November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

දේශපාලන බොරුවලට සමාජයක් ගොදුරුවන ආකාරය

1 min read

ශ්‍රී ලංකාවේ බලය වෙනුවෙන් බොරු කීමේ, සංස්කෘතිය පිළිබඳ සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයක්….

දේශපාලනය තුළ බොරු කීම දේශපාලනය තරම්ම පැරණිය. එහෙත් සත්‍යවාදී බව උදේ සවස සිල්පදයක් සේ (මුසාවාද වේරමණී) රකින සහ එයින් කියවෙන සදාචාරාත්මක කථාව ආරක්ෂා කරන බෞද්ධ ඉගැන්වීම් වලින් මුල් බැසගත් ජාතියක් වන ශ්‍රී ලංකාවේ, දේශපාලන බොරු කීමේ පරිමාණය සහ බලපෑම පෙර නොවූ විරූ කඳු මුදුනකට ළඟා වී තිබේ. අපේ රටේ සංස්කෘතිය විසින් අවංකභාවය අගය කලද, දේශපාලන ක්ෂේත්‍රය බොරුවට වැඩි වැඩියෙන් නැඹුරු තාවයක් දක්වයි.

දශක ගණනාවක් පුරා, ශ්‍රී ලාංකික දේශපාලන නියෝජිතයින් බොරු කීම වෘත්තීය මෙවලමක් බවට පරිවර්තනය කර ඇති බව නොරහසකි. එය ප්‍රියමනාප දෙයක් හැටියට මැතිවරණ ව්‍යාපාර තුල විශේෂයෙන් දැකිය හැකිය.

මැතිවරණ වේදිකාවල කිසිඳු අරමුණකින් හෝ සැලැස්මකින් තොරව ලබාදුන් පොරොන්දු, සංඛ්‍යාලේඛන, දුෂණ චෝදනා අතිශයෝක්තියට නංවා, මහත් විශ්වාසයෙන් යුතුව ඉදිරිපත් කල ගොතන ලද කතා ගැන මොහොතක් කල්පනා කරන්න. අද වන විට, මෙම බොරු කීමේ සංස්කෘතිය මහා පරිමාණයට ළඟා වී ඇත.

විශේෂයෙන් අන්තර්ජාලයේ සුළු වෙලාවක රස්තියාදුවකින් මේ පිලිබඳ ඕනෑ තරම් ඓතිහාසික සාක්ෂි සපයා ගත හැකිය. ඒ අතර නිතර මුණ ගැසෙන වඩාත් වෛරල් වූ ජනප්‍රිය ඒවා කීපයකි.

  • නාමල්ට රත්තරන් අශ්වයෝ 7 දෙනෙක් ඉන්නවා.
  • මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ ඩොලර් මිලියන 18 ක් සඟවලා.
  • චිචිගේ ගෙදර හදන බල්ලාගේ කරේ පවුම් 72 ක රන් දම්වැලක් තියෙනවා.
  • මම දැක්කා ලැම්බෝගිනි කාර් 7ක් වරායේ ගොඩබානවා.
  • සීගිරියේ තියෙන කළු ගල් ඔක්කොම ගෙනාවත් පෝට් සිටි එක හදලා සම්පූර්ණ කරන්න බෑ.
  • උමා ඔයේ දැවැන්ත හිලක් තියෙනවා.

ඔබට බලු බැල්මට මේවා විකාරයක් ලෙස පෙනුනත්, දහස් ගණනක් මෙම ප්‍රකාශ විශ්වාස කළහ. ඒ ඇයි?


දේශපාලනිකව ඉහල සාක්ෂරතාවයකින් යුත් සමාජයක් එවැනි ආඛ්‍යාන වැළඳ ගන්නේ මන්දැයි තේරුම් ගැනීමට, අපි ගැඹුරු සමාජ විද්‍යාත්මක විග්‍රහයන් පරීක්ෂා කළ යුතුය. අර්බුදයේ මනෝවිද්‍යාව, විශ්වාසය බිඳ වැටීම, ඩිජිටල් පරිසර පද්ධතිවල නැගීම, දාර්ශනික ප්‍රතිවිරෝධතා, සහ නූතන ප්‍රචාරණයේ යාන්ත්‍ර විද්‍යාව විසින් මේ යථාර්තය තේරුම් ගැනීමට අපට අධ්‍යාපනික ආලෝකය සපයයි.

