“තලපති” කියා දෙමළ භාෂාවෙන් කියන්නේ කමාන්ඩර්ට ය. දකුණු ඉන්දියාවේ පැවැති ඡන්දයෙන් මහඇමති වූයේ තලපති විජේ ය. එසේ කීවාට ඔහුගේ ඇත්ත නම ජෝසප් විජේ චන්ද්‍රසේකර් ය. ඔහු ඉන්දියාවේ ඉහළම මිලට විකිණෙන නළුවෙක් වේ. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 51 කි.
මේ නළුවා දැන් දකුණු ඉන්දියාවේ මහඇමතිය. ඔහු ඒ පුටුවට ආවේ තමන්ගේම පක්ෂයක් සදාගෙන ඉතා කෙටිකාලයකින්ය. ඔහු වටා කැරකුණ රැල්ල කොපමණ බලවත්ද යත්, දකුණු ඉන්දියාවේ මිනිස්සු නොදැනම ඔහුගේ රියැදුරාගේ පුතා ද මන්ත්‍රීවරයකු බවට පත් කරවූයේය. රැල්ල කොහොමත් අන්ධය. රැල්ලට ජය ගන්නේ කාගේ කවුරුදැයි රැල්ලේ ඡන්දය දෙන මොකෙක්වත් දන්නේ නැත.
තලපති රැල්ල නිකම්ම නිකන් රැල්ලක් නොවේ. ඔහු ජනාදරයට පත් නළුවකු වීම මත මේ රැල්ල නිමවීමට ඔහුට වටපිටාවක් පැවැති බව ඇත්තය. ඔහු වෙනුවෙන් වියදම් කිරීමට කොහෙන් හෝ සල්ලි කන්දක් ක්‍රියා කළ බව ද සත්තය. එහෙත් රැල්ලට බල පෑ එකම හෝ දෙකම හේතු වන්නේ ඒවාම පමණක් නොවේ. පැවති සාම්ප්‍රදායික පක්ෂ කෙරෙහි ඇති ව තිබූ අසතුට ද මේ රැල්ල නිර්මාණය වීමට බොහෝ සෙයින් හේතුවිය.
මේ යුගය සමාජ මාධ්‍ය පරපුරක් තීරණ ගනු ලබන යුගයකි. සමාජ මාධ්‍ය පරපුර යනු “ළඟ නවන” පරපුරකි. දුර දිග යන ගැඹුරු කියවීමක් මේ පරපුර සතුව ඇත්තේ නැත. ඔවුහු ඉක්මනින් ප්‍රතිඵල සොයා යන්නවුන් වෙති. ඉන්දියාව පසුගිය කාලය තුළ ලබාගත් ආර්ථික වර්ධන වේගයේ වැඩිම ආර්ථික වර්ධන වේගයකට, එනම් 10% ඉක්මවා යන වේගයකට හිමිකම් කීවේ ඉන්දියාවේ දකුණ ය. දකුණු ඉන්දියාවය. ආර්ථික වර්ධන වේගය වැඩිවන තරමටම “අපේක්‍ෂාවන් ද වැඩි වේ. ඉක්මනින් ධනය උපයන්නට ඇති ආශාව ද” වැඩි වේ. ආශාවන්ගේ වර්ධන අනුපාතය මනින මිම්මක් නොමැති බැවින්, මේ සමාජ විද්‍යාත්මක වෙනස නිවැරදිව කියවාගන්නට ක්‍රමයක් දැනට ඇත්තේ නැත.
වර්ධන වේගය වැඩි වූ විට “සමාජ මාධ්‍ය පරපුරට” උවමනා වන්නේ ඊටත් වඩා වෙනත් දේ ය. ඒ වූ කලි, පැරණි, වයෝවෘද්ධ දේශපාලනඥයන්ගේ දූෂිත ක්‍රමයෙන් බැහැර වූ නව යොවුන් අදුෂිත නායකත්ව යුගයක් යටතේ කල් ගෙවීම ය. එය තම ආත්මාභිමානය සොයා යන ගමනක අවශ්‍යතාවයක් ලෙසද මේ “සමාජ මාධ්‍ය පරපුර” දකිති.
