January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාර වැඩේ ලංකාවට වුනේ!

1 min read

ශ්‍රී ලංකාව නූතන ආර්ථික දර්ශක අතින් අසාර්ථක රාජ්‍යයක් වීමත්, කත්නෝරුවේ සිරිධම්ම, අමු සිංදු බුවා වැනි චරිත එක්වරම සමාජයේ ජනප්‍රිය වීම පසුපසත් සමාජ විද්‍යාවක් තිබෙනවා.

අද අහම්බයෙන් ෆේස්බුක් තීරයේ දී ගීතයක් දැක්කා.

එය ගායනා කරන්නේ කපුගේ හඬින් ගී ගයන පාලි බග්‍රා. ගීතය රචනා කර තිබෙන්නේ සිංදු ලියන භික්ෂුවක්.

ගීතයේ පද මාලාව මෙහෙමයි.

” මල් පහන් වැටට එළියක් වුණේ රස්තියාදු නඩයි.
ටයිකෝට් ඇඳපු මුදලාලිට වෙහෙරක් පැන් වඩයි. “

මේ සිංදුවේ මුල් පද දෙකෙන්ම එහි සමස්ථ අර්ථය කියවා ගන්න පුලුවන්.

එය හුදෙක් ගම් වල ත්‍රීවිල් පාර්ක් වල ඉන්න, බෝක්කු උඩ කාලය කා දමන ‘රස්තියාදුකාරයන්’ ලෙසින් හැඳින්වෙන පිරිස කොතරම් හොඳද කියලා විග්‍රහ වෙන ගීතයක්.

එමෙන්ම ආගමික සංස්ථාවෙන් ‘තැන’ හිමිවෙන, ‘ටයිකෝට් ඇඳපු’, පිළිවෙලට ඉන්න, ‘ධනවත්’ මුදලාලි චරිතය මෙහිදී යම් කිසි දුෂ්ඨයෙක් ලෙස පෙන්වා දී තිබෙනවා.

මේ ගීතය අතිශය ජනප්‍රිය වී තිබුණා.

එමෙන්ම ත්‍රීරෝද රථ වල පසුපස මේ වැකිය සටහන් කරන වීඩියොත් දැක්කා.
මින්පෙර ජනප්‍රිය වූ ‘අමු සිංදු’ ලෙස හැඳින්වෙන මාතෘකාවේ ගීත වල අදහසත් මීට සමානයි.

කණ විදලා, කොණ්ඩෙ පාට කරලා, හිල් බාටා කෑලි දෙකක් දාගෙන ගිනි අව්වේ ඇවිදින ‘රස්තියාදුකාරයා’ කොච්චර හොඳද කියලා එක ගීතයක කියලා දෙනවා.

ශ්‍රී ලංකාවේ ‘හුදී’ ජනයාගේ මනෝභාවය තේරුම් ගැනීමට මේ ගීත සහ ඒවාට ලැබෙනා විශාල ඉල්ලුම භාවිතා කළ හැකියි.

මේ ගීත වල රස්තියාදුකාරයන් කියන්නේ කාටද ?

බොහෝ වෙලාවට ඔවුන් ත්‍රීරොද රථ එලවනවා.

එමෙන්ම වෙනත් කුමක් හෝ කුඩා වැඩක් කරනවා.

ඔවුන්ට නිශ්චිත රැකියාවක් නැහැ. ව්‍යාපාරයක් නැහැ. රටේ ආර්ථිකයට ඔවුන්ගේ විශේෂ දායකත්වයක් නැහැ.

ඔවුන් උපයනවාට වඩා පාරිභෝජනය කරනවා.

එම නිසාම ඔවුන් සතුව විශාල නිදහස් කාලයක් තිබෙනවා.

ආර්ථික විද්‍යාත්මකව බැලුවහොත් ඔවුන් රටකට ‘බරක්’.

ඔවුන් ඔය කියනා ‘කොඩි දැමීම්’ , ‘මල ගෙවල් වල රැය පහන් කිරීම්’ වැනි වැඩ කරන්නේ මේ නිදහස් කාලය නිසා.

ජනප්‍රිය පුවත්  “හරිනිට එරෙහි යුද්ධයේ පැලවත්තේ අවිඥානය”

ඔවුන්ට කා දැමීමට ඕනෑ තරම් කාලය තිබෙනවා.

අනෙක් පැත්තෙන් ‘මුදලාලි’ කියන්නේ කවුද ?

ඔහු ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඔහු රටට බදු ගෙවනවා. රැකියා උත්පාදනය කර තිබෙනවා.

ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වනවා.

නමුත් ඔහුට ‘මල් වැටවල් හදන්න’ , ‘මලගෙවල් වල රැය පහන් කරන්න’ නිදහස් වෙලාවක් නැහැ.

ඔහු විශාල වගකීමක් දරනවා. ඔහුගේ කාලය බොහෝ වටිනවා.

ඔහු පින් කරන්නේ සහ සමාජ කටයුතු කරන්නේ ඔහුට පහසුවෙන්ම වැය කළ හැකි දේ වන ඔහු උපයනා ‘මුදලින්’.

