July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සතර වරම් දෙවිවරු ?

1 min read

මේ වසරේ සිට ලංකාව වසරකට ඩොලර් බිලියන 2.5 ඉක්මවන ණය වාරික සහ පොලී ගෙවීම් සිදු කළ යුතුය. එයින් කියැවෙන්නේ අපගේ දුර්වල විදේශ විනිමය සංචිතයට එල්ලවන පීඩනය අධික වන බවය. ඒ අතරතුර ආර්ථික වර්ධන වේගය ඉතාම මන්දගාමීය. 2025 දී පැවති ආර්ථික වර්ධන වේගය 3.5% – 3.6% මට්ටමට පහළට වැටී ඇත. ලෝක බැංකුවේ පුරෝකථනය අනුව 2027 දී එය 3.1% සිට 3.8% දක්වා ද මන්දගාමී විය හැකිය.

පොදුවේ බලශක්ති මිල අධික ලෙස ඉහළයාම (විදුලිය හා ඉන්ධන) හේතුකොටගෙන කර්මාන්ත හා නිෂ්පාදන අංශවල වර්ධනයක් ද අපේක්ෂා කළ නොහැක. IMF නියෝග මත දැඩි බදු ප්‍රතිපත්තිය ව්‍යාපාර හා ව්‍යාපාරිකයා වනසා දමන මට්ටමට පත්ව ඇත. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% වඩා ඉහළ මට්ටමකට පවත්වාගැනීම සඳහා ආණ්ඩුව කරන්නේ බදු දැල පුළුල් කිරීම හා බදු පරිපාලනය දරදඩු තත්වයකට ගෙන ඒමය. මෙමගින් වඩා වැඩි පීඩාවකට ගොදුරුව ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සහ අඩු ආදායම්ලාභී ජනයා ය.

ආසියානු සංවර්ධන බැංකුව පවසා ඇත්තේ ලංකාවේ උද්ධමනය 2026 වසර තුළ 5.2% දක්වා සැලකියයුතු ලෙස වේගවත්ව ඉහල යනු ඇති බවය. එයින් කියැවෙන්නේ බොහෝ මිනිසුන්ගේ ජීවිත තවත් හැකිලෙනු ඇති බවය.

දැන් මේ අප ගෙවමින් ඉන්නේ පාලනයකට ලක් කර තිබෙන ව්‍යාජ ස්ථාවරත්වයක් තුළය. ඉදිරි කාලය මූල්‍ය පීඩනය වැඩි කරන දෙසට මිස අඩු කරන දෙසට ගමන් කරනු ඇතැයි යන්තමින්වත් සිතන්නට බෙහෙතකටවත් හේතුවක් සොයාගත නොහැකිය.

උද්ධමනය පාලනය කිරීම සඳහා සහ රුපියල කඩාවැටීම පාලනය කර ගැනීම සඳහා මහබැංකුව කළේ පසුගිය මැයි මාසයේදී සිය ප්‍රධාන ප්‍රතිපත්තිමය ‍පොලී අනුපාතය (OPR) 8.75 දක්වා ඉහළ දැමීම ය. මේ තීරණයේ සම්පූර්ණ බලපෑම වෙළඳපොළ වෙතට දැනෙන්නේ සැප්තැම්බර් පමන වන විටය. බැංකු ණය පොලී අනුපාත ඉහළ මට්ටමක පවතින බැවින් නව ව්‍යාපාරික ණය ලබා ගැනීම සහ ලීසිං පහසුකම් ලබාගැනීම බොහෝ දෙනෙකුට තවදුරටත් අපහසු වේ.

ජනප්‍රිය පුවත්  මෝඩිගේ හුණ්ඩුව

දැන් රටේ ආර්ථිකයේ ඉරණම පවතින්නේ IMF එක අතේය. IMF එකම කියන්නේ 2026 තමන් අපේක්ෂා කළ සමස්ත වර්ධන අනාවැකිය 4% සිට 3% දක්වා පහත වැටෙන බවය. 2024 දෙසැම්බර් අවසානයේ සිට, මේ ආණ්ඩුව යටතේ පැවැති මේ දක්වා කාලය තුළ පමණක් රුපියල 16.1% කින් කඩා වැටී ඇත. 2026 වසරේ ජනවාරි සිට ජුනි 26 දක්වා කාලය තුළ පමණක් රුපියලේ කඩාවැටීම සිදුව ඇත්තේ 8% ප්‍රමාණයෙන් ය.

