March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජ.වි.පෙ. පන්ති 5න් ඉන්දියානු ව්‍යාප්තවාදය ඉවතට!

1 min read

පක්ෂ කේඩරය වෙනුවෙන් පවත්වන අධ්‍යාපන වැඩසටහන තුළ දැන් ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ උගන්වන්නේ නැති බව සිය දේශපාලන ව්‍යාපාරයේ පරිණාමයක් පිළිබිඹු කරමින්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සදහන් කර තිබේ.


ඉන්දියාවේ සතියක සංචාරයකින් පසුව ‘ද හින්දු’ පුවත්පත සමඟ කොළඹදී කළ සම්මුඛ සාකච්ඡාවකදී ටිල්වින් සිල්වා සදහන් කර ඇත්තේ ජවිපෙ විසින් දිගුකාලීනව පවත්වාගෙන ආ “පංති පහේ” කේඩර් දේශපාලන අධ්‍යාපන වැඩසටහන දිගටම කරගෙන යන නමුදු, “ඉන්දියාව සම්බන්ධයෙන් කිසිඳු විශේෂ යමක් එහි ඇතුලත් නැත” යනුවෙනුයි.


ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ නායකත්වයෙන්, ඉන්දීය සංස්කෘතික සබඳතා කවුන්සිලයේ (ICCR) ආරාධනය මත ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජවිපෙ නියෝජිත පිරිස, ඉන්දීය දේශපාලන නායකයන් හමු වී නවදිල්ලි, ගුජරාට් සහ කේරළයේ ප්‍රධාන සංවර්ධන හා තාක්ෂණ ආයතන නැරඹීමට එක්ව තිබුණි.


අතීතයෙන් කැපී පෙනෙන අපගමනයක්


දශක ගණනාවක් තිස්සේ, “පංති පහ” ලෙස ජනප්‍රියව හැඳින්වෙන ජවිපෙ අභ්‍යන්තර දේශපාලන අධ්‍යාපන මොඩියුලය, කලාපීය බලවතුන්ගේ පමණක් නොව ලංකාවේ වාමාශික ව්‍යාපාරයද පිළිබඳ විවේචනාත්මක ඉදිරි දර්ශනයන්ද ඇතුළුව, සිය පක්ෂයේ මුල් බැසගත් දෘෂ්ටිවාදාත්මක පුහුණුවකින් සමන්විත වූ අතර අතීතයේ දී, ජවිපෙ කථිකයින් දැඩි ඉන්දීය විරෝධයක් පලකරනු දක්නට ලැබුණි.

ජනප්‍රිය පුවත්  ඉතිහාසය අනිවාර්ය විය යුතුමයි! නැතිනම් මහා විනාශයක්! - හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ


අසුව දශකය අග භාගයේ දෙවැනි කැරැල්ලේදී ජවිපෙ ප්‍රමුඛ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අවි ගත්තේ පළාත් සභා පිහිටුවීමට ඉන්දියාව සමග ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව එළැඹි ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධවය.


ඒ සමයේ ජවිපෙ මතධාරීන්ට උගන්වනු ලැබුවේ ඉන්දියානු හමුදාව ලංකාවට එවීම මගින් ඉන්දියාව අධිරාජ්‍යවාදී ආක්‍රමණයක් දියත් කර තිබෙන බවයි. එම සේනා ප්‍රසිද්ධියේ හෙලා දකිනු ලැබුවේ ‘වඳුරු හමුදා’ නමිනි.
ලංකාවේ ධනේශ්වර ආර්ථික අර්බුදය, නිදහස, ඉන්දියානු ව්‍යාප්තවාදය, ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සහ ලාංකේය විප්ලවයේ උපාය උපක්‍රම සහ ගතයුතු මග ජවිපෙමලයහ ආරම්භක දේශපාලන පන්ති පහයි. එහිදී, “ඉන්දීය සම්භවයක් සහිත” දෙමළ ජනතාව හඳුන්වා ඇත්තේ ඉන්දීය ව්‍යාප්තවාදයේ පස්වැනි සේනාංකයක් ලෙසිනි.
කෙසේ වෙතත්, සිය පක්ෂයේ වත්මන් විෂය නිර්දේශය තුළ තවදුරටත් ඉන්දියාව ඉලක්ක කරගත් කිසිදු මොඩියුලයක් අඩංගු නොවන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හින්දු පුවත්පතට පැහැදිලි කර තිබේ.

