ආණ්ඩුව පිපිරෙන්න ඔන්න ! මෙන්න !
1 min read
මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙන්න !
ජාතික ජන බලවේගයේ පාලනය පිහිටුවා වසරක් සම්පූර්ණ වීමට ඇත්තේ තව ඉතා කෙටි කාලයකි. ඒ, ජනාධිපති අනුර දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට සාපේක්ෂවය. තවමත් එම පාලනය කෙරෙහි සුභ බලාපොරොත්තු තබාගෙන සිටින උඩ සිට පහළට සාමාජිකයෝ ඒ පිළිබඳව විවිධ හීන තම තම හදවත් තුළ ගොඩනගාගනිමින් පසුවෙති.
ඒ ඇතැමකු සිතන්නේ තව වසරකින් එකහමාරකින් IMF ආර්ථික සැලැස්මෙන් තමන් නිදහස් වූ කළ, තමන් අපේක්ෂා කරන අන්දමේ “වමට බර” ආර්ථික මාවතක තමන්ට ගමන් කිරීමේ හැකියාව හිමිවන බවයි. එතැන් සිට තමන්ට ආවේනික ආර්ථික පරමාදර්ශ මුල් කොටගත් ගමනක නිරත විය හැකි බවයි. එවිට, දැනට ආණ්ඩුව පිළිබඳව පවතින අඳුරු සමාජ විවේචන මැකී යනු ඇති බවයි.
මේ ගැන වද වෙන තව කොටසක් සිතන්නේ, “අනුර සහෝදරයා හා ටිල්වින් සහෝදරයා අන්තිම මොහොතේ හෝ කුමන හාස්කමක්” හෝ සිදුකර ආණ්ඩුව පිළිබඳ ජනතා ප්‍රසාදය වැඩි දියුණු කර ගනු ඇති බවයි. එය, ඉහත දැක් වූ මුල් පිරිසේ බලාපොරොත්තුවට වඩා යතාර්ථයට බර නොවූ විශ්වාසයක් බව අප අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. මේ ආදී තවත් විවිධ යහපත් බලාපොරොත්තු මුදුනේ තබා ගනිමින් දැනට ආණ්ඩුව මුහුණ දී තිබෙන ජන අප්‍රසාදය වඩවාලන ගමන පිළිබඳ “සුභ සිහින” මවාගෙන, එමගින් තම හිත තාවකාලිකව හෝ සනසා ගන්නා පිරිස සැලකිය යුතු පමණෙකින් සිටිති. කිසිවක්ම සිතාගන්නට දෙයක් නැත්තන් ඒ අතර වන එක් පිරිසක් සිතන්නේ “කමක් නෑ ! තවම අවුරුද්දක්වත් නෑනේ. තව කල් තියෙනවානෙ ! තව ටිකක් බලන් ඉමු !” යනුවෙනි.
ස්වයං සිත සනසාගනු ලබන්නන්ගේ ලෝකය කුඩු පට්ටම් කළ ජනාධිපති
මේ සියළු වර්ගයේ ස්වයං සිත සනසාගනු ලබන්නන්ගේ ලෝකය කුඩු පට්ටම් වූයේ ජනාධිපතිවරයා පසුගිය සතියේ සිදු කළ පාර්ලිමේන්තු කතාව හේතුකොටගෙන ය.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකු, පාර්ලිමේන්තුව අමතන්නේ රටේ ඉදිරි ගමන ගැන තම අපේක්ෂාවන් රෝපණය කිරීමට ය. එමෙන්ම, මෙතෙක් අවධානයට ලක් නොවූ හෝ අඩුවෙන් අවධානයට ලක් වී තිබෙන ජනතා ප්‍රශ්න විසඳීම කෙරෙහි ඇති තම අධිෂ්ඨානය හුවා දැක්වීමටය. එසේ නොමැතිව, තමන් මුහුණ දී ඇති “අභ්‍යන්තර හා බාහිර කුමන්ත්‍රණ” ගැන ලතෝනි දීමට ජනාධිපතිවරයකු තකහනියක්ම පාර්ලිමේන්තුව අමතා කතා පවත්වන්නට යන්නේ නැත. එහෙත් මෙවර අනුර ජනාධිපතිවරයා සිදු කළේ එවැනි “ඇතුළත ගිණි” පිටතට පෙන්වන අන්දමේ, බෙහෙවින් අනාරක්ෂිත ඉරණමකට ගොදුරු වී සිටින ජනාධිපතිවරයකුට අදාළ කතාවක්. විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, හාන්ස් විජේසූරිය ඉලක්ක කොටගෙන පෞද්ගලික මත දැක්වීම් වලදී සිදු කරන ලද කතාවලට “වහෙන් ඔරෝ” පිළිතුරු සැපයීමත්, කාඩිනල් තුමා සම්බන්ධයෙන්ද විමල් වීරවංශ කී කිසිවකට පිළිතුරු සැපයීමත් මේ කතාවේ අන්තර්ගතව තිබුණි. විමල් වීරවංශගේ නම සඳහන් නොකර හෝ කර, හාන්ස්ට අදාළව හෝ කාඩිනල් තුමන්ට අදාළව ඔහු කී යමකට පිළිතුරු සැපයීමට රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතිය යුතු ද? උදය ගම්මන්පිලගේනම් නමින්ම සඳහන් කර, ඔහු කී යමකට ද මෙහිදී ජනාධිපතිවරයා උත්තර බැද තිබුණි. අවසානයේ උත්තර බැදීම කොච්චර අලකලංචියක් දක්වා ගෙන ගියේද යත්, “සිද්ධිය ඇත්තනම් මම CID යනවා ! බොරුනම් පාර්ලිමේන්තුවේ කියනවා” යනුවෙන් ඔහුටම නොදැනී ඔහු ගැන කියැවෙන මට්ටමට වැඩේ අනාගත්තේ ය. ඒ වන විට ද ප්‍රමිෂ්කා පෙරේරා විද්‍යාභූෂණ සම්බන්ධව, සමාජ මාධ්‍ය ඔස්සේ ලැව් ගින්නක් සේ පැතිර ගොස් තිබූ සිද්ධිය ගැන ජනාධිපති අනුර වෙනුවෙන් CID යට පැමිණිලි කිරීමට ඔහුගේ නීතිඥවරයකු ඉදිරිපත්ව සිටියේය. එහෙත් ඒ පිළිබඳ පැමිණිල්ල ලියවන අතරේ ජනාධිපති අනුර පාර්ලිමේන්තුවේ දී කියන්නේ “සිද්ධිය ඇත්තනම් මම CID යනවා… බොරුනම් පාර්ලිමේන්තුවේ කියනවා….” කියාය. මෙපමණ කලක් ඔහු පාර්ලිමේන්තුවේ කියා ඇත්තේ පට්ට පල් බොරු බව ඔහු විසින්ම පිළිගත් වෙනත් අවස්ථාවක් මෙම ලියුම්කරු දුටුවේ නැත. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහූ මේ කතාව අල්ලගෙන ඊළඟට ප්‍රශ්න කර තිබුණේ, “අනුර CID ගියේ කාන්තාවක් සම්බන්ධයෙන් සිදිධිය ඇත්ත නිසාද?” යනුවෙනි.
ඒ අතර අනුර ජනාධිපතිවරයා ආණ්ඩුවට (රජයට) එරෙහි බාහිර හා අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ගැනද මෙහිදී ප්‍රකාශ කළේය. කුමන්ත්‍රණය කවුරුන් විසින්, කවර අයුරකින් දියත් කරනු ලබන්නක්දැයි කෙලින් කිසිවක් නොකී ඔහු කියා සිටියේ, “කුමන්ත්‍රණය පාර්ලිමේන්තුව තුළින් ආවත්, පිටතින් ආවත්” තමන් පරදවන බවය. “කුමන්ත්‍රණය රජය (ආණ්ඩුව) තුළින්ම ආවත්, පිටතින් ආවත්” තමන් පරදවන බවය. එහෙත් මේ කතාව අසා සිටි කිසිවකුට මේ කියන්නේ කවුරු කවුරුන් ඉලක්ක කරගෙන ද යන්න පැහැදිලි වී තිබුණේ නැත.

