සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඇමෙරිකාවට!
1 min read
චීනයේ සයිනොපැක් සමාගමට හම්බන්තොට වරාය ආශ්‍රිතව තෙල් පිරිපහදුවක් ලබා දෙන්නේනම්, තම ඇමෙරිකානු සමාගමකට (බොහෝ විට ”ෂෙල්” සමාගම) සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබාදිය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද බලධාරිහු ජනාධිපති අනුර දිසානයකට අවධාරණය කර තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරයා ඇතුළු පැලවත්ත අභ්‍යන්තර කවය තීරණය කර ඇත්තේ චීනයේ සයිනොපැක් සමාගමට හම්බන්තොට තෙල් පිරිපහදුව ලබා දී ඒමගින් ආයෝජනය කෙරෙන ඩොලර් බිලියන 3ක් ගෙන්වා ගැනීමටත්, ඊට හිලව් ලෙස සපුගසක්ද තෙල් පිරිපහදුව ඇමෙරිකා එක්සත් ජනපදය නිර්දේශ කරන සමාගම වෙත පවරා දීමටත් ය. පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් ඇලිසන් හුකර් මහත්මිය සමග මේ පිළිබඳ අවශ්‍ය එකඟතාව ඇති වී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා රජයට අයත් කිසිදු තෙල් පිරිපහදුවක් එතැන් සිට නොපවතිනු ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල හා ඊට අදාළ සියල්ල තීරණය කිරීමේ බලය විදේශීය සමාගම් වෙත නතුවනු ඇත.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අයිති කරගනු ලබන ඇමෙරිකානු සමාගමට ශ්‍රී ලංකාවේ තෙල් වෙළඳපොළ මුළුමනින්ම පාහේ විවෘත කර දීමට ද ජනාධිපතිවරයා එකඟ වී ඇත.
ආනන්ද විජේසිංහ LankaUndergroundNews