ඩර්ක්හයිම්ගේ හැඟීම් පිලිබඳ විග්‍රහය.


සමාජ අර්බුද පිළිබඳ එමිල් ඩර්ක්හයිම්ගේ (Emile Durkheim) තීක්ෂ්ණ බුද්ධිය විසින් මෙය හෙළිදරව් කරන කාචයක් සපයයි. සමාජයේ ශ්‍රම විභජනය (The Division of Labor in Society) නම් කෘතියේ ඔහු මෙසේ ලියයි.’

“සාමූහික හෘදය සාක්ෂිය කැළඹුණු විට, පුද්ගලයා ආශාවන්, මායාවන් සහ අතිශයෝක්තීන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති කරයි.” ඩර්ක්හයිම්

2010 දශකයේ අගභාගයේ සහ 2020 දශකයේ මුල් භාගය වන විට, ශ්‍රී ලංකාවේද හරියට මඩර්ක්හයිම් කියන එවැනි සමාජ තත්වයක් විය. වසර ගණනාවක පටන් පවතී ආ බව කියන දූෂණ වංචා, ආර්ථික බිඳවැටීම සහ ලෝකය ඉදිරියේ සිදු වූ ජාතික නින්දාව, සාමූහික සදාචාරායට ඉමහත් වෙහෙසකර බවක් ඇති කළේය.

එකී තත්වයට අනුව මහජන දෛනිකත්වය වියවුල් වූ අතර

  • ස්වසම්ප්‍රජානනය ආඛ්‍යාන විසින් බලය ලබා ගන්නා ලදී.
  • එය සමාජ අතිශයෝක්තියට නැංවීම සඳහා සාරවත් භූමියක් බවට පත්විය.

මේ අනුව, මනඃකල්පිත ප්‍රකාශ, එනම් රත්රන් අශ්වයන්, බිලියනපතියන්ගේ සල්ලි ගබඩා, ලැම්බෝගිනි කාර් රථ, සත්‍යවාදී ප්‍රකාශ නොවුවා පමණක් නොව චිත්තවේගීය ගොඩනැගීම් ලෙස සේවය කළේය. ඇත්ත වශයෙන්ම ඒවා බොරු මානසික සහනයක් ලබා දෙන ආකාරයක් බවට පත් වූ අතර, පුරවැසියන්ගේ කලකිරීම තනුක කරමින් සුවපහසුව රැගෙන ආ ආඛ්‍යානයන් බවට පත් වීමට ඉඩ සැලසිය.

ජනප්‍රිය පුවත්  යෝජිත ශ්‍රී ලාංකික දිනය හා සමූහ මිනීවලවල්

වෙබර්ගේ චමත්කාරය, ප්‍රභූ විරෝධී කෝපය සහ ගැළවුම්කරුවෙකු සඳහා වූ සමාජ පිපාසය.


මැක්ස් වෙබර්ගේ (Max Weber) චරිතාංග අධිකාරිය (Charismatic authority) පිළිබඳ න්‍යාය මේ වෙනුවෙන් තවත් ප්‍රධාන අවබෝධයක් ලබා දෙයි. ආර්ථිකය සහ සමාජය (Economy and Society) ඉදිරිපත් කරමින් ඒ තුළ ඔහු මෙසේ සටහන් කරයි.