ඔහුට අනුව, ජවිපෙ කේඩරයට උගන්වන වර්තමාන විෂය මාලාවට ඇතුලත් වන්නේ ආර්ථික අර්බුදය, ජාතික හෝ ජනවාර්ගික ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ වාම ව්‍යාපාරයේ ඉතිහාසය, සමාජවාදයට යන මාර්ගය සහ බොල්ෂෙවික් වර්ගයේ පක්ෂ ව්‍යුහයක් ගොඩනැගීම පිළිබඳ පාඩම්ය.

ජනප්‍රිය පුවත්  මහ බැංකු අධිපතිගේ මාටියා ගැහිල්ල මෙන්න !


“මාක්ස්වාදය සහ දේශපාලන දැනුවත්භාවය ඉගැන්වීම සඳහා 1968 දෙසැම්බර් මාසයේදී ප්‍රථම වරට හඳුන්වා දුන් පංති, තත්කාලීන වාතාවරණයන්ට ගැලපෙන පරිදි කාලයෙන් කාලයට සංශෝධනය කර ඇති” බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද හින්දු’ පුවත්පතට වැඩිදුරටත් පෙන්වා දී තිබේ.


ඉන්දියානු සංචාරය සහ ඉන්දියානු ව්‍යාපෘති


නවදිල්ලියේදී, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් අතර පැවති සාකච්ඡාව “මිත්‍රශීලී” කථාබහක් ලෙස විස්තර කරන ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ඉන්දියාව සමඟ මිත්‍රශීලී සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ඇති කැමැත්ත එහිදී ප්‍රකාශ කළ බව හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණි මීරා ශ්‍රීනිවාසන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර ඇත. දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් ඉන්දියාව ලබා දුන් සහායට ද ඔහු වැඩිදුරටත් කෘතඥතාව පළ කර තිබේ.


ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වැනි උපායමාර්ගික ස්ථානවල ඉන්දියානු සහාය ලබන ව්‍යාපෘති පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ඇති කනස්සල්ල සම්බන්ධයෙන් හින්දු පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී නැගූ පැනයකට ප්‍රතිචාර දක්වමින් ටිල්වින් සිල්වා අවධාරණය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය ඉන්දියාවට පමණක් සීමා නොවන බවයි.

ජනප්‍රිය පුවත්  පාතාලයට බයේ වෘත්තිකයන් සිය ගණනක් ආරක්ෂාව ඉල්ලයි!


“ලොකු ව්‍යාපෘති සම්බන්ධයෙන් අපට තියෙන ස්ථාවරය ඉන්දියාවට විතරක් විශේෂිත එකක් නෙමේ” යැයි පැහැදිලි කළ ඔහු හවුල්කාර රට කුමක් වුවත්, සියලුම ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳ තීරණ ඒවායේ පිරිවැය, සාධාරණත්වය සහ එමගින් ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මත තක්සේරු කළ යුතු බව සඳහන් කර ඇත.


තම සංචාරයේදී පළාත් සභා මැතිවරණ, බලය බෙදා හැරීම හෝ ජාතික ප්‍රශ්නය පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නොතිබූ බවත් මෙම සංචාරයේදී අවධානය යොමු කරන ලද්දේ සංවර්ධන සහයෝගීතාව කෙරෙහි බවත් හින්දු පුවත්පත නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x