July 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නල්ලමලේ පුනරුදේ

1 min read

මාලිමාවුන්ට අනුව දැන් රටට උදාව වී ඇත්තේ පුනරුද යුගයක් ය.

ශබ්දකෝෂයට අනුව “පුනරුදය” වනාහී “පුනර්” නැවත “උදය” (උදාවීම/උපත) යන වචන එකතුවීමෙන් නිර්මාණය වූවක් ය.

ඉංග්‍රීසි බසින් මෙයට කියන්නේ “Renaissance” කියාය. එය සෑදී ඇත්තේ “නැවත උපත” යන අර්ථයෙන් යුත් “Rinascita” යන ප්‍රංශ වචනයෙන් බිඳීය. පොදුවේ ගතහොත් පැරණි, අභාවයට ගිය හෝ යටපත් වී තිබූ උසස් සංස්කෘතික සහ බුද්ධිමය වටිනාකම් මතුකර ගනිමින් සමාජය අලුත් මාවතකට යොමුකිරීම මෙමඟින් අදහස් කෙරේ.

පුනරුදයක දී, එය සිදුවන්නේ සමස්තය පුරා එකටය. යුරෝපීය පුනරුදය වූ කලී ඒ වන විට (14 වන සියවස) පැවැති මධ්‍යයතන දැඩි පාලනයට හා විශ්වාසයන්ට එරෙහිව නැඟී සිටීමකි. මූලික වශයෙන් ඒ ඉතාලියෙනි.

පාලකයන්, වෙළෙන්දන් සහ උගතුන් විසින් අතීතයේ පැවැති උසස් ග්‍රීක සහ රෝම දර්ශනය, කලාව සහ විද්‍යාව නැවත අධ්‍යයනය කිරීම ඇරඹුණේ මෙකලය. ඒ, ප්‍රධාන වශයෙන් ග්‍රීක හා රෝම සංස්කෘතියට අදාළවය. දේව කේන්ද්‍රීය චින්තනය වෙනුවට මිනිසා සහ ඔහුගේ බුද්ධිය මුල්කරගත් මානවවාදී චින්තනය බිහිවුණේ ද ඒ සමඟය. කලාව අතින් ලියනාඩෝ ඩාවින්චි, මයිකල් ඇන්ජලෝ බිහිවූයේත්, විද්‍යාව අතින් ගැලීලියෝ ගැලිලි, නිකලස් කොපර්නිකස්, සාහිත්‍ය අතින් විලියම් ශේක්ෂ්පියර් වැනි දැවැන්තයන් බිහිවුයේ මේ යුගයේදී ය. ජොහැන්නස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය බිහිකිරීමත් සිදුකළේ මෙකලය. එබැවින් දැනුම යුරෝපය පුරා පැතිරීයාම ද වේගවත් විය.

පෙරදිග දී දක්නට ඇත්තේ වැඩි වශයෙන් ජාතික හා ආගමික පුනරුදයන් පිළිබඳ අත්දැකීම්ය. රාජා රාම්, මෝහන් රෝයි, ස්වාමි විවේකානන්ද සහ රවීන්ද්‍රනාත් තාගෝර් වැනි නායකයන් හරහා ඉන්දියාව තුළ සමාජ, සාහිත්‍ය හා ආගමික පුනරුදයක් ඇතිවීම ද මේ සඳහා වන එක් නිදසුනකි. 19 වැනි සියවස අග භාගයේ දී අනගාරික ධර්මපාලතුමා, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි වැනි නායකයන්ගේ මූලිකත්වයෙන් බෞද්ධ පුනරුද ව්‍යාපාර සහ නිදහස් සටනට පදනම දැමූ ජාතික පුනරුදය බිහිවීමත් ඒ සඳහා වන තවත් නිදසුනකි.

ජනප්‍රිය පුවත්  සෙත්ත පෝච්චිය

19 වැනි සියවස අගභාගයේ දී හා 20 වැනි සියවසේ මුල්භාගයේ දී ඇති වූ ජාතික සහ බෞද්ධ පුනරුදය යනු, බටහිර පාලනයෙන් හා ක්‍රිස්තියානි මිෂනාරී බලපෑමෙන් වැසීගිය සිංහල බෞද්ධ සංස්කෘතිය, අධ්‍යාපනය, සාහිත්‍යය සහ ජාතික අනන්‍යතාවය නැවත ප්‍රබෝධමත් කළ සුවිශේෂී සන්ධිස්ථානයක්ය. එය සිදුවූයේ ප්‍රධාන වශයෙන් අදියර 4 ක් ඔස්සේය.

