ඊළඟ ”ශාපය” කුමක් ද?
1 min read
ඊසාන දිග මෝසම පටන්ගෙන ඇත්තේ දැන් ය. ”දිත්වා” සුළි කුණාටුව ඇති කළ විනාශය තවමත් පහව ගොස් නැත. නාය ගිය තැන්වල තවමත් ඇතැම් මළ කඳන් සොයා ගැනීමටවත් නැත. ගංවතුරේ විපතේ තරම සිතා ගැනීමටවත් නොහැක. එසේ තිබිය දී දැන් ඊසාන දිග මෝසම ආරම්භ වී ඇත.
”දිත්වා” සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එය රට තුළට ඒමට පෙර 25 වතාවක් අනතුරු අඟවා තිබුණි. එහෙත් ඒ ගැන රටට කියන්නට, ඊට සූදානම් වීමට, මහජනයා පෙළ ගැස්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් තිබුණේ නැත. විය හැකි බලපෑම කලින් පවසා මහජනයා පූර්ව සූදානම් කළේ නම්, විපතට ලක් විය හැකි ප්‍රදේශ වල ආරක්ෂක හමුදා ඇතුළු ඊට සරිලන රජයේ සේවය සක්‍රීය කර තිබුණේ නම් විනාශය (ජීවිත හා දේපළ) මෙපමණ වන්නේ නැත. මහා ජලාශවල වතුර ක්‍රම ක්‍රමයෙන් මුදා හැරියේනම් විපතේ තරම මීට වඩා අඩුවනවා නිසැක ය.
”දිත්වා” කුණාටුවට පෙර නොතිබූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊසාන දිග මෝසමට පෙර දැන් කලඑලි බැස ඇත. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය හමුවේ ඇතිවිය හැකි අවධානම් තත්වයත්, එය වැඩිදුර වර්ධනය විය හැකි අන්දමත්, එයට මුහුණ දීමට ආරක්ෂක හමුදා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්, රාජ්‍ය සේවය සූදානම් කර ඇති අන්දමත් පෙන්වා දුන්නේය. පූර්ව සූදානම හා පූර්ව අනතුරු ඇඟවීම කියන්නේ මේවාට ය. හරියට ක්‍රියා කළහොත් මොන ආපදාව ආවත් එයින් වන හානිය අවම කරගත හැක්කේ එපරිද්දෙන් ය.
මෙය ”දිත්වා” ට පෙර තිබුණේ නැත. ඒ නිසා විපතේ තරම විශාල විය. හානිය බරපතල විය. කොපමණ බරපතල වූවාද යත්, 76 වසරක දී සිදු වූ කුමන ව්‍යසනයකදීවත් ශ්‍රී ලංකාවට ආපදා හමුදා රැගෙන නොආ ඇමරිකානු හමුදා භට සංඛ්‍යාවක් ද රටට ගොඩ බැස්සේ ය. සියලු වැඩ නතර කර ඇමරිකානු රජයේ ඉහළ නිලධාරිනියක් ද ලංකාවට පැමිණ ජනාධිපතිවරයාට චරිත සහතික දුන්නේ ය. දෑ කැත්තයි මිටියයි කර තබාගෙන ආ වමේ යැයි කියා ගන්නා පාලනයකට සිදුව තිබෙන ඉහළම ආපදාව එය නොවේද?.
‘‘දිත්වා“ හමුවේ මුනිවත රැක්කේ ඇයි? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැන් පෙන්වන පෙර ක්‍රියාමාර්ග නොගත්තේ යැයි? අන්තිමට ඇමරිකානු හමුදා භට කණ්ඩායමක් රට තුළට ගොඩ බස්සවා ගන්න මට්ටමට රට ඇද වැට්ටුවේ යැයි?
වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙනුවෙන් හැමදාම පෙනී සිටියේ ඇමෙරිකානු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුරු ය. ප්‍රභාකරන් ඇතුළු නඩය අන්තිම මොහොතේ පණ පිටින් බේරා ගැනීමට නැවක් රැගෙන ආවේ ඇමරිකානු මෑරයීන් බලකාය ය. මෙවැනි ක්‍රියා ගැන තව බොහෝ උදාහරණ අතීතයෙන් ගෙන හැර දැක්විය හැකිය. එහෙත්, අද බලයේ සිටින්නේ සුපිරි රතු වමකි. නිකන් වමක් නොව රැඩිකල් වමකි. එහෙව් වමකට ඉහත කී ඇමරිකාව සහතික දෙන්නේ කුමන හේතුවක් නිසා ද? ආපදාව අස්සේ වන දේශපාලන ආපදාව අප තේරුම් ගත යුතු නොවේ ද?
කෙසේ වෙතත්, ඊසාන දිග මෝසම විසින් ද තවත් අප රට අසරණ කරනු ඇත. කන්න බොන්න ටිකවත් වෙළඳපලේ නැති ඉරණමකට ඇද වට්ටනු ඇත. වෙළෙඳපොලේ තිබුණත් මිලදී ගැනීමේ ශක්තිය ඇති මිනිසුන් අඩු වනු ඇත. රට අර්බුදයේ පතුලටම රැගෙන යනු ඇත.
ඒ අවස්ථාවේදී කුමන ගැලවුම්කරුවා වුව යහපත් යැයි සිතන්නට මිනිසුන් පෙළඹෙති. අනුර බාර ගෙන ඇත්තේ එම කොන්ත්‍රාත්තුව ද? ඊළඟට ක්‍රියාත්මක ඊසාන දිග මෝසමටත් වඩා බරපතළ වන්නේ මේ ප්‍රශ්නය ය. කවුරුත් පිළිතුරු දිය යුත්තේ එයට ය.