තලපති විජේ ආදේශ වන්නේ දකුණු ඉන්දීය “සමාජ මාධ්‍ය පරපුරේ” වූ මේ මානසික හිස්තැනටය. සිනමාවේ දුටු තලපති විජේ එවැන්නෙකි. ඔහු හැම විටම පන පෙවූයේ අදූෂිත සත්‍යවාදී සටන්කාමියාගේ චරිතයට ය. ඒ “චරිතය” දේශපාලන භූමියට පැමිණි විට, දකුණු ඉන්දීය සිනමාලෝලී “සමාජ මාධ්‍ය පරපුර” තමන්ගේ වූ මානසික “හිස්තැන” එයින් පුරවා ගනු ලැබීය. ප්‍රතිඵලය වූයේ, හිටපු මහඇමතිට අසුන ද අහිමි වී, තලපති විජේ මහඇමැති බවට ද පත් වී, ඔහුගේ රියදුරාගේ පුතාද මන්ත්‍රී ආසනයක් දිනාගෙන ජය ලැබීමය.
නේපාලයේ ද වූයේ මේ අන්දමේ වෙනසකි. එහි වූයේ නේපාලය වෙනුවෙන් බොහෝ සේ කැප වූ සම්ප්‍රදායික වාමාංශික නායකයන් කුණු කූඩයට යවා කත්මණ්ඩුවේ තරුණ රැප් ගායකයකු අගමැති බවට පත්වීම ය. සාමාන්‍ය දේශපාලන කියවීමකින් මේ සිදුවන “වෙනස” තේරුම් ගත හැකි නොවේ.
ලංකාවේ ද වූයේ මීට වඩා වෙනස් යමක් ද ?
අනුර කුමාර තලපති විජේ වැනි චිත්‍රපට නළුවකු නොවේ. එහෙත් ඔහු “තෙලපති” ය. “තෙලපති” කියා අප කියන්නේ “තෙල” බෙදීමට අධිපති කියන අරුතෙන්ය. 76 වසරක ශාපය හා එම කාලය වසා ගත් දේශපාලනය දූෂිත බවත්, එම දූෂණය නතර කළ විට රට කිරියෙන් පැණියෙන් ඉතිරී යන බවත් අනුර බෙදූ “තෙලේ” මූලික ආඛ්‍යානය (කතාව) විය.
මහින්දගේ කාලයේ ද ආර්ථික වර්ධන වේගය 6% ට වඩා වැඩිය. අධිවේගී පාරවල් හැදුනේ ඒ කාලයේ ය. 3G, 5G කරා වැඩිවුනේ ඒ කාලයේදී ය. නාගරික තරුණ මනස, ග්‍රාමීය තරුණ මනස එකිනෙක පෑහුනේ මේ කාලයේදීය. දකුණු ඉන්දියාවේ මෙන් අදූෂිත වීරයකු ඉල්ලන්නට “සමාජ මාධ්‍ය පරම්පරාවට” උවමනා වූයේ ඒ කාලයේදී ය.
මිනිසාගේ අවශ්‍යතා සම්පූර්ණ වන විට, එක තැනකින් එහා අපේක්ෂා සම්පූර්ණ වෙනස් වේ. යටිතල පහසුකම් සම්පූර්ණ වන තුරු අපේක්ෂාව එය වේ. එම අපේක්ෂාව සහ සැපිරුණු පසු අපේක්ෂාව “යහපාලනය” වේ. එම අපේක්ෂාවන් දුප්පත්කමේ ඉල්ලීම් නොවේ. යමක් කමක් උපයාගත් උන්ගේ ඉල්ලීම් වේ. එවිට සාම්ප්‍රදායික දේශපාලන කඳවුර ඒ නව අපේක්ෂාවන් සපුරාලන්නට සමත් නොවේ. නොමැතිනම්, ඒවාට සන්වේදී නොවේ. එවිට සිදුවන්නේ එම නව අපේක්‍ෂාවන් සපුරන පොරොන්දුව ඉදිරියට දමාගත් “සුපර්මෑන්” කෙනෙකු බිහිවීමය. එය දකුණු ඉන්දියාවේදී තලපති විජේය. නේපාලයේ දී බාලේන් ෂාහ් ය. බාලේන් ෂාහ් ට බාලේන්ද්‍ර ෂාහ් කියාද කියන්නේය. ඔහුගේ වයස අවුරුදු 35 ක් ය. ඔහු වෘත්තියෙන් රැප් ගායකයෙකි. නේපාලයේ බිහිවූ “සුපර්මෑන්” ඔහුය. ලංකාව මේ මානසික හිස්තැන පුරවා ගැනීමට සොයා ගත්තේ අනුර කුමාරව ය.