“චරිස්මා (Charisma) උපදින්නේ දුකෙන්. එය මතුවන්නේ සාම්ප්‍රදායික හෝ නීතිමය අධිකාරිය ජනතාව කෙරෙහි ඇති ග්‍රහණය නැති වූ විටය.” වෙබර්

ශ්‍රී ලංකාවේ ස්ථාපිත පක්ෂ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ස්වකිය දේශපාලන අනන්‍යතාවය විවිධ තත්වයන් මත අහිමි කර ගත්හ. මෙම ගැඹුරු දේශපාලන රික්තය තුළට තමන් ඇති පිරිසිදුයි, දූෂණ විරෝධීයි, සහ වීරෝධාරයි, කියමින් කලක පටන් “උනුත් එකයි – මුනුත් එකයි, මෙදාපාර අපි ජවිපෙට.” ලෙස අවස්ථාවාදී සූත්‍රයක් සැකසු ජවිපෙ එතනට ස්ථානගත විය. පසුව එම සුත්‍රගත දේශපාලන උපායේ දිගුවක් වූ ජනතා විමුක්ති පෙරමුණ සහ ජා.ජ.බ මෙම ආකර්ෂණීය උපාය මාර්ගය රාජ්‍ය බලය අත්පත් කරගැනීම දක්වා වූ ක්‍රියාවලියකින් පරිපූර්ණ කර ගත්තේය.

එමෙන්ම ඔවුන් සිය ආලේඛ්‍ය පිතුරය, පින්තාරු කලේ,

  • විරුද්ධවාදීන් දූෂිත දුෂ්ටයන් ලෙස රාමු කිරීමෙනි.
  • සාක්ෂි වලට වඩා චිත්තවේගීය ආඛ්‍යාන ප්‍රවර්ධනය කිරීමෙනි.

කැරිස්මා වර්ධනය වන්නේ සත්‍යය මත නොව මිථ්‍යාව මත ය. වෙබර්ගේ රාමුව පුරවැසියන් අමුතු, අභූත, සහ බොරු චෝදනා පවා වැළඳගත්තේ මන්දැයි පැහැදිලි කරයි. ඇත්ත වශයෙන්ම ඒවා වෙබර්ගේ ධර්මිෂ්ඨ විප්ලවය එදිරිව නපුරු ස්ථාපිතය පිළිබඳ කතාවට පවා කදිමට ගැලපේ. කැරිස්මා දේශපාලනය ස්වභාවයෙන්ම ඇත්තට වඩා ආඛ්‍යානය, එනම් ඇත්තට වඩා හැඟීම් දිරිමත් කරයි.

ලූහ්මන්ගේ විශ්වාසය අහිමිවීම පිළිබඳ න්‍යාය


විශ්වාසය බිඳ වැටීම සහ අවිධිමත් තොරතුරු ජාලවල නැගීම පිලිබඳ දැන ගැනීමට නම් නික්ලස් ලූමාන්ගේ (Nicolas Luhmann) විශ්වාසය පිළිබඳ න්‍යාය අධ්‍යනය කිරීම අත්‍යවශ්‍ය වේ. විශ්වාසය සහ බලය (Trust and Power) යන කෘතියෙන් ඔහු ගෙන හැර දක්වන්නේ,

“විශ්වාසයෙන් අහිමිවී ගිය පසුව, සමාජය සංකීර්ණත්වය අඩු කිරීමට අසමත් වේ. ඒ තතත්වයට, පුද්ගලයන් සාමාන්‍යකරණය වන තර, බොහෝ විට විශ්වාස කළ නොහැකි අර්ථ පද්ධති වෙත යොමුවේ.”

නික්ලස් ලූහ්මන් ලූහ්මන්ගේ පෙන්වා දීමට අනුව ශ්‍රී ලංකාවේද ​

  • මාධ්‍ය විශ්වසනීයත්වය බිඳ වැටුණි.
  • විශේෂඥයින් සේවයෙන් පහ කරන ලදී.
  • රජයේ දත්ත සහ ඉදිරිපත් කරන ලද ඇතැම් තොරතුරු සැක සහිත විය.
  • දේශපාලන පොරොන්දු අර්ථ විරහිත විය.
  • මෙම රික්තය තුළ, මිනිසුන් තොරතුරු මුලාශ්‍ර වෙත යොමු විය
  • සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් සහ එවැනි සංවිධානාත්මක සමාජ මාධ්‍ය මෙහෙයුම් බහුල විය.
ජනප්‍රිය පුවත්  පෝක් සමුද්‍ර සන්ධිය හරහා නිර්මාණය වන බියකරු රළ පහරක්!

