රනිල්ට ත්‍රිපුද්ගල මහාධිකරණයක අධිචෝදනා…
1 min read
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සම්බන්ධ ප්‍රධාන පෙළේ විමර්ශන දෙකක් අවසන් වූ පසු, ඔවුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial-at-Bar) හමුවේ අධිචෝදනා ගොනු කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා ඇතැයි Sunday Times වාර්තා කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිඳගේ ආචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයේ කළ සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව හා හිටපු පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ වැලිගම W15 හෝටලය අසල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
නීතිපති පරින්ද රණසිංහ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වී ඇත.
වික‍්‍රමසිංහ සහ තෙන්නකෝන් යන මහත්වරුන් දරන ලද තනතුරු සහ වගකීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් සැකකරුවන් ලෙස නම් කර ඇති මෙම නඩු විභාග කිරීම සඳහා වෙන වෙනම ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු පත් කිරීම සුදුසු බව එහිදී නිර්දේශ වී තිබේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධීන් දෙක සම්බන්ධ විමර්ශන තවමත් අවසන් වී නොමැති බැවින්, විමර්ශන වාර්තාවල උපුටා ගැනීම් තමන් වෙත ලැබුණු පසු ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව නීතිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
වැලිගම W15 හෝටල් වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන දැනටමත් අවසන් අදියරේ පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් 31 වැනිදාට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුහාන් අබේවික්‍රම මහතාට උපදෙස් දී තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු මෙම සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන් අට දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද දන්වා ඇත.
මෙහිදී ඇතැම් සැකකරුවන් රජයේ සාක්ෂිකරුවන් ලෙස යොදා ගැනීමට කළ යෝජනාවක් ප්‍රතික්ෂේප වී තිබේ.
හිටපු ජනාධිපතිවරයාට එරෙහි විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැය හතරකට අධික කාලයක් පැවති සාකච්ඡාවක තොරතුරු ද මෙහිදී අවධානයට ලක් විය.
එමෙන්ම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව ද කරුණු විමසා ඇති අතර, ඔහු යම් අපරාධයක් සිදු කර ඇත්ද නැතහොත් අපරාධයකට ආධාර අනුබල දී ඇත්ද යන්න පිළිබඳව ස්වාධීන නිරීක්ෂණ ජනවාරි 28 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සමදරි පියසේන මහත්මියට උපදෙස් දී තිබේ. සමන් ඒකනායක මහතා සැකකරුවෙකු ලෙස නම් කරන්නේද යන්න තීරණය වන්නේ එම නිරීක්ෂණ මතපදනම්වය.