ජනාධිපති අනුරගේ කතාව සිදු කරන විට, ඒ අසල වාඩි වී ගෙන නිහඬව එයට ඇහුම්කන් දී සිටියේ අගමැතිනි හරිනි ය. අනුර “තමාගේ කකුල කටේ දා ගන්නා” අවස්ථාවල ඇය තනිවම හිනා වනු දක්නට විය. අනෙක් අවස්ථාවල වුවද ඇයගේ ශාරීරික භාෂාව මගින් ප්‍රකට කළේ හොඳ ප්‍රතිචාරයක් නොවේ. කොහොම නමුත්, අනුර ජනාධිපතිවරයා තම පාලනයට එරෙහි අභ්‍යන්තර හා බාහිර කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු වෙතින් බියට පත්ව තිබේ. කලබලයට පත්ව තිබේ. ඒ පිළිබඳව කාටත් වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ඔහු සතුව තිබෙනවා විය හැකිය. ඒ නිසාම, තකහනියක් පාර්ලිමේන්තු පැමිණ ඔහු මේ කුමන්ත්‍රණය ගැන හෙළි කළා වන්නට පුළුවන. ඔහු තම සිත තුළ කැකෑරෙන ඒ පිළිබඳ “චකිතය” මෙලෙස පිට කළා වන්නට පුළුවන. එසේනම් ප්‍රශ්නය වන්නේ ජනාධිපති අනුර දත්, අප නොදත්, ඔහුව “චකිතයට” හා “බියට” පත් කළ මේ “කුමන්ත්‍රණය” කුමක්ද ? කියාය ! අනුර ජනාධිපති වී වසරක් ගත වීමට ආසන්නව තිබියදී ඔහුවම බියට හා සන්ත්‍රාසයට පත් කළ මේ කුමන්ත්‍රණකරුවෝ කවුරුන් ද ? යන්නය !
අනුර සහ පැලවත්ත “ගැටුම” දිනෙන් දින ඉහළට

බිමල් රත්නායක අමාත්‍යවරයා මේ දිනවල වැඩිය සද්ද දමනවා පෙනුනේ හෝ ඇහුනේ නැත. “කන්ටේනර් 323 නිදහස් කර යවා අපේ බිමල් රත්නායක අමාත්‍යවරයා සල්ලි ගත්තා කියලා තමුන්නාන්සෙලා හිතනවා ද ? මොන පිස්සු කතාවක් ද ඒක !” යනාදී ලෙසින් තම කතාවේදී විමසන්නට අනුර ජනාධිපතිවරයා අමතක කළේද නැත ! එය හරියට, ඇතැමුනට වැටහුනේ “සල්ලි ගත්තනම් ගත්තේ බිමල් තමයි” කියා ජනාධිපතිවරයා “වහෙන් ඔරෝ” භාෂාවෙන් කියූවක් ලෙසින්ය. කෙසේ වෙතත්, ආන්දෝලනයට ලක් වූ ප්‍රමිෂ්කා පෙරේරා සමග සිටින ජ.වි.පෙ. උඩ ලොක්කන්ගේ ඡායාරූප අතරවත් බිමල් හා ප්‍රමිෂ්කා දැක්වෙන ඡායාරූප නැත. දැනට අමාත්‍යාංශ හා ආයතන පුරා විසුරුවා හැර ඇති ජ.වි.පෙ. පැලවත්ත කාඩරයට තම තමන්ට අයත් අමාත්‍යාංශ හා ඇමැතිවරු මෙන්ම ආයතන ප්‍රධානීන් පිළිබඳව තිබෙන පැමිණිලි ඉදිරිපත් කිරීමට ද යොමු කර ඇත්තේ බිමල් රත්නායකට ය. මේවා කියවා බලා, අවශ්‍යනම් ඇහුම්කන් දී ඒවා ටිල්වින් සමග බෙදා හදා ගන්නේ හා අභ්‍යන්තරිකව තීරණ ගන්නේ බිමල් හා ටිල්වින්ය. මේ එන පැමිණිලි අතර, දැන් දැන් ජනාධිපතිවරයාගේ භාවිතයට අදාළව එන පැමිණිලි ද වැඩි වී තිබේ. බෝන් අගේන් කාන්තා ජාලය හරහා එන විවිධ “බිස්නස් ඩීල්” හා ඇතැම් පුරප්පාඩු