ඒ අතර

  • WhatsApp කණ්ඩායම් කටකතා
  • නිරනාමික වෙබි පිටු සහ Fake ෆේස්බූක් ගිණුම් බහුල විය.

මේවා සියල්ලක්ම විකල්ප “තොරතුරු පද්ධති” බවට පත් විය. ලූහ්මාන්ගේ වචන වලින් කිවහොත්, ඒවා සංකීර්ණ සන්ධර්භයකට සරල අර්ථයක් ලබා දුන්නේය. මේ අනුව, විශ්වාස පද්ධතිය බිඳ වැටී තිබූ නිසා අභූත චෝදනා විශ්වාස කිරීමට පුරවැසියන් හුරු විය.

ප්‍රබන්ධය විසින් යථාර්ථය යටපත් කරනු ලබයි.

ආරෙන්ඩ් හැනා අරෙන්ඩ්ට් දුරදිග බලා වඩාත්ම දූරදර්ශී අනතුරු ඇඟවීම මේ සඳහා ලබා දෙයි. “ඒකාධිපතිවාදයේ මූලාරම්භය” (The Origins of Totalitarianism) ඇය මෙසේ ලියයි.

“පරමාදර්ශී සාධකය වන්නේ සත්‍යය සහ ප්‍රබන්ධය අතර වෙනස තවදුරටත් නොපවතින දෙයකි.” හැනා අරෙන්ඩ්

ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරය, ඒකාධිපති ස්වාභාවයක්ම නොවුනත් වඩාත් ගැඹුරින් ව්‍යාකූලවී මෙම තත්වය පිළිබිඹු කරයි. එනම් පරස්පර විරෝධී ප්‍රකාශ, චිත්තවේගීය ප්‍රකෝපකාරී බවක් ගන්නා ප්‍රචාරණ සහ ඩිජිටල් නාටකීය ප්‍රවාහය යථාර්ථය සහ ප්‍රබන්ධ අතර පවතින සියලු බෙදුම් රේඛා බොඳ කරන කර ඇත.

අරෙන්ඩ්ට්ගේ ආකෘතියේ දක්වන පරිදි,

  • සත්‍යය සාකච්ඡා කළ හැකි වේ.
  • කරුණු විකල්ප බවට පත්වේ.
  • චිත්තවේගීය ප්‍රවෙගකරිත්වය නිරවද්‍යතාවය නැවත සකස් කරයි.
  • සාක්ෂි වලට වඩා කතාන්දර වැදගත් බවක් ගනී.

මෙය දේශපාලනික වැරදි සහ බොරු තොරතුරු පිළිබඳ ශ්‍රී ලාංකික අත්දැකීම මනාව විස්තර කරයි. ප්‍රබන්ධ දේශපාලනික වශයෙන් ප්‍රයෝජනවත් විය. එය විනෝදාස්වාදය සපයන උපකරණයක් බවට පත් විය. අවසානයේ එය අනන්‍යතාවයක් බවට පත් විය.

බෞද්ධ ආචාර ධර්ම සහ ලංකාවේ විරුද්ධාභාසය

යහපත් වචන හෙවත් සත්‍යවාදී බව ( සම්මා වාචා ) පිළිබඳ බෞද්ධ ඉගැන්වීමකි. යහපත් වචනය එතුලින් අවධාරණය කරන අතර මුසාවාදය වහා බැහැරකර කිරීමට අවධාරණය කෙරේ

  • බොරු කීම
  • ද්වේෂසහගත ආමන්ත්‍රණය
  • ඕපාදූප සහ කේලාම් කීම
  • ප්‍රිය වචනය බෞද්ධ දර්ශනය මගින් යහපත් සමාජ භාවිතා හැටියට ඉගැන්වේ.

