June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පළාත් සභා ඡන්දය ගැන ආණ්ඩුව ඇතුලේ උග්‍ර මත ගැටුමක්

1 min read

මේ වන විට කල් දමා ඇති පළාත් සභා මැතිවරණය මේ වසර අවසානයේ පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු අභ්‍යන්තරයේ පාර්ශ්ව දෙකක් අතර උග්‍ර මත ගැටුමක් හට ගෙන ඇත.

පළාත් සභා මැතිවරණයට වෙන් කළ මුදල් දිට්වා ආපදාවෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා වැය කළ බැවින් පළාත් සභා මැතිවරණය ලබන වසරේ පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය සතියේ උතුරු පළාතේ කළ සංචාරයකදී ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මාලිමාව නියෝජනය කරන මහලේකම් නිහාල් අබේසිංහ පසුගිය සතියේ මැතිවරණය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබුණේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ නීති සංශෝධනය කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වාර්තාව ඉදිරිපත් කළ වහාම මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බවය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවද ඔහු පෙන්වා දී ඇත.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය දා විපක්ෂයේ දේශපාලන පක්ෂ නීති සංශෝධනය කිරීම සහ පළාත් සභා කෙසේ පැවැත්විය යුතුද යන්න පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ නියෝජිතයන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැෆරල් සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැති සාකච්ඡාවේදී අනාවරණය වී තිබුණේ පැවැති සමානුපාතික ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සියලු පක්ෂ එකඟ බවය. එමෙන්ම අත්‍යවශ්‍ය නම් මැතිවරණ නීති සංශෝධනයක් තිබේ නම් ඒ සඳහා විපක්ෂය සහාය ලබාදෙන බවද විපක්ෂ නියෝජිතයන් සඳහන් කර ඇත. මෙම සාකච්ඡාවට සහභාගී වූ මැතිවරණ කොමිසමේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව විසින් අවශ්‍ය කරන සංශෝධන ලබාදෙන්නේ නම් මාස හතරක් හෝ පහක් වැනි කෙටි කාලයකදී මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවය.

ජනප්‍රිය පුවත්  අධි වේගයේ අධි ගේමක්!

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව සහ දේශපාලන පක්‍ෂ පිළිගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කරන ලද ප්‍රකාශයද එසේත් නොමැති නම් ජාතික ජන බලවේගයේ මහ ​ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ කරන ලද ප්‍රකාශයේදැයි මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය පසුබිම අංග සම්පූර්ණ වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවත් ඊට අවශ්‍ය මුදල් පිළිබඳ ගැටලුවක් නොමැති බවත්ය. විවිධ අයට මැතිවරණ සම්බන්ධයෙන් අනුමාන ඉදිරිපත් කළ හැකි නමුත් ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ හැකි කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම බව ඔහු අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x