January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මධුරෝ සහ හතුරෝ

1 min read

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ ගැන එරට මෙන්ම මෙරට ද ප්‍රධාන මත දෙකක් තිබේ. ඉන් එක් මතයක් වන්නේ ඔහු දේශප්‍රේමියෙකි, ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට සිය දේශය කොල්ල කෑමට ඉඩ නොදී ප්‍රතිපත්ති ගරුකව සටන් වැදුනෙකි, හා ප්‍රගතිශීලියෙකි, සමාජවාදියෙකි, ජාතිකවාදියෙකි යන්න යි.

අනෙක් මතය වන්නේ ඔහු ඒකාධිපතියෙකි, වෙනිසියුලානු ආර්ථිකය බිඳවැට්ටුවෙකි, එනිසාම වෙනිසියුලානු ජනතාවට පීඩනය රැගෙන ආ අසාර්ථක පාලකයෙකි යන්නයි.

පළමු මතය දරන්නෝ බඩට වඩා රට ගැන හිතන උදවිය වේ. දෙවැනි මතය දරන්නෝ, රටට වඩා බඩ ගැන හිතන උදවිය වේ.

වෙනිසියුලාව යනු ලෝකයේ වැඩිම තෙල් සංචිතය සහිත රට ය. දුර්ලභ ඛනිජ සම්පත් ද එය සතුව තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රිසි පරිදි පරිහරණය කළ මේ සම්පත් ජනසතු කළේ හියුගෝ චාවේස්ගේ පාලනය යි. මදුරෝ ගියේ චාවෙස් ගිය පාරේ ය.

මොන කතා කීව ද ඇමෙරිකාවට අවශ්‍යව ඇත්තේ ලෝකයේ ඉහළම තෙල් සංචිතය සහ වෙනිසියුලාව සතු ඛනිජ සම්පත් සූරා කෑමට ය. වෙනිසියුලාවේ පාලනය තමන් විසින්ම පවත්වාගෙන යන බව ඔහු පවසන්නේ ඒ නිර්දය ඕනෑකම මනාව ප්‍රදර්ශනය කරමින් ය. මධුරෝගේ පාලනයේ වැරදි හා අඩුපාඩු තිබේනම්, ඒ වැරදි හා අඩුපාඩු ඊටත් වඩා තිබිය දී වුව එම පාලනය ඇමෙරිකාවට ගැතිව ක්‍රියා කළේනම් මධුරෝට කවදාවත් මේ ඉරණම අත්වන්නේ නැත.

ජනප්‍රිය පුවත්  සමනලයෝ සහ සමනලියෝ !

ලෝකයේ බොහෝ රටවල නායකයන් මේ අමු ආක්‍රමණය හෙළා දැක තිබේ. ජාත්‍යන්තර නීතිය බල්ලාට දැමූ ඇමෙරිකානු ආක්‍රමණය විසින්, ජාත්‍යන්තර ආයතන (එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි) විහිලුකාර ආයතන බවට පත් කර තිබේ. යුද අපරාධ චෝදනා ඇමෙරිකාවට එල්ල කරන ජාත්‍යන්තර අධිකරණ නැත. දැන් ඒ සියල්ලම බලු වී තිබේ. ලෝකය දුවන්නේ කැලෑ නීතියෙනි.

ප්‍රභලයාට දුබලයා ගිලගත හැකිනම්, සියලු දුබලයෝ දැන් ඉන්නේ ප්‍රභලයාගේ ගොදුරක් බවට පත්ව ය. වෙනිසියුලාවේ තෙල් මේ වන විට කියුබාවට ලැබෙන්නේ නැත. ඇමෙරිකානු සම්බාධක විසින් වෙනිසියුලානු ආර්ථිකය බරපතළ බිඳ වැටීමකට ගොදුරු කළේය. ඒ සියලු පීඩනයේ වාසිය යොදා ගත්තේ ඇමෙරිකාව ය. ඊළගට ඔවුන් කියුබාව දෙසට අවධානය යොමුකරනු ඇතැයි සිතිය හැකි ය.

එරට විපක්ෂ නායිකාව ඇමෙරිකානු ගැතිය. ඇය සිතා සිටියේ මධුරෝ ගිය විට පාලන බලය තමන් අතට පත්වනු ඇත කියාය. ඇයත් හරියට ඇහැලේපොල වගේ ය. සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හට එරෙහිව ඇහැලේපොල සුද්දාට උදව් කළේ, රාජසිංහට අහිමි කෙරෙන ඔටුන්න සුද්දා විසින් තම හිස මත පළන්දනු ඇතැයි සිතාගෙන ය. නමුත් සිදු වූයේ එය නොවේ. සුද්දාම උඩරට ඇතුළු මුළු රටේම පාලන බලය සියතට ගත්තේ ය. ඇහැලේපොලට සිදු වූයේ මොනවද කෑ රිලවකු ලෙස ඒ දෙස බලා සිටින්නට ය.

ජනප්‍රිය පුවත්  විරුවන් ස - මරමු!

ට්‍රම්ප් ජනාධිපති දැන් කියන්නේ සුදුසු කල උදාවනතුරු වෙනිසියුලාව තමන් විසින් පාලනය කරන බවය. විපක්ෂ නායිකාව ඇහැලේපොලගේ ඉරණමට වැටෙන්නේ ඒ අනුව ය.

ගඩාෆි මරා දමන විට ද, සදාම් හුසෙන් මරා දමන විට ද සතුටු වූ ලිබියානුවෝ හා ඉරාක වැසියෝ සිටිය හ. ඒ සැවොම අද ඒ ගැන දුක් වෙති. වෙනිසියුලාවේ සිටින, මධුරෝ ට අත් වූ ඉරණම ගැන සතුටුවන අයට ද අපට කියන්නට ඇත්තේ ඔබටත් දැන් ඒ අවස්ථාව උදා වී ඇති බවය. ඒ හැර එවැන්නන්ට කීමට වෙනත් කිසිවක් අප සතුව නැත.

‘‘වෙනිසියුලාවට අත නොතබනු!“ යැයි කියා කොළඹ පිහිටි ජුලි චන්නලාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට අද ජනතා විමුක්ති පෙරමුණක් ද නැත. අඩුම තරමේ ඇමෙරිකානු ආක්‍රමණය හෙළා දැකීමටවත් ”රතු” මල්ලිලා කට අරින්නේ නැත. ඒ, වෙනිසියුලාවට වඩා වෙනස් ආකාරයකට රතු මල්ලිලාට අත තැබීමට ඇමෙරිකාව සමත් වී සිටින නිසා ය. දැන් රතු මල්ලිලාගේ කට ඇරෙන්නේ U.S.A. අවසරයට යටත්ව ය. බත් මුඛය පාදා ගන්නේ ඒ අවසරය මතය. මල්ලිලා ”රතු” වූවාට වැඩේ සිද්ද වෙන්නේ ඒ විදියට ය.

ජනප්‍රිය පුවත්  රංග දිසානායක කතා වස්තුව II

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x