ශ්‍රී ලංකා මහබැංකුවට අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37.4 ක් පමණ වේ. 2024 දෙසැම්බර් සිට මේ දක්වා 16.1% ක රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක්, රට අලුතින් එකම ඩොලරයක්වත් ණයට නොගත්ත ද ඩොලරයක මිල රු. 52 කින් පමණ මේ කාලය තුළ වැඩි වී තිබීම නිසා සමස්ත විදේශ ණය තොගයේ රුපියල් වටිනාකම රුපියල් බිලියන 1,940 කට වඩා (රුපියල් ට්‍රිලියන 1.94) නිකම්ම ඉහළ ගොස් තිබේ. ඒ කියන්නේ මාලිමාවෝ රුපියලට කෙලවීම විසින් පමණක් අපේ විදේශ ණය බර රුපියල් වලින් අතිරේකව රුපියල් බිලියන 1,940 කින් ඉහළ දමා තිබෙන බවය.

ණය ගෙවන්නේ ඩොලර් වලින් බව හැබෑය. රජය ආදායම ලබන්නේ රුපියල් වලින් ය. රුපියල් ඩොලර් බවට පෙරලන විට 2024 දෙසැම්බර් මාසයේ දී අවශ්‍ය වූ රුපියල් ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 110 කට අධික අමතර බදු මුදල් ප්‍රමාණයක් රජයට වැය කිරීමට මේ නිසා සිදුවේ. එමඟින් වෙන්නේ ඒ අතිරේක පීඩනය ද සෘජු හෝ වක්‍ර බදු ලෙස මහජනයා මත පැටවීමය.

ජනප්‍රිය පුවත්  සමනලයෝ සහ සමනලියෝ !

IMF කාරයා ලංකාව සපුරාගතයුතු ප්‍රධානතම ආර්ථික ඉලක්කය ලෙස පෙන්වා දී ඇත්තේ රජයේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 95% දක්වා අඩුකරගතයුතු බවය. එහෙත් ආර්ථිකය තවදුරටත් හැකිලෙන විට හා රුපියල මස්තබාල්දු වන විට ඒ කියන ඉලක්ක සපුරනු ඇතැයි සිහිනෙන්වත් සිතිය හැකි වන්නේ නැත.

එකකෝ වෙන්නේ පොදු වියදම් කපා දැමීම ය. නැත්නම් බදු ආදායම තව තවත් වැඩිකර ගැනීම ය. නොමැත්තේනම් ඒ දෙකම ය.

අම්බානක හැකිලවීමට ලක්කර ඇති ආර්ථිකය තවදුරටත් හැකිලීම සුළුවෙන් හෝ වැඩිවීම යනු බොහෝ ව්‍යාපාර වැසී යාමය. වසා නොදැම්මත් සමාගම්වල ලාභ පංගුව අඩුවන විට පිරිවැය වෙනදාට වඩා වැඩිවන විට මුලින්ම කරන්නේ සේවක කප්පාදුවය. පිරිසකගේ පවතින රැකියා සුරක්ෂිතවුව ද අතිකාල දීමනා, ප්‍රසාද දීමනා, වැටුප් වර්ධක වැනි දෑ හීන බවට පත්වීම නියතය. ආදායම් මාර්ග ඇහිරීමෙන් මධ්‍යම පාන්තිකයා දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇද වැටීම තවදුරටත් වැළැක්විය නොහැකි වනු ඇත.

