මහජන ආරක්ෂක අමාත්‍යවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස බලපෑම්!
1 min read
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සහ ඉන් පසුව කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව ඔහුට “පාතාල” ලේබලය ඇලවීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ‘Free Lawyers’ සංවිධානය දැඩිව අවධාරණය කරයි.
කොළඹ අකුරේගොඩ අධි ආරක්ෂක කලාපයේ පිහිටි ආරක්ෂක හමුදා මූලස්ථානය අසලදී මෙම ඝාතනය සිදුවී ඇත. ඝාතනයෙන් පසු විමර්ශනයකින් තොරව එහි වගකීම පාතාල කණ්ඩායමකට පැවරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම භාරගත යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි. තම වෘත්තියේ නියැලීම හේතුවෙන් ඝාතනයට ලක්වූ නීතිඥවරයෙකුගේ ආත්ම ගෞරවය විනාශ කිරීමට රජය මැදිහත් වීම පිළිබඳ පූර්ණ වගකීම අමාත්‍යවරයා දැරිය යුතු බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පොලිස් විමර්ශන පිළිබඳ සැක මතු කරයි
පොලීසිය විසින් ඝාතනයෙන් කෙටි වේලාවක් තුළ නිකුත් කළ ප්‍රකාශය කලින් සූදානම් කර තිබූ එකක්ද යන්න සහ පොලීසිය විසින් වැරදි තොරතුරු සමාජගත කර තිබේද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුවිය යුතු බව Free Lawyers සංවිධානය පවසයි. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් ‘පාතාලයේ නීතිඥවරුන්’ ලෙස හංවඩු ගැසීමට ආණ්ඩුවට, පොලීසියට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට අයිතියක් නොමැති බවද ඔවුහු ප්‍රකාශ කරති.
මෙම තත්ත්වය හමුවේ නීති ක්ෂේත්‍රය මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව එම නිවේදනයේ පහත කරුණු අනාවරණය කර ඇත:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිල පිළිගැනීමක් ලබා දී ඇති නීතිඥවරුන්ට මරණ බියෙන් තොරව නිදහසේ සිය වෘත්තිය කරගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසීම රාජ්‍යයේ වගකීමකි.
වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය යුද සමයේදීවත් නොතිබූ තරම් බියකරු තත්ත්වයක් වන අතර, නීතිඥ ප්‍රජාවට තම පවුල්වල ආරක්ෂාව ගැනද දැඩිව සැලකිලිමත් වීමට නව තත්ත්වය යටතේ සිදුවී තිබේ.
රජය සහ අමාත්‍යවරයා විසින් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සහ සාධාරණ නඩු විභාගයක් සඳහා පුරවැසියකුට ඇති අයිතිය වැනි නීතියේ මූලික පදනම් විනාශ කරමින් පවතින අතර, සාධාරණ නඩු විභාගයක් සඳහා වන අයිතිය රජය විසින් නොතකා හැරීම හේතුවෙන් මේ වන විට අර්බුද ගණනාවක් නිර්මාණය වෙමින් පවතී.
මෙහි පීඩාව මේ වන විටත් නීතිඥවරුන්ට හා විනිසුරුවරුන්ට හොඳින් දැනෙමින් පවතී.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ සමන් ගලප්පත්ති යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් යුතුව 2026 පෙබරවාරි 17 වන දින මෙම පුවත්පත් නිවේදනය නිකුත් කර ඇත.