මෙතැනදී පිළිවෙලට අඳින, රැකියාවක් කරන, මුදල් උපයන ඕනෑම කෙනෙකු මේ විග්‍රහයට වැටෙනවා.

රස්තියාදුකාරයාට මුදල් නැහැ. ඒ වෙනුවට ඔහු සිය ‘කාලය’ ලබා දෙනවා.

දැන් මේ ගීත වලින් සිය මුදල් වෙනුවට, කාලය වැය කරන රස්තියාදුකාරයා වීරත්වයට නගා තිබෙනවා.

අමු සිංදු බුවා කළේ ඒක. එමෙන්ම ඔහු සිය පෙනුම පවා මේ ‘රස්තියාදුකාරයාට’ සමාන ලෙස වෙනස් කරගත්තා.

ඔහු එක් රැයකින් ජනප්‍රිය වුණා.

කත්නෝරුවේ සිරිධම්ම ගේ දේශන තුළ බුදු දහම හෝ ගැඹුරු සමාජීය කියවීමක් නැහැ.

ඔහු කියන්නේ මොනවාද ? ඔහු කියන්නේත් මේ ගීත වල අඩංගු කතාමයි.

ඔහුගේ වචන වලින්ම කිවහොත් ඔහු ‘බණ’ කියන්නේ ‘බජාර් එකේ භාෂාවෙන්.’ (ඔහු කියන්නේ බණ නොවීම වෙනම කතාවක්.)

ඔහුගේ ටාර්ගට් ඕඩියන්ස් එක ‘බජාර් එක.’

ඔහුගේ දේශන වල තැන් කිහිපයක ‘දන් දීමට සල්ලි උවමනා නැති බව’ කියනවා.

ධනපතියන්ගේ මහා ධාන වලට වලට වඩා දුප්පතුන්ගේ වතුර වීදුරුව වටිනා බව කියනවා.

වඩා වැදගත් ටයි කෝට් අදින මහත්වරුන්ට වඩා, ගමේ ගොඩේ ඇවිදින බජාර් එකේ කොල්ලො කියලා කියනවා.

ඔහු එක් තැනක මයිකල් ජැක්සන් කොතරම් ධනවතෙක් වූවත් එහි කිසිඳු තේරුමක් නැති වූ බව කියනවා.

කොටින්ම කත්නෝරුවේ සිරිධම්ම සමාජයේ පහළ ස්ථරයට එනම් රටේ ආර්ථිකයට කිසිඳු සක්‍රීය දායකත්වයක් නොදක්වන, විනාශ කිරීමට ඕනෑ තරම් කාලය ඇති, අස්වැසුම පවා ලබනා, නමුත් මහා ධනයක් නොමැති ප්‍රජාවට කතා කරනවා.

ජනප්‍රිය පුවත්  කම්කරු වාසනා!

මෙතෙක් කාලයක් ආර්ථික වශයෙන් දුර්වල මිනිසුන්ට වඩා ආර්ථික වශයෙන් හැකියාව ඇති මිනිසුන්ට පිළිගැනීමක් තිබුණා.

ඒක ලෝක ස්වභාවය. ලෝකයේ හැම රටේම එහෙමයි.

මිනිසෙක් ආර්ථික ස්වාධිපත්‍ය ලඟා කර ගැනීමට නම් ඔහු කැපකිරීම් ටිකක් කළ යුතුයි.

ඔහු සිය කාලය, බුද්ධිය, නිර්මාණශීලිත්වය ඒ වෙනුවෙන් කැප කළ යුතුයි.

ලොවක් නිදද්දී ඇහැරගෙන සිටිය යුතුයි. ලොවට කළින් ඇහැරිය යුතුයි.
විශාල පීඩනයක් දරා සිටීමට හුරුවිය යුතුයි.

මේ ගෞරවය සහ පිළිගැනීම හිමිවන්නේ ඒ කැපකිරීමටත් සමගයි.

ඇමෙරිකාවේත් එහෙමයි. යුරෝපයේත් එහෙමයි. ඉන්දියාවෙත් එහෙමයි.

එම පිළිගැනීම නිසාම පහල ස්ථරයේ සිටින මිනිසුන් වැඩිපුර වැඩ කර, වැඩිපුර වෙහෙස වී, වැඩිපුර ඉගෙන ගෙන ධනය අත්පත් කර ගැනීමට පෙළඹුණා.
නමුත් ලංකාවේ ?

ලංකාවේ තරම් ‘රස්තියාදුකාරයන්’ සහ ‘කල්මරන’ පුද්ගලයන් වීරත්වයට නැගෙන වෙනත් රටක්, වෙනත් සමාජයක් නැහැ.

දැන් මේ ‘රස්තියාදුකාරයන්’ වෙහෙස නොවී, සමාජයට කිසිවක් නොදී ගෞරවය, පිළිගැනීම සහ වීරත්වය ඉල්ලා සිටිනවා.

