වසර 14කට පසුව නීතීඥයෝ කොළඹට එති!
1 min read
ඊයේ (13) යුද හමුදා මූලස්ථානය පිහිටි, අධිආරක්ෂිත කලාපයේ දී කිසියම් පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩිතබා ඝාතනය කල නීතිඥ බුද්ධික මල්ලආරච්ච සහ ඔහුගේ බිරිඳ පිළිබඳ සිද්ධිය සමග කම්පනයට පත්ව සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය මහා සභාව රැස් කිරීමට තීරණය කර තිබේ. මීට වසර 14කට පෙර ශිරාණි බණ්ඩාරනායක සිද්ධියට අදාළව මහා සභාව රැස්කිරීමෙන් පසු මෙවර මහ සභාව රැස් කරනුයේ ප්‍රථම වරටය.
මෙම වෙඩි ප්‍රහාරය තුවක්කුකරුවන් දෙදෙනකු විසින් සිදු කර ඇත්තේ සවස 5:00 පමණ අකුරේගොඩ පිහිටි අලෙවිසැලක් ඉදිරිපිටදී ය. එම ස්ථානයේ සිට යුද හමුදා මූලස්ථානය පවතින්නේ මීටර් 600ක තරම් කුඩා දුරකිණි.
සිද්ධිය වූ වහාම මෙම ඝාතනය හා බැඳුණු පාතාල කතාවක් ප්‍රසිද්ධ කිරීම එකී ඝාතනය අනියමින් සාධාරණීකරණය කිරීමට පොලිසිය ගෙන තිබෙන පියවර ද නීතිඥ සංගමයේ බලවත් අප්‍රසාදයට හේතු වී තිබේ. සිද්ධිය වී කෙටි කාලයක් ඇතුළත ඝාතනයට ලක් වූ නීතිඥවරයා ‘ලොකු පැටී‘ නැමැති පාතාල නායකයා සමඟ එකතු වී ඇති බවත්, ඒ වන විටත් ඔහු ලොකු පැටීගේ හතරකු ලෙස සැලකෙන කරන්දෙනිය සුද්දාගේ නීතිඥයා ලෙස ක්‍රියා කර ඇති බවත් පොලීසිය ප්‍රචාරය කරන ලදී. කරන්දෙනිය සුද්දාගේ තොරතුරු ලොකු පැටී වෙත මුදලට ලබාදීමෙන් උරන වූ කරන්දෙනිය සුද්දා මෙම ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිසිය ක්ෂණිකව නිගමනය කර තිබේ.
මෙම සිදුවීමත් සමගම, පාතාල අපරාධකරුවන්ට අදාළ නඩු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන් ද බලවත් තැතිගැන්මකට ලක්වී තිබේ.
හෙට (15) පැවැත්වෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හදිසි මහා සභා රැස්වීම මගින් අපරාධ මැඩලීමට ආණ්ඩුව දක්වන බලවත් අසමත්කම පිළිබඳව විශේෂ තීරණ කිහිපයක් ගැනීමට නියමිතව තිබේ. එම රැස්වීම හෙට (15) සවස 3:00ට පැවැත්වීමට නියමිතය.
ටී.56 ගිනි අවි දෙකක් යොදා ගනිමින් ඉතාම ජනාකීර්ණ ප්‍රදේශයකදී හා අධි ආරක්ෂිත කලාපයක දී සිදු කරන ලද මෙම ඝාතන මගින් පෙන්නුම් කරනුයේ සමාජය මුහුණ දී සිටින බලවත් අනාරක්ෂිත බවේ ප්‍රමාණය යි. ආණ්ඩුවේ නායකයන් පුරාජේරු කතා පවත්වමින් පාතාල මර්ධනය කටින් සිදුකළ ද ප්‍රායෝගිකව පාතාලය අන් කවරදාටත් වඩා ශක්තිමත් වී ඇති බව මෙම ඝාතන වලින් පැහැදිලි වේ.

නීතිඥ බුද්ධික මල්ලවආරච් මහතා වෙඩි පහරට ලක් වූ අවස්ථාවේ ඡායාරූප


වින්දන නවරත්න