අනුර කුමාර බලයට පැමිණ දැන් වසර එකහමාරකට වඩා ගත වී අවසන්ය. සමාජ මාධ්‍ය පරම්පරාව අපේක්ෂා කළ “සුපිරි පරිවර්තනයක්” මේ වන විට සිදු වී හෝ සිදුවීමට යන බවක් හෝ දැන් පෙනෙන්නේද? පරණ හොරකම් ගැන හා එකී නඩු ගැන වේදිකාවේ හඬ නගන අතර, දැන් කරළියට පැමිණ ඇත්තේ අළුත් හොරකන් ය. කලින් “හොරු” හොරකම් කලා යැයි කීවේ මහාපරිමාණ ව්‍යාපෘති වලින් ය. J.R. ගේ කාලයේනම් මහවැලියෙන් ය. ප්‍රේමදාසගේ කාලයේනම් “ගම්උදාවෙන්” ය. චන්ද්‍රිකාගේ කාලයේ නම් විවිධ පෞද්ගලීකරණයන්ගෙන් ය. මහින්දගේ කාලයේනම් අධිවේගී මාර්ගයන්ගෙන් ය. නෙළුම් කුළුණෙන් ය. හම්බන්තොට වරායෙන් ය. අනුර කුමාරගේ කාලයේදීනම් හාල් වලින් ය. ගල් අඟුරු වලින් ය. ඩීසල් මිල දී ගැනීමෙන් ය. බෙහෙත් මිල දී ගැනීමෙන් ය. විදේශ ණය පියවීමෙන් ය. NDB බැංකුවේ ඇති මිනිසුන්ගේ ගිණුම් වලින් ය. අස්වැසුමට ගෙවන සහනාධාරයෙන් ය. මිනිස්සුන්ගේ දෛනික ජීවිතයට සෘජුවම බලපාන බොහෝ දේ වලින් ය.
ලැබී ඇති ක්‍රම වෙනසක් පේනතෙක් මානයකවත් ඇත්තේ නැත. සුපිරි ධනපතියෝ තම ලාබරේට්ටුව වැඩිකරගනිමින් සිටින්නේ උපරිම ආශීර්වාදය ඇතුවය. දුගියෝ කට නොඅරින්නේ “අනුර සහෝදරයා” ගැන තවදුරටත් විශ්වාසය තබාගනිමින්ය. එහෙත් සිදුවන්නේ, “ළඟ නවන” පරම්පරාවකගේ හීන වලට ඔවුන් තෝරාගත් “විකල්පය” විසින්ද “ළඟ නැවීම” ය.
දකුණු ඉන්දියාවේ තලපති විජේගේ නලලේ කොටා ඇත්තේ අනුර කුමාරගේ ඉරණම ය. නේපාලයේ බාලේන්ද්‍ර ෂාහ් ගේ නලලේ කොට ඇත්තේ අනුර කුමාරගේ ඉරණම ය. මේවා උල්කාපාතය. ක්ෂණිකව පහළ වී ක්ෂණිකව අතුරුදහන්වන්නේ උල්කාපාත ය. ජනප්‍රියවාදී උල්කාපාත භූතයන්ට පොදුජන ජයග්‍රහණ නිමවිය නොහැක. එහෙත් නූතන “සමාජ මාධ්‍ය පරපුර” මේ අත්දැකීම භාවිතයෙන්ම අත් විඳගැනීම අත්‍යවශ්‍යය. ඒ පරිප්පුව නොකා ඒ පරපුරට ඒ කතාව තේරුම් කර දෙන්න වෙන ක්‍රමයක් ඇත්තේම නැත. ඒහේ “තලපති” දිනනවිට මෙහේ “තෙලපති” දිනවපු උන් වැලපෙන්නේ ඒ දහම අනුව යමින්ය. රාජ්‍ය පාලනය යනු ලඟ නවනවුන්ට ජය ගත හැකි භූමිකාවන් නොවන බව ලංකාව තේරුම් ගනිමින් සිටින්නාක් සේම, නේපාලය ද, දකුණු ඉන්දියාව ද ඉක්මනින් තේරුම් ගනු ඇතැයි අප සිතන්නේ ඒ නිසාම ය.