ඔවුන්ට මහන්සි නොවී ‘පිළිගැනීම’ සහ ‘ගෞරවය’ අවශ්‍යයි.

ඔවුන්ගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ ඔවුන් සිදු කරන කටයුතු වලින් ඔවුන්ට ‘වීරත්වයට’ යාමට අවශ්‍යයි.

එමෙන්ම කැපකිරීම් කර, ධනය උපයා ගත්, එම නිසා ගෞරවයට පාත්‍ර වූ ‘මුදලාලි’ දුෂ්ටයෙකු වීමටත් අවශ්‍යයි.

කත්නෝරුවේ සිරිධම්ම ලබා දෙන්නේ ඒක.

අමු සිංදු බුවා ලබා දෙන්නේ ඒක.

පාලි බග්‍රාගේ ගීතයෙන් ලබා දෙන්නේ ඒක.

ඉතින් මුදලාලිගේ මුදලට වඩා රස්තියාදුකාරයන්ගේ මල් පහන් වැට උඩට එසවෙනවා.

එම ගෞරවය ලබා දුන් සැණින්, එය ලබා දෙන පුද්ගලයා ‘රස්තියාදුකාර සමාජය’ විසින් ඔසවනවා.

ඔවුන්ට පෙරලා මහා ගෞරවයක්, පිළිගැනීමක් සහ ධනයක් ලබා දෙනවා.

ඔවුන්ගේ වැකි තමන්ගේ ත්‍රීරෝද රථයේ අලවනවා.

ඉන් එහා ගොස් ඔවුන්ගේ රූපය පවා තමන්ගේ පපුවේ පච්චා කොටනවා.

ජනප්‍රිය පුවත්  අයියෝ සාමී… දැන් සෙනග ඉල්ලෛ..!!

කත්නෝරුවේ සිරිධම්ම, අමු සිංදු බුවා ක්ෂණයකින් ජනප්‍රිය වීමේ රහස ඒක.
කත්නෝරුවේ බුවාගේ ‘හිතන දේ වෙන්නෑ, වෙන දේ හිතාගන්න බෑ’ යන විකෘති වදන පවා ආමන්ත්‍රණය කරන්නේ ‘රස්තියාදුකාරයන්ට.’

එමගින් කත්නෝරුවේ සිරිධම්ම රස්තියාදුකාරයන්ගේ අසාර්ථක වීමට නිදහසට කරුණක් ලබා දෙනවා.

රස්තියාදුකාරයා දුප්පත් වීම හිතාගත නොහැකි අහම්බයක්.

ධනවතා ධනවත් වුනේ හිතාගන්න බැරි අහම්බයකින්. (මේ සැබෑ බුදු දහම නොවෙයි)

නමුත් එතකොට ලංකාව නූතන ආර්ථික දර්ශක අතින් පහලට වැටීමට එය හේතුවක් වන්නේ ඇයි ?

මේ ගීත වලින්, සරල දේශනා වලින් ‘රස්තියාදුකාරයන්ට’ වීරයන් වෙන්න පුලුවන්.
ඔවුන්ගේ අසාර්ථකත්වයට නිදහසට කරුණක් නිර්මාණය කරන්න පුලුවන්.
නමුත් ලෝකය සමග තරග කිරීමේ දී සහ මහ පොළවේ යථාර්තය අනුව සත්‍ය ඒක නෙවෙයි.

රටක් දියුණු වෙන්න නම් රටේම මිනිස්සු උපයන්න ඕන. නිෂ්පාදනය කරන්න ඕන.
රටේ වැඩි පිරිසක් පාරිභෝජනය කරනවාට වඩා නිෂ්පාදනය කරන්න ඕන.

රටේ වැඩි මිනිස් පැය ගණනක් ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දෙන්න ඕන.
සමාජ ගෞරවය සහ පිළිගැනීම මුදල් සමග හිමි වීමටත් එය හේතුවක්.
එමගින් ධනවාදී ආර්ථික ක්‍රමයක සියලූම දෙනාට වැඩ කිරීමට සහ ධනය දිනා ගැනීම උදෙසා උණන්දු කරනවා.

ඒ ඔස්සේ රටත් ඉහළට යනවා.

ඇමෙරිකාව ලොව ධනවත්ම රාජ්‍යය වුණේ එහෙමයි.

නමුත් රටේ බහුතරය වැඩි පිරිසක් කා දැමීමට ඕනෑ තරම් කාලය ඇති ‘රස්තියාදුකාරයන්’ නම්, ඔවුන් සිය කාලය වැය කරමින් මුදල් උපයා ගෞරවය දිනා ගන්නවා වෙනුවට ‘රස්තියාදුකාරයන්’ ව සිටියදීම ගෞරවය ඉල්ලා සිටිනවා නම් ඒ රට ආර්ථික වශයෙන් සංවර්ධනය වන්නේ නැහැ.

අද ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වීම පසුපස මේ මනෝභාවය විශාල හේතුවක්.

සචින් රත්වත්තෙ…✍️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x