ඩබල් පොකට්, ඩබල් චරිත හා ඩබල් කැබි !
1 min read
ඩබල් පොකට් අනුර (ඩී.පී. අනුර) බලයට ආවේ, බලයට ඒමට පෙර මෙසේ පවසා ය.
“…පරණ පාවිච්චි කරපු අමාත්‍යංශවල වාහන ඕන තරම් තියෙනවා. මේ දැන් මේ මොකක් ද කරන්නෙ? දැන් ආයෙත් වාහන ගන්න හදනවා. මේ ගොල්ලන්ට ලෙඩක් තියෙනවා. මොකක්ද ලෙඩේ? පරණ ඇමැතිවරයා පස්ස තියපු වාහනේ මේ පස්ස තියන්න බෑ. ඔච්චරයි! වෙන මොකක්ද? මේ ලෙඩේට අපි උත්තර දෙන්න ඕන ද? මහජනයගෙ ධනය නාස්ති කරන්න ඕන ද?”
ඩී.පී. අනුරට අනුව, ඒ කාලේ තිබුණ ආණ්ඩුවල අයට හැදී තිබී ඇත්තේ, “පරණ ඇමැතිවරයා පස්ස තියපු වාහනේ තමන්ගේ පස්ස තියන්න අකමැති වීමේ” ලෙඩේ ය. ඩබල් පොකට් අනුරලාගේ ආණ්ඩුවේ ඉන්න “මල් පැළවලට” වැල දී ඇත්තේ කුමන ලෙඩක් ද?
ලංකාවේ රජය සතුව වාහන 82,194 ක් තිබේ. ජනගහණය සමාන වුවත්, ලංකාව වගේ 25 ගුණයක් විශාල ඕස්ට්‍රේලියා රජය සතුව ඇත්තේ වාහන 8,000 ක් පමණි. භූමි ප්‍රමාණය අතින් අපට සමාන අයර්ලන්ත රජය සතුව ඇත්තේ වාහන 6,061 කි.
අපගේ රට අභ්‍යන්තරයේ පවතින E,A,B,C,D යනාදී ලෙසින් හඳුන්වන සම්පූර්ණ මාර්ග පද්ධතියේ දිග කිලෝ මීටර් 27, 910 කි. රජය සතුව ඇති වාහන 82,194 මෙම කි.මී. 27,910 දිගේ පෙලගැස්වුවහොත්, එක කිලෝ මීටරයකට රජයේ වාහන තුන ගණනේ තැබිය හැකිය. එහෙවු රටකට, අළුත්ම අළුත් ඩීසල් ඩබල් කැබ් 1,775 ක් මිල දී ගැනීමට රුපියල් බිලියන 40 ක් වෙන් කර තිබේ.
දැන් ඩී.පී. අනුරලා සහ ‘මල් පැළ’ ඒ ගැන කියන්නේ කුමක් ද?
“දැන් වාහන ගේන එකටත් ලොකු දෝෂාරෝපණය ! මගේ අමාත්‍යංශයේමත් තියෙනව මග කැඩි කැඩි යන වාහන. ලේකම්තුමා ළඟදි ගිහිල්ලා මහ නුවර වාහනය මග හිට්ටා ! එහෙම වාහන තියෙන්නෙ. ඉතින් ඒ වාහන වලට අළුත් ඒවා දෙන්න ඕනෙ.”
උමා ඔය සමන්ත විද්‍යාරත්න
(2025.11.12 දින පාර්ලිමේන්තුවේ දී)
වාහන අළුතෙන් ගෙන්වීම තම අමාත්‍යංශයම උදාහරණයකට ගෙන අද මෙසේ සාධාරණීකරණය කරන යූ.ඕ. සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයා එදා (2025.04.29) තම අමාත්‍යංශයේ ඇති සුපිරි වාහන ගැන කීවේ මෙසේ ය.
“මගේ අමාත්‍යංශයෙ තියෙනව සුඛෝපභෝගී වාහන 28 ක්. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මාස 2 කින් දානව වෙන්දේසියෙ. හිතවත් කමට බෑ. පත්තරේ ‘ඇඩ්’ දාල දෙන්නෙ ඈ. 28 ක් ! එතකොට මං වගේ අමාත්‍යංශයකත් 28 ක් සුඛෝපභෝගී තියෙනව කිව්වම කොහොම ද? අපේ ආණ්ඩුව ආවෙ නැත්තන් එතකොට ඔය වාහන වෙන්දේසියෙ ද? පාරෙ ද? එහෙනම් ඔබට සංවර්ධනයට වෙන් කරන්න සල්ලි නෑ. ඒවට තෙල් ගහන්න තියෙනව. පඩි වැඩි කරන්න විදිහක් නෑ. පාරවල් හදන්න විදිහක් නෑ. එහෙම වෙන්නෙ නෑ. ඉතින් මේ සල්ලි ඉතුරු යි…”
යූ.ඕ. සමන්ත විද්‍යාරත්න
(2025.04.29 දින)
ඩී.පී. අනුර ජනාධිපතිගේ වාහන ගැන කී පෙර කතාවට අත්පොලසන් දුන් අයට ඔහු අළුත්ම අළුත් ඩබල් කැබ් ගෙන්වීමට රු. බිලියන 40 ක් වෙන් කරන විට ද අත්පොලසන් දිය හැකි ද? ඔහු “ඩබල් කැබ්” ගේන්නට මුදල් දෙන්නේ ඔහුගේ “ඩබල් පොකට්” වලින් එලියට ගෙන ද?
යූ.ඕ. විද්‍යාරත්නගේ 2025.04.29 දා කල කතාවට හුරේ දාපු උදවියට, 2025.11.12 දා ඔහු පාර්ලිමේන්තුවේ දී කරන කතාවට ද හුරේ දැමිය හැකි ද? ඔවුනට “ඩබල් පොකට්” සහ “ඩබල් පොලිසි” තිබෙන නිසා “ඩබල් කැබ්” ගෙන්වීමට උවමනා වූ විට කබරගොයා තලගොයා කරගත හැකි ය. එහෙත් මේ කතාවට හුරේ දාන උන්දැලට “ඩබල් හාට්” තිබේ ද?
අපට ප්‍රශ්නය තියෙන්නේ “ඩබල් පොකට්”ලාගේ “ඩබල් පොලිසි” ගැන හෝ “ඩබල් චරිත”ය ගැන නොවේ. මේ කතාවලට හුරේ දාන “ඩබල් පීපල්ලා” පිළිබඳවනම් අපට ඇත්තේ පුදුමාකාර විමතියකි.
“ඩබල් චරිත” වලට හරියන්නේ “ඩබල් පොකට්”ය. ඒ වාගේම අළුත්ම අළුත් “ඩබල් කැබ්” ය. “ඩබල් චරිත” යනු, “දවල් මිගෙල් රෑ දනියෙල්”ලා ය. “ඩබල් පොකට්” හරියන්නේ එහෙවු උදවියට ය. එහෙත්, “හුරේ” දාන අප්පුහාමිලා එසේ විය යුතු නැත. එසේ වුවහොත් ඔවුනට ගසන්නට වන්නේ අමුවෙන් “ඩබල් එකක්” ය ! “ඩබල් එකක්” නොව, “ඩබල් එකේ” ඒවා හත අටක් ය. එසේ ගසා නැසී යනවා හැර අන් සැනසීමක් උන්දැලාටනම් ඇත්තේ නැත.
තිඹිරියාගම බණ්ඩාර
(ආරාධිත ලේඛක, මාධ්‍යවේදී)




