March 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේ සැකකරුවකු නොවේ! CID ය උසාවියට කියයි!

1 min read

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ට අදාළ නඩු අංක 35882/24 දරන නඩුව අද (මාර්තු 04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 90ක රැඳවුම් නියෝගයක් මත මේ වන විට අත්අඩංගුවේ පසුවන ඔහුගේ මෙම නඩු විභාගයේදී සහ ඉන් පසුව CID පරිශ්‍රය තුළදී සිදුවූ සිදුවීම් මාලාව, මෙරට නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ඉතා බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කර තිබේ.

අධිකරණයට නිල වශයෙන් ඉදිරිපත් කළ මෝසම සහ අද දින අධිකරණයේ සිදුවීම් මත පදනම්ව මෙම විමර්ශනයේ යටි අරමුණු සහ නීතිමය පදනම පිළිබඳව සිදුකරන විශ්ලේෂණාත්මක විග්‍රහයකි මේ.

නඩුවේ පසුබිම: 2021 සූම් (Zoom) සාකච්ඡාව

අද දින කැඳවූ මෙම නඩුවට මූලික වී ඇත්තේ, 2021 වසරේදී අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය (ITJP) විසින් සංවිධානය කරන ලද සූම් (Zoom) වැඩසටහනකදී සිරිල් ගාමිණී පියතුමා විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයකි. එකී ප්‍රකාශය හරහා තමාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව පවසමින් එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව සිටි සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඊට අමතරව, තම කීර්ති නාමයට සහ ප්‍රතිරූපයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දියක් ඉල්ලා ඔහු විසින් නඩුකරයක් ද ගොනු කර තිබිණි. එම පැමිණිල්ලට අදාළව සුරේෂ් සලේ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම මේ වන විටත් අවසන්ව තිබූ අතර, මීළඟට එළැඹ තිබුණේ සිරිල් ගාමිණී පියතුමාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේ නෛතික පියවරයි. එහෙත් ඊට පෙර, සිරිල් ගාමිණී පියතුමා විසින් අදාළ නඩුකරය අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගෙන තිබුණි.

එකී ප්‍රකාශය තුළින් ජනතාව අතර අසමගිය හෝ ප්‍රකෝපයන් වර්ධනය වීමට හේතුවූවාද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශනයක් අරඹා තිබුණි. එකල බුද්ධි අංශ ප්‍රධානියා ලෙස සුරේෂ් සලේ කටයුතු කළ බැවින්, පියතුමාගේ ප්‍රකාශයන් මත පදනම්ව ඔහුගේ නම මෙම විමර්ශනයට ඈඳා ඇත.

ජනප්‍රිය පුවත්  කොළඹ වරාය පුපුරවයි ද?

අධිකරණයේදී දිගහැරුණු නාඩගම සහ PTA හි නෛතික පරස්පරය

2026 පෙබරවාරි 25 දින අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ වෙනුවෙන් අද දින ඔහුගේ නීතිඥවරුන් විසින් කරුණු 6ක් පදනම් කරගනිමින් අධිකරණයට විශේෂ මෝසමක් ඉදිරිපත් කර තිබුණි. එහිදී මහේස්ත්‍රාත්වරයා සහ CID නිලධාරීන් අතර සිදුවූ පහත සංවාදය මුළු මහත් නීති ක්ෂේත්‍රයම විමතියට පත් කරවන්නකි:

මහේස්ත්‍රාත්වරයා:
“CID එකෙන් ඔහුව සැකකරුවෙකු කරලද තියෙන්නෙ?”

CID නිලධාරියා:
“නෑ ස්වාමීනී.”

මහේස්ත්‍රාත්වරයා:
“මොන නඩුවෙද ඔහුව සැකකරුවෙකු කරල තියෙන්නෙ?”

CID නිලධාරියා:
“ඒක ගැන තවමත් හිතනවා ස්වාමීනී.”

නෛතික විශ්ලේෂණය:

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තියට අනුව ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී ඊට හේතුව ඔහුට දැනුම් දිය යුතුය. තවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) 6 වැනි සහ 9 වැනි වගන්ති ප්‍රකාරව යමෙකු දින 90ක රැඳවුම් නියෝගයක් මත රඳවා තබා ගැනීමට නම්, ඔහු යම් නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ බවට ‘සාධාරණ සැකයක්’ පැවතිය යුතුය. එසේ තිබියදී, ඔහුව සැකකරුවෙකු කරන්නේ කුමන නඩුවටද යන්න පිළිබඳව CIDය “තවමත් කල්පනා කරමින්” සිටීම බරපතල නීතිමය ඛේදවාචකයකි.

එම නිසා නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි මූලික කරුණු 6 මෙසේය:

  1. ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම: අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව සිදුකර ඇති බැවින් රැඳවුම් නියෝගය අභියෝගයට ලක් කිරීමට නඩු වාර්තාවේ සහතික පිටපත් ලබාදෙන ලෙස.
  2. රැඳවුම් නියෝග පිටපත්: රැඳවුම් නියෝගයේ සත්‍ය පිටපතක් අධිකරණයෙන් ඉල්ලීම.
  3. ජීවිත තර්ජන: CID යෙන් පිටතට රැගෙන ගොස් ජීවිත හානියක් කිරීමේ අවදානමක් ඇති බැවින්, අධිකරණ අවසරයකින් තොරව පිටතට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස.
  4. වස දීමේ බිය: වස මිශ්‍ර කර ඝාතනය කිරීමේ බියක් පවුලේ අය තුළ පවතින බැවින් නිවසින් ආහාර ලබාදීමට නියෝගයක් ලබාදෙන ලෙස.
  5. වධහිංසා බිය: වධදීමට හෝ කෲර සැලකීම් වලට ලක්වීමේ බියක් ඇති බැවින් පුත්‍රයාට සතියකට දින දෙකක් තම පියා මුණගැසීමට අවසර දෙන ලෙස.
  6. නීතිඥ සහාය: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තියට අනුව නිශ්ශබ්දව සිටීමේ අයිතිය සහ ‘රහස්‍යභාවය’ සුරකින පරිදි සතියකට දින දෙකක් (මධ්‍යහ්න 12න් පසු) නීතිඥවරුන්ට ප්‍රවේශය ලබා දෙන ලෙස.
ජනප්‍රිය පුවත්  මීළඟට අත් අඩංගුවට ගන්නේ කවුද ?