අභය සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

“යහපත් හේතුවක් නොමැතිව සහ යහපත් ප්‍රතිපලයකින් තොරව චේතනාන්විතව අසත්‍ය ලෙස පවසන දේ බැහැර කල යුතුය.”

එහෙත් නූතන ශ්‍රී ලාංකික දේශපාලනය හරියටම මෙම හැසිරීමට පරස්පරයක් රැගෙන එයි. එකී පරස්පරතාව වේදනාකාරී සත්‍යයක් හෙළි කරයි. සංස්කෘතික වටිනාකම් දේශපාලන හැසිරීම් ස්වයංක්‍රීයව නියාමනය නොකරයි.

කෝපය වෛරී ප්‍රකාශන ආචාර ධර්ම යටපත් කරන කල්හි, සාම්ප්‍රදායිකව සහ සංස්කෘතිකව සත්‍යයවාදී බව අගය කරන සමාජයක් පවා බොරුවලට ගොදුරු වේ.

ඩිජිටල් අවකාශය මුදල් හුවමාරු ඒකකයක් ලෙස.

  • ප්‍රතිවාදි අනෙකා කෙරෙහි කෝපය ඇවිලීම.
  • සමාජ අර්බුද සහ පීඩනයන් කෙරෙහි වූ කම්පනය අලෙවි කිරීම.
  • චිත්තවේගීය සහ හැඟීම්බර අන්තර්ගතයන් අඛණ්ඩව ප්‍රදර්ශනය කිරීම.
  • වෙනත් කිසිම විකල්ප මාවතක් නොමැත, තමන් පමණක් ඒකායන ගැලවුම් කරුවා බවට ඒත්තු ගැන්වීම.
  • සදාචාරාත්මක ආචාරධර්ම පසෙකලා සන්නිවේදනයේදී එනම් විශේෂයෙන් සමාජ මාධ්‍ය අන්තර්ක්‍රියා තුල කුණුහරුප වරුසා එල්ල කිරීම.

එවැනි පරිසර පද්ධතියක, “මම වරායේ ලැම්බෝගිනි කාර් රථ ගොඩබානවා දුටුවෙමි” වැනි ප්‍රකාශයක්, ගැන සිතා බලන්න. ඒ සඳහා සාක්ෂි අංශු මාත්‍රයක් නොමැතිව වුවත්, කෙතරම් බරපතල බොරුවක් වුවත්, සත්‍යයට වඩා වේගයෙන් පැතිරෙන්නේ එය උද්යෝගිමත් බැවිනි.

ජනප්‍රිය පුවත්  ඉක්වදෝරය එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

වෛරල් වීමේ ඩිජිටල් තර්කනය විසින් බොරුව ඇත්තට වඩා වේගයෙන් පරිණාමය වීමට සලස්වන්නේ එලෙසිනි.

බොරුව ආත්මීය සලකුණක් බවට පත්වූ NPP/JVP සන්නිවේදන ආකෘතිය.


පැවති සමාජ ආර්ථික සහ දේශපාලන ව්‍යකුලත්වයට එරෙහිව දුෂ්ඨයන් රාමු කිරීම, NPP/JVP සන්නිවේදන ආකෘතිය තුල දක්නට ලැබුන ප්‍රධන ලක්ෂණයකි. ඒ අනුව යමින් සාක්ෂි වලට වඩා ආඛ්‍යාන ආධිපත්‍යය NPP/JVP විසින් සන්නිවේදන පරිසර පද්ධතියක් ගොඩනඟා ගත්තේය. ඒ සන්නිවේදන අධිපත්‍යයේ පසු කම්පන දැන් ඔවුන් පසුපස යළි හඹා ඒමට පටන්ගෙන ඇත.