සම්බන්ධයෙන් පුද්ගලයින් පත් කිරීමට අදාළව ජනාධිපතිවරයා පසුගිය කාලය තුළ දක්වන ලද අසමත් ප්‍රතිපත්තිය ද මේ “චෝදනා” අතර දක්නට තිබේ. ආසන්නම උදාහරණය වන්නේ, මුදල් අමාත්‍යාංශ ලේකම් තනතුරට පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු පත් කරන ලද විට, එයින් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට පත් කරන ලද්දේ අනුර ජනාධිපතිගේ කැළණිය සරසවියේ පෞද්ගලික මිතුරෙකි. එසේ නොමැතිව පැලවත්තේ ටිල්වින්ලාට හෝ බිමල්ලාට උවමනා වූ අයකු නොවේ. මේ ආදී තවත් හේතු කාරණා ගණනාවක් මත අනුර සහ පැලවත්ත අතර පරතරය මෙන්ම “ගැටුම” දිනෙන් දින ඉහළ යමින් තිබේ. බිමල්ලාගේ එක්තරා නිහඬබව පිටුපස පවතින්නේද මේ හේතුව බව පැලවත්ත අභ්‍යන්තර ආරංචි මාර්ග මෙම ලියුම්කරුට පෙන්වා දී තිබේ.
විජිතත් “පැනලා දෙන” භාවිතාවෙන් ඉවතට….

අමාත්‍ය විජිත හේරත් ද, මේ වන විට වැඩිය කතා බහක් කරනුයේ නැත. මොකුත් නොකියාම බැරි තැනකදී කුමක් හෝ කියා මග හැරීම හැර ආණ්ඩුව වෙනුවෙන් “පැනලා දෙන” භාවිතාවක ඔහු නියැලී නැත. අනුර හා විජිත අතරද කිසියම් සබඳතා බිඳ වැටීමක් ක්‍රම ක්‍රමයෙන් සිදුව තිබෙන බව අපගේ අභ්‍යන්තර () ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඒ අනුව ය.
“සුප්‍රීම් සැට්” කතාවෙන් එළියට ආ හරිනි-පැලවත්ත නොපෑහීම
ලොකුම පිපිරීම තිබෙන්නේ, අනුර-හරිනි හා පැලවත්ත-NPP බල කදවුරු 2 තුළය. අද NPP හරහා පැමිණි බොහෝ “තරු” අහසේ දක්නට නොවේ ! () වෙච්ච දෙයක් නැත. හරිනි පාර්ලිමේන්තු පැමිණ පසුගිය දා සිදු කළේ රාජපක්ෂ පවුලේ චිචීගේ රොකට්ටුව සම්බන්ධ ප්‍රශ්නය “අබාන්ස්” ලාටවත් කළ නොහැකි ආකාරයෙන් “ක්ලීන්” කර දීමය. හරිනිගේ “සුප්‍රීම් සැට්” සැටලයිටයට ද අදාළ එම පිළිතුරු සැපයීමෙන් “රෙදි ඉල්ලෙ” වුණේ අනුරලාගේ ය ! අනුර පරල වී පාර්ලිමේන්තුව අමතා ගිය පසු හුළු අත්ත අතට ගෙන හතර අතට වැනුවේ අනුරගේ ගම් පළාතේම ගෝලයකු වන, වත්මන් ආණ්ඩුවේ වැඩිම “ඩීල්” ප්‍රමාණයකට උරුමකම් කියන්නකු වන වසන්ත සමරසිංහ අමාත්‍යවරයාය. ඔහු පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේ, ඊට පෙර දින අගමැතිනිය “සුප්‍රීම් සැට්” ගැන කළ ප්‍රකාශය වැරදි තොරතුරු මත පදනම්ව සිදු කරන ලද්දක් බවය. “නිවැරදි” තොරතුරු ගැන ඔහු හරිහැටි නොකීවත්, රු. මි. 300 ගාණක් “සුප්‍රීම් සැට්” වෙනුවෙන් රජයේ මුදල් වැය කිරීමක් පිළිබඳව ඔහු ප්‍රකාශ කළේ ද නැත.
