සජිත්ගෙන් පසු රනිල් ඉන්දියාවට
1 min read
හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ විවාහ උත්සවයට සහභාගී වනු පිණිස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. දකුණු ඉන්දියාවේ පැවැත්වෙන අදාළ විවාහ උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව, රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතාව ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසීමට නියමිත බැව් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දේ.
මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ ඉන්දීය ප්‍රභල ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් සුළං විදුලිය බලාගාරය ව්‍යාපෘතිය නතර කිරීමට ජනාධිපති අනුර කුමාර තීරණය කිරීමත් සමඟ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වන සබඳතා බිඳවැටීමකට ලක්ව ඇතැයි අපගේ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දේ.
අග්‍රාමාත්‍ය මෝඩි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අත්සන් තබන ලද, තවමත් ප්‍රසිද්ධියට පත්කර නැති ගිවිසුම් හා තවත් දෙරට අතර අත්සන් කර ඇති ගිවිසුම් ප්‍රකාරව සිදුවිය යුතු කිසිවක් සිදු නොවන බව ඉන්දීය බලධාරීන්ගේ මතය වී තිබේ. මේ ආදී හේතු මත ශ්‍රී ලංකාවේ පවතින NPP ආණ්ඩුව දැනෙන පරිදි විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමග කටයුතු සක්‍රීය කිරීමට ඉන්දියානු බලධාරීන් තීරණය කර තිබේ.
පසුගියදා විපක්ෂනායක සජිත් ප්‍රේමදාසව ඉන්දියාවට කැඳවීමට පියවර ගෙන ඇත්තේ එම ප්‍රවණතාවට අනුව ය. හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ විවාහ උත්සවයට සහභාගී වන බව පිටතට පෙනෙන පරිදි ඉන්දියාවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අප්‍රකට සාකච්ඡාවන් හි නියැලෙන්නේ ද ඒ අනුව බව අපගේ ඉන්දීය වාර්තාකරුවෝ පවසති.
තිලාන් සමරජීව Underground වාර්තාකරු