“ලෝයර්-ක්ලයන්ට්” රහස්‍යභාවය අමු අමුවේ ඝාතනය කිරීමක්!

නීතිය ඉදිරියේ කෙතරම් බරපතල චෝදනාවක් එල්ල වූ අයෙකුට වුවද, තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා සමග නිදහසේ සහ රහසිගතව සාකච්ඡා කිරීමට ඇති අයිතිය ලෝක සම්මත නීතිමය අයිතිවාසිකමකි.

අද (04) පස්වරු 2.00 ට පමණ ඒ සඳහා අවස්ථාව ලබා දුන්නද, එය ලබා දී ඇත්තේ නීතිඥ-සේවාදායක වරප්‍රසාදය (Lawyer-Client Privilege) සම්පූර්ණයෙන්ම අහිමි කරමිනි.

  • නීතිඥවරුන් සහ සලේ මහතා අතර සාකච්ඡාව සිදුවන මේසය පසෙකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අසුන්ගෙන සිට ඇත. ඉන් එක් අයෙකු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමග මින් පෙර රිමාන්ඩ්ගතව සිටි ‘මෙන්ඩිස්’ නමැති නිලධාරියාය.
  • මෙහිදී එක් නිලධාරියෙකු තම ජංගම දුරකථනය මගින් මෙම රහසිගත නීතිමය සාකච්ඡාව පටිගත කිරීමට කටයුතු කර ඇති අතර, අනෙක් නිලධාරියා එය පොතක සටහන් කරගෙන ඇත. නීතිඥවරුන්ගේ දැඩි විරෝධයෙන් පසුව ඔවුන් එම ක්‍රියාව නතර කර තිබේ.

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තිය මෙන්ම සාක්ෂි ආඥාපනතේ 126 වැනි වගන්තිය යටතේ නීතිඥවරයෙකු සහ සේවාදායකයෙකු අතර සිදුවන වෘත්තීය සන්නිවේදනයන්ට හිමිවන පූර්ණ රහස්‍යභාවය සහමුලින්ම උල්ලංඝනය කිරීමකි.

ජනප්‍රිය පුවත්  විදේශ ගවේෂණ යාත්‍රා තහනම්! චීනයට ‘‘මාලිමා“ පහරක්!

ඝාතන තැතක් සහ වස දීමේ සැකය: පාතාල නායකයෙකුටත් වඩා අන්ත කොන්දේසි!

  1. නීති විරෝධී සෝදිසිය:
    අත්අඩංගුවට ගත් දින ඔහුගේ භාර්යාව විසින් සෝදිසි වරෙන්තුවක් ඇත්දැයි විමසූ විට, PTA යටතේ නිවසක් සෝදිසි කිරීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බව පවසමින් කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැතිව නිවස සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කර ඇත. මෙය අපරාධ නඩු විධාන සංග්‍රහයේ මූලික විධිවිධාන වලට පටහැනිය.
  2. අනතුරු ඇඟවීම් නොසලකා හැරීම:
    සලේ මහතා ශ්‍රී ලංකා ජනරජයට කළ සේවය නිසා ඔහුට ජීවිත තර්ජන ඇති බවත්, නිවසින් ආහාර ලබාදීමට ඉඩ දෙන ලෙසත් ඔහුගේ බිරිඳ විසින් පෙබරවාරි 26 වැනිදාම CID අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා තිබුණි. පෙබරවාරි 28 වැනිදා නැවතත් ඔහුගේ ශාරීරික හා මානසික සුවතාවය පිළිබඳ අවිනිශ්චිතභාවය මතුකරමින් ලිපියක් යවා තිබුණද, ඊට නිසි ප්‍රතිචාරයක් නොදක්වා කෲර ලෙස කටයුතු කර ඇත. (පෙබරවාරි 28 දින පුත්‍රයාට පමණක් පැය භාගයක හමුවක් ලබා දී ඇත ).

නිගමනය:
චෝදනාවක් පවා නිශ්චිතව ගොනු කර නොමැති, උසාවියේදී සැකකරුවෙකු ලෙසවත් නම් කර නොමැති පුද්ගලයෙකුට, අති දැවැන්ත පාතාල නායකයෙකුටවත් නොකරන තරම් තද කොන්දේසි පැනවීමෙන් පෙනී යන්නේ කුමක්ද? මෙය හුදු නීත්‍යානුකූල අපරාධ විමර්ශනයකට එහා ගිය, ව්‍යවස්ථාව සහ සාමාන්‍ය නීතිය පාගා දමමින් ක්‍රියාත්මක වන “දේශපාලනික දඩයමක” පැහැදිලි සලකුණකි. නීතිඥ සහාය ලබා ගැනීමේ අයිතිය පවා අහිමි කිරීම හරහා ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය බරපතල නෛතික අර්බුදයකට තල්ලු වෙමින් පවතී.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x