අගමැතිනියගේ ප්‍රකාශයකින් වරදක් වී ඇත්නම් එය නැවත නිවැරදි කළ යුත්තේ අගමැතිනියම මිස වසන්ත සමරසිංහලා නොවේ.
තමන් කළ ප්‍රකාශයේ කිසිදු වරදක් නැති බවත්, ඒ නිසා එහි නිවැරදි කිරීමක් සිදු කිරීමට තමන්ට නොහැකි බවත් අගමැතිනිය මෙහිදී තරයේ විශ්වාසකරන ලද බව පැහැදිලිය. ඒ අනුව, වසන්තලාට කැමැති දෙයක් කියන්නට ඉඩ දී ඇය මුණිවත රැක්කාය. වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ද සුප්‍රීම් සැට් ගැන උත්තර දෙන්නට ගොස් කරගත්තේ හත් පොලේ ගා ගැනීම ය.
මෙමගින්ද එළියට ආවේ, හරිනි හා පැලවත්ත අතර හෝ හරිනි හා අනුර අතර හෝ දිගින් දිගටම වර්ධනය වෙමින් තිබෙන නොපෑහීමය. මේ නොපෑහීම තව කොතෙක් දුර යන තුරු “අළු යට ගිණි ලෙස” පවතිනු ඇත් ද? අනුර ජනාධිපතිවරයා පවසන අභ්‍යන්තර කුමන්ත්‍රණය දියත් වන්නේ හරිනිලා හරහා ද ? පැලවත්ත හරහා ද ?
අසහනයට පත් වූ N.P.P. මන්ත්‍රීවරු තම “දුක” පිටතට වමාරයි

මෑතකදී දකුණු කොරියාවේ සංචාරයක් සඳහා නම් 5 ක් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්) එවන ලෙස එම තානාපති කාර්යාලය නිල වශයෙන් ඉල්ලීමක් ජා.ජ.බ. ලේකම් වෙත යොමු කළේය. ඔහු එය සිරිත් පරිදි ජ.වි.පෙ. ලේකම් ටිල්වින්ට යොමු කළේය. ටිල්වින් කළේ පැලවත්තේ කාඩරයේ නම් 3 ක් සහ පාර්ලිමේන්තුව තුළ සිටින N.P.P. නොවන ජ.වි.පෙ. මන්ත්‍රීලා 2 ක් ඇතුළත් කර නම් 5 අදාළ තානාපති කාර්යාලයට යොමු කිරීමය. එවා ඇති නම් ලැයිස්තුව ගැන නොසතුටට පත් වූ ඉහත කී තානාපති කාර්යාලය පෙරලා දැන්වූයේ එම නම් සංශෝධනය කර, තමන් ඉල්ලා සිටි ආකාරයේ නම් 5 ක් එවන ලෙසය. එහෙත් මෙහිදී ටිල්වින්ගේ ප්‍රතිචාරය වූයේ තමන් එවන ලද නම් 5 පිළිනොගන්නේනම් කිසිවකු නැවත නම්කර “සංශෝධිත නාම ලේඛණයක්” නො එවන බව ය. අවසානයේ ටිල්වින් එවූ මුල් නාම ලේඛණය පිළිගෙන ඒ අය අදාළ සංචාරයට සහභාගි කරවාලීමට ඉහත කී තානාපති කාර්යාලයට සිදු විය.
