අධිකරණ විනිසුරු 17 කගේ වැඩ තහනම් කිරීමේ සූදානමක් ! විපක්ෂය සිනා සිසී – බලා සිටී !
1 min read
ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයාට හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ නව සභාපති සමයවර්ධන මහතාට, ආණ්ඩුවෙන් ලැබී තිබෙන නිර්දේශ පරිදි දැනට මහාධිකරණයේ හා ඇපිල් අධිකරණයේ සේවය කරන විනිසුරන් 17 දෙනෙකුට එරෙහිව වැඩ තහනම් කර පරීක්ෂණ ඇරඹීමේ සූදානමක් වෙතැයි වාර්තා වේ. කිසියම් නීතිඥයකු මගින් තමන්ට අවශ්‍ය ආකාරයේ පැමිණිල්ලක් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ගෙනැවිත්, එම පැමිණිල්ල නිවැරදිද/ වැරදිද යන්න සලකා බැලීමකින් තොරව මෙම වැඩ තහනම් කිරීම සිදු කරන බව පැවසේ. මේ මගින් ආධුනික හා ආණ්ඩුවට අවනත විනිශ්චකාරවරුන් අදාළ අධිකරණයෙහි තනතුරු සඳහා ඇතුළත් කර ගැනීමට ඉඩ පාදා ගැනීමටත්, එමගින් තමන් අපේක්ෂා කරන අන්දමේ තීරණ ලබා ගත හැකි මට්ටමකට අධිකරණය සමස්ථයක් ලෙස පත්කරවා ගැනීමටත් ආණ්ඩුව අපේක්ෂා කරයි.
දැනට වසන්ත සමරසිංහ අමාත්‍යවරයාට හා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහට මෙන්ම, වත්මන් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව නීති විරෝධීව වත්කම් අත්පත් කර ගැනීමට අදාළ චෝදනාවක් විභාගයට ගැනෙන මෙන්ම, වර්තමාන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න මත්පැන් පානය කර වාහනයක් පදවා සිදුවූ හානිය පිළිබඳ නඩුව විභාග කරන ගල්කිස්ස අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය ද මෙම වැඩ තහනම් කිරීමේ 17 දෙනාගේ ලැයිස්තුවට අයත්ව ඇතැයි අධිකරණ සේවා කොමිෂන් ආරංචි මාර්ග පෙන්වා දෙයි. පසුගියදා රවී සෙනවිරත්න ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් උත්සාහ කලේ ඔහුට එරෙහිව එල්ල වී තිබෙන ඇතැම් චෝදනා ඉවත් කර ගැනීමට ය. නමුත්, ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය ඊට එකඟ වී නැත.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් තනතුරට ද සමාන්‍යයෙන් දිසා විනිසුරුවරයකු මට්ටමේ අයකු පත් කළ යුතු වුවත්, මෙවර පත්කර ඇත්තේ වැඩබලන පදනමින් බදුල්ලේ සිටි දිසා විනිසුරුවරයෙකි. ඒ පිළිබඳ අධිකරණ ක්ෂේත්‍රයේ බලවත් සාකච්ඡාවක් මතුව තිබේ.
මීට පෙර එල්ල කරන ලද චෝදනාවකදී, ඊට අදාළ පරික්ෂණවලට මුහුණ දී නිදොස් කොට නිදහස් කෙරුණු තිළිණ ගමගේ විනිසුරුවරයාගේද නැවත වැඩ තහනම් කිරීම පසුගියදා සිදු කෙරුණේ එම චෝදනාවන්ම පදනම් කරගෙන ය. එයද අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව උනන්දුවන පාර්ශවයන් අතර ඉමහත් කතා බහට ලක් වී තිබෙන අපූරු වැඩ තහනම් කිරීමකි.
කොහොම නමුත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය මේ පිළිබඳව නිහඬතාවක සිටින බැවින් ආණ්ඩුවට ද ස්වාධීන විනිසුරුවන්ට විවිධ චෝදනා නංවා රිසි සේ දඬුවම් කිරීම පහසු කර දී තිබේ. එමගින් මුළුමහත් අධිකරණ යාන්ත්‍රණයම තම අභිමතය පරිදි නැටවීම ආණ්ඩුවේ අවශ්‍යතාව වී තිබේ.
1 thought on “අධිකරණ විනිසුරු 17 කගේ වැඩ තහනම් කිරීමේ සූදානමක් ! විපක්ෂය සිනා සිසී – බලා සිටී !”