මුදල් සංසරණය තවදුරටත් අඩුවීම යනු, රාජ්‍ය ආදායම ද අඩු වීමකි. පරිභෝජනය වැඩිනම් බදු ආදායමද වැඩි වේ. එහෙත් තවදුරටත් ගමන්කරමින් ඇත්තේ පරිභෝජනය තවදුරටත් කප්පාදු කෙරෙන ප්‍රමාණය වැඩිවන දිශාවට ය. එහි ප්‍රතිඵලය වන්නේ පොදු සේවාවන් සඳහා වැය කරන මුදල කප්පාදු කිරීම ය. නිදහස් සෞඛ්‍ය සේවය ඇතත් බෙහෙත් රෝහලේ නැත්තේ ඒ හින්දාය. නිදහස් අධ්‍යාපනය ද පැවැත්ම පිළිබඳ අවධානමකට ලක්වන්නේ එවිට ය.

මේ හා සමගාමීව සමාජයීය අර්බුද ද උස්සන්න වේ. සොරකම, මංකොල්ලකෑම සහ වංචාව ඉහල යන විට මානව ගුණ දර්ම පිටව යන්නේ පෑල දොරින් ය.

ආණ්ඩුවට මේ එක දෙයක් ගැනවත් වගේ වගක් ඇතැයි පේන්නේ නැත. මුදල් අමාත්‍යංශ ලේකම් ඒ පුටුවට අත දරුවෙක්ය. ජනාධිපති දන්නේ ෂානි, රංග, දිලීප හා සූරසේන නැමැති සතර මහා දේවාල වැඳපුදාගෙන මොකා මොකී හෝ අල්ලා හිරේ දාන්නය. ඒකෙන් රුපියලවත් කෙලින් වන්නේනම් ඒකත් එකක් ය.

ජනප්‍රිය පුවත්  ''ලූස් මෝෂන්"

තත්වය හිතුවට වඩා දරුණු වෙමින් තිබෙන බව මොනවා නොතේරුනත් ආණ්ඩුවට තේරී ඇති බව සිතිය හැකිය. එහෙත් ආණ්ඩුව බෙහෙත් කරන්නේ තුවාලෙ තියෙන තැනට නොවේ. ආණ්ඩුව කරන්නේ ආර්ථික අවපාතයේ පීඩනය මහජනයාට දරුණුවටම දැනෙන්න පෙර, විපක්ෂයේ දේශපාලනඥයෙක් බෙහෙතකටවත් සොයාගත නොහැකි තත්වය උදා කිරීමය. ඒක කරන්නේ ෂානි, රංග, දිලීප හා සූරසේන සමග ය. විරෝධය පාන්න විපක්ෂයක් නැති කල, පීඩනය කොපමණ උග්‍ර වුවත් එය හඩක් හෝ බලවේගයක් බවට පත්නොවනු ඇතැයි ජනාධිපති අනුර සිතන බව පැහැදිලි ය. සූරසේනගේ විශ්‍රාම යන වයස දික් කරන්නට යන්නේ ද ආණ්ඩුව සතුව ඇති එකම අවිය එය වන නිසාය.

ෂානි, රංග, දිලීප හා සූරසේන වෙතින් සමන්විත සතරවරම් දෙවිවරු මතම මෙහෙම යැපෙන්නට සිද්ධ වීමෙන්ම ජනාධිපති ඇතුළු ආණ්ඩුව පත්ව ඇති තරම කියාපාන්නේය. එහෙත්, කෙළවන කෙළවිල්ලේ තරම දැනෙනකොට එහෙම හරි ගැලවිල්ලට පාරක් සොයන එක ජ.වි.පෙ. හැටිය.

ඒ නිසා මේ තත්වය ප්‍රජාතන්ත්‍රවාදය වළලන්නේ ය. අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය බිංදුවට බස්සන්නේ ය. නීතියේ ආධිපත්‍යය, ආණ්ඩුවේ ආධිපත්‍යය යන තැනට පටු වන්නේ ය. ආර්ථිකය රුපියලත් කඩා වට්ටගෙන වේගයෙන් යන්නේ තවත් කෙළවෙන්නට ය. මර්ධනය මගින් ජන විරෝධය පාලනය කර ගැනීමට “සතරවරම් දෙවිවරු” මගින් හැකියැයි ජනාධිපති සිතන්නේ ය. ඒ සිතීම බෙහෙවින් වැරදි බව ඔහුට සිතෙන දිනය වැඩි ඈතක නොවනු නිසැක ය. සෙස්ස ඉන් පස්සට ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x