“ජනතාවට නැති කිසිවක් අපට එපා” යැයි පැවසු ඔවුන් ඩබ්ල කැබ් රථ 1775 ක් ආනයනය කිරීමට යාමේදී, ඊට පෙර වෛරල් වූ වීඩියෝ පට අන්තර්ජාලය හරහා නැවත ඔවුන් හමුවට පැමිණේ. එවැනි විරුද්ධාභාස දහස් ගණනක් දැන් ඔවුන්ගේ ඉරණම තීන්දු කරන මට්ටම දක්කවා උත්කර්ෂයට නැගී ඇත.

ප්‍රශ්නය නම් ශ්‍රී ලංකාවේ දේශපාලන බොරුව සහ රැවටීම් පිළිබඳව NPP/JVP සන්නිවේදන ආකෘතිය හෙළි කරන්නේ කුමක්ද යන්නයි.

ඇත්ත වශයෙන්ම මෙය විකාරයක් කිව හැකිය. කිසිම ඉදිරිගාමී බවක් නොතිබූ එය “රිය සකක්” හෙවත් කරත්ත රෝදයක් සේ තමා කල කිවූ දේ තමා පසුපස සෙවනැල්ල මෙන් ඇදී ඒමකි. එහි තිබු ආකෘතික මොඩලයන් වූ

  • නාටකීය කතන්දර කීම
  • සංකේතාත්මක අතිශයෝක්තිය.
  • සදාචාරාත්මක වැහැරීම.
  • දුෂ්ටයන් රාමු කරීම.

මේවා කිසිවක් සාක්ෂි මත පදනම් වූ ආකෘතින් නොවිය. එය චිත්තවේගීය අනුනාදය මත පදනම් විය.

එවැනි ආකෘතියක් සමූහයන් ඒකරාශී කරලීමට සමත් වුවත් සත්‍යය ඛාදනය කොට සෝදාපාලුවට ලක් කරයි.

මෙතුලින් ඥානවිද්‍යාත්මකව (Epistemologically) අගතියට පත් වූ මහජන අවකාශය (Public sphere) නම් පොදු ක්ෂේත්‍රයේ දැන් ඉතිරිව ඇත්තේ.

  • ධ්‍රැවීකරණය වූ මහජනතාවක්
  • අවිශ්වාසය කරපින්නා ගත් පුරවැසියන්
  • දුර්වල වූ ඇත්ත උදෙසා ඇති ප්‍රමිතීන්
  • නාට්‍යමය බොරු සඳහා කුණු රසයක්
  • විවේචනාත්මක ඇගයීම සංස්කෘතියක් සඳහා තිබුණු සමාජ ධාරිතාවයේ අඩු වීමක්, පමණි.

මෙය අරෙන්ඩ්ට්ගේ වචනවලින් පැවසුවහොත්, සමාජය ප්‍රබන්ධ දේශපාලනයට ගොදුරු විය හැකිය.

අවසන් විනිශ්චය

ශ්‍රී ලාංකිකයන් එම බොරු විශ්වාස කළේ ඒවා මෝඩ නිසා නොව, එතුල තිබු සමාජ විද්‍යාත්මක කොන්දේසි පරිපූර්ණ වූ නිසාය.

එනම්,

  • චිත්තවේගීය වෙහෙස (ඩර්කයිම්)
  • ආකර්ෂණීය ප්‍රභූ විරෝධී ආඛ්‍යාන (වෙබර්)
  • ආයතනික අවිශ්වාසය (ලූමන්)
  • සත්‍යය සහ ප්‍රබන්ධය අතර ව්‍යාකූලත්වය (ආරෙන්ඩ්)
  • ආචාර ධර්ම කථනයේ ඛාදනය (බෞද්ධ දර්ශනය)
  • ඩිජිටල් අවකාශය (නූතන ප්‍රචාරණය)

NPP/JVP සන්නිවේදන ආකෘතිය මෙම තත්වයන් ඇති කළේ නැත. නමුත් ඔවුන්ගේ දේශපාලන බලමුලු ගැන්වීමේ උපාය මාර්