ඒ වන විට ලංකාව සහ මුලින්ම බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබිණි. ඉන් පසුව රජයේ රැකියා ලබාගැනීමටනම් ක්‍රිස්තියානි ආගම වැළඳගැනීම හෝ මිෂනාරී පාසැල් වලින් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය විය. සම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනය (පිරිවෙන් ක්‍රමය) ද පැවැතියේ බිඳවැටීය. දේශීය සිරිත් විරිත් සහ භාෂාව පහත්කොට සලකන තත්වයක් ඒ වන විට ඇති කර තිබුණි.

එක් පසෙකින් මීට ප්‍රතිවිරෝධීව නිර්මාණය වූයේ බෞද්ධ විද්වතුන් මිෂනාරී ප්‍රහාරයට එරෙහිව තර්කානුකූලව නැගී සිටීමේ ප්‍රවණතාවයක් ය. බද්දේගමවාදය, උදන්විටවාදය, ගම්පොළවාදය ආදී වශයෙන් පැවති වාදයන් අතර, 1873 පැවති පානදුරාවාදයෙන් එම බුද්ධිමය මෙහෙයුම ජයගනු ලැබීය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි එහිදී පෙන්නු තර්ක ඥානය සහ වාග් ප්‍රවීනතිය බෞද්ධයන් තුළ විශාල පිබිදීමක් ඇති කිරීමට හේතු විය.

බෞද්ධ පාසල් බිහිවීම, බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම, වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ගැනීම, අනගාරික ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් බිහිවූ ජාතික ව්‍යාපාරය, අමද්‍යප ව්‍යාපාරය, දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය යනාදිය මේ මහා ප්‍රවාහය තවත් බලවත් කළේය. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමි සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි විසින් පෙරදිග භාෂා (පාලි, සංස්කෘතික, සිංහල) සහ ත්‍රිපිටක ධර්මය නැවත බල ගැන්වූයේ එකී පුනරුදයේම ප්‍රතිඵල ලෙසය. “සරසවි සඳරැස”, “සිංහල බෞද්ධයා” වැනි පුවත්පත් බිහිවූයේ ද පියදාස සිරිසේන, ඩබ්ලියූ.ඒ. සිල්වා වැනි ලේඛකයන් හරහා ජාතිවාත්සලස වඩවන සාහිත්‍යයක් ද බිහිවූයේ ද ඒ අනුව ය.

කෙටියෙන් කියන්නේනම්, ලංකාවේ නිදහස් සටනට පදනම වැටුණේ මේ පුනරුදයෙන්ය. ආගමික සහ සංස්කෘතික වශයෙන් ඇති වූ නිදහස් චින්තනය පසුව බ්‍රිතාන්‍යයින්ගෙන් රට නිදහස් කරගැනීමේ දේශපාලන ව්‍යාපාරය දක්වා වර්ධනය විය. ඩී.ඇස්. සේනානායකලා, එෆ්.ආර්. සේනානායකලා, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් වැනි ජාතික නායකයන් බිහි කෙරුණේ ද ඒ තත්වය විසින් ය. අද අප සමරන වෙසක් උත්සව සංස්කෘතිය, දේශීය පාසැල් පද්ධතිය සහ බෞද්ධ ආයතන ව්‍යුහය හැඩගැසුණේ ද මෙකී පුනරුදයේ ප්‍රතිඵල ලෙසය.

ජනප්‍රිය පුවත්  අඳ ගොළු බිහිරි නීතිය

එය, ජනතාව තුළ පැවති පරාජිත මානසිකත්වය නැතිකර ආත්ම අභිමානය ගොඩනැගුවේය. ජාතික මට්ටමේ බුද්ධිමය නායකත්වයක් නිර්මාණය කළේය. 19 වන සියවසේ ඇති වූ මේ පුනරුදය විසින් අවශ්‍යකරන බුද්ධිමය, සංස්කෘතික සහ මානසික පදනම සකස් නොකළේනම් 20 වැනි සියවසේ දී බ්‍රිතාන්‍යයින්ගෙන් දේශපාලන නිදහස ඉල්ලා සිටීමට තරම් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ලංකාව තුළ බිහිවන්නට ඉඩක් පැවතියේ නැත.

“පුනරුද” යන වචනය යෙදවෙන්නේ අප මෙතෙක් හැකිතාක් සැකෙවින් පැහැදිලි කරන ලද අන්දමේ සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන දේහයන් පුරා විහිද ගිය විශාල විපර්යාසයන්ට ය.

“මාලිමාව” අරගෙන ඡන්දපොළට ආ ජ.වි.පෙ. ද රටට විකුණුවේ “පුනරුද යුගයක්” යන වචන දෙකය. ඡන්දය දුන් හැමෝම තම තම ණැන පමණින් ලැබුවියැයි සිතූ පුනරුද යුගයක් ගැන හිතාගෙන කතිරය ද ගැහුවාය. ඔවුන් සිතුවේ සජිත්ගෙන්, රනිල්ගෙන් හෝ නාමල්ගෙන් නොලැබෙන අමුතුම තාලේ පුනරුදයක් ලැබෙනු ඇතැයි කියාය. දැන් ඒ වෙනුවට ආණ්ඩුව ඇති කරමින් තිබෙන්නේ හැම පැත්තකම පිරිහීමය. බිඳවැටීමය. නොඑසේනම් “පුනරුද යුගය” වෙනුවට “අඳුරු යුගයක්” කරා රට රැගෙන යාමය. අපි එසේ පවසන්නේ කුමන හේතු මත පදනම්ව ද ?

ශානී අබේසේකර විශ්‍රාම ගිය පොලිස් කාරයෙක් ය. ඔහු ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය වෙනුවෙන් දේශපාලනය කළ බව අධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශයකින්ම පිළිගෙන ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න ද එසේමය. රවී සෙනවිරත්නට අමාත්‍යාංශ ලේකම්කම ලබා දී, ශානි අබේසේකරව යළි සේවයේ පිහිටුවා රහස් පොලීසියේ ලොක්කා කිරීම අයත්වන්නේ පුනරුද යුගයකට ද? අඳුරු යුගයකට ද? අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේන මේ වසර අග විශ්‍රාම යන නිසා, ඔහු මගින් අධිකරණය විධායකයට රිසි පරිදි නැටවීම පිණිස තව අවුරුදු දෙකකින් ඉහළ අධිකරණය විනිසුරන්ගේ විශ්‍රාම යන වයස තව අවුරුදු 2 කින් දික්කරන්නට ව්‍යවස්ථා සංශෝධන ගේන්නේ කුමන පුනරුදයක් පිණිසද?

ජනප්‍රිය පුවත්  වලං ශානිගේ අවලන් පස්ස

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5 කි. අභියාචනාධිකරණයේ 4 කි. ගෙවුණු ඉතිහාසය පුරා කෙදිනකවත්, ඉහළ අධිකරණවල පුරප්පාඩු පිරවීම මෙසේ ප්‍රමාද වී නැත. අළුතෙන් මහේස්ත්‍රාත් විනිසුරන් බඳවාගැනීමෙන් පසු ඉහළ පුරප්පාඩු පුරවනවායැයි කීමේ පදනමකුත් නැත. මෙමගින් කරන්නේ විනිසුරන්ට උසස්වීම් ලැබීමේ සුදුසුකම හිමි කරගන්නටනම් ජනාධිපති සතුටු‍වෙන තීරණ දෙනු ! කියන පණිවිඩය පහළ උසාවිවල විනිසුරන්ට ලබාදීමය. මෙරට අධිකරණ විනිසුරන් පොදුවේ මෙලෙස පාච්චල් කරන ලද වෙනත් අවස්ථාවක් අප අත්විඳ තිබේද? අධිකරණය යනු ජ.වි.පෙ. කනිෂ්ඨ සංවිධානයක් ද? ඒ මට්ටම එය පත්කර ගැනීමට මේ ගන්නා පියවර අයත්වන්නේ අඳුරු යුගයකට ද? පුනරුද යුගයකට ද?

සමස්ත අධිකරණ පද්ධතියම විධායකයේ රූකඩයක් බවට පත්කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි මහජනයා තුළ වන කුමන හෝ විශ්වාසය බිඳවැටීම සුළුපටු විනාශයක් ද? මෙමගින් සිදුවන්නේ යුක්තිය පසඳලීම මහජනයා තමන් අතට ගැනීම කරා පෙළඹවීම නොවේනම් අන් කුමක්ද?

ආර්ථිකය දවසින් දවස වැහැරේ. ඒ ගැන ආණ්ඩුව මෙලෝ පියවරක් ගන්නේ ද නැත. පීඩනය ගොඩනැගෙමින් තිබෙන්නේ මිනිස් ගිනිකන්දක “ලාවා” වැගිරෙමින් තිබෙන අයුරින්ය. ඒවා ගැන හොයන්න උවමනාවක්වත් ආණ්ඩුවට ඇත්තේ නැත. එයට ඇත්තේ ලද බලය, අධිකරණය රූකඩයක් බවට පත්කරගෙන හෝ මර්දනය මගින් පවත්වාගෙන යාමේ ආශාවය. ඒ වෙනුවෙන් කරන තුට්ටු දෙකේ වැඩ “පුනරුද යුගයක” ට නොව රට රැගෙන යන්නේ “අඳුරු යුගයක” ට ය. එහි වන භයානකබව දන්නා සැවොම එකට එක්වී මේ ඒකාධිපති වියරුව නතර කළ යුතුය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x