍ය මිනිසුන් ජීවිතවලින් වන්දි ගෙවද්දී, බලවතුන් එය තමන්ගේ වාසියට හරවාගන්නවා. මතක තියාගන්න මිත්‍රවරුණි, කිසිවෙකු වාසියක් නොමැතිව කේක් එක්ක කිරිහොදි නොකන බව!
ඉතින් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය මේ වන විට “BETS OFF Act” වැනි පනත් මඟින් රාජ්‍ය රහස් උපයෝගී කරගෙන පුද්ගලික වාසි ලැබීම තහනම් කිරීමට උත්සාහ කළත්, ට්‍රම්ප් පරිපාලනය යටතේ මේ මහා පරිමාණ “Insider Trading” ගනුදෙනු තවමත් රහසින් ක්‍රියාත්මක වන බව විචාරකයන් පවසනවා.