මෙවැනි සිදුවීම් ගණනාවක් ගැන තොරතුරු N.P.P. මන්ත්‍රීවරු අතර කතා බහට ලක් වෙති. තමන්ට වත්මන් පාලනය තුළ ඇත්තේ දෙවැනි පෙළ පිළිගැනීමක් බව ඔවුහු වටහාගෙන සිටිති. මේ “දුක” දැන් ඇතුලේ අය සමග පමණක් නොව “පිටත” අය සමග ද වමාරන්නට පටන්ගෙන තිබේ. N.P.P. මන්ත්‍රීවරුන්ට අමතරව, නි. ඇමැතිකම් හ ඇමැතිකම් ලද ජ.වි.පෙ. ඇතැමුන් ද ඉන්නේ “පැලවත්ත කාඩරයේ” අසාමාන්‍ය බලපෑම හේතු කොටගෙන බලවත් අසහනයකට හා පීඩාවකට පත්ව ය. අනුර ජනාධිපතිවරයා පවසන “අභ්‍යන්තර කුමන්ත්‍රණයේ” පදනම ඇත්තේ මෙතැනය. මෙයට ගිණි ඇවිලවීම එලියෙන් සිදු කළ හැකි ය. එහෙත්, එවැන්නක් එලියෙන් සිදු කරන්නේ කවරකු ද ?
ගින්න අවුළුවන්නේ රනිල් ද ?

සජිත් හෝ නාමල් එවැන්නක් සිදු කරතැයි සිතිය නොහැක. ඒ දෙදෙනාම ඉන්නේ එක්තරා දුරකට ආරක්ෂිත පිතිකරණයකය. පාර්ලිමේන්තුවෙන් පිටත සිටින චම්පිකලා, විමල්ලා හෝ ගම්මන්පිලලා එවැනි ගිණි ඇවිලවීමක් කරනවා යැයි කියා සිතන්නට ද බැරිය. එසේනම් කාටත් නොදැනී මේ ගින්න අවුළුවන්නේ රනිල් ද ? පාර්ලිමේන්තුව තුළවත් නොමැති රනිල්ට දැන් එවැනි ගින්නක් ඇවිලවිය හැකි වේද ? එවැනි ගින්නක් අවුළුවන්නේ රනිල් නම්, රනිල් පිටුපස ඒ සඳහා සහායට ඉන්නේ කවරකු ද ? අනුර ජනාධිපති දන්නා තවමත් අප නොදන්නා කුමන්ත්‍රණයේ බාහිර් පාර්ශවකරු රනිල් නොවේනම් වෙන කවරකු වේද ? සාගලව, රනිල්ගේ හිටපු ජනාධිපති ලේකම්ව CID හා අල්ලස් හෝ දූෂණ කොමිසමට නිතර නිතර කැඳවන්නේ මේ කුමන්ත්‍රණය අතහැර දමන තත්ත්වයකට රනිල්ව පත් කරනු පිණිස ද ? රනිල්ගේ නෝනා සහ හරිනිලා කොහොමත් යාලුවෝ වෙති. වජිර අබේවර්ධන පසුගිය දා N.P.P. මන්ත්‍රීවරු දෙදෙනකු මුණ ගැසී පෞද්ගලිකව සාකච්ඡා කරන ලද පුවත ද අසත්‍යයක් නොවේ. ජනාධිපති අනුර කලබල වී ඇත්තේ මේ ගැන ද ? කොහොමත් දැන්, කොළඹ ඉහළ ප්‍රභූ පැලැන්තියට ගැළපෙන නායකත්වයක් රටට නැත. ඔවුනට එය උවමනා ය. ඊළඟ ඡන්දය එන තුරු ඒ සඳහා බලා සිටිය නොහැක. කඩිනමින් පිළිතුරක් උවමනා ය. රුවල් කැඩී ගිය නෞකාවක් සේ මුහුදේ රළ හා සුළඟ හමන අතට ඔහේ පාවී පාවී යන මේ ආණ්ඩුව වෙනුවට ඔවුනට ඔවුනගේ ප්‍රභූත්වයට සරිලන පාලනයක් උවමනා වී තිබේ. මේ සියලු “කුමන්ත්‍රණ” පිටුපස ඉන්නේ එම බලවේගය ද ? අනුර ජනාධිපතිගේ කතාව තුළින් එළියට එන්නේ, එදා රණසිංහ ප්‍රේමදාසගේ අවසන් කල කතාවකින් එලියට ආ ඒ වර්ගයේම දුක්ගැනවිල්ලකැයි කියා අපට සිතිය නොහැකි ද ?
විශේෂ දේශපාලන ලියුම්කරු විසිනි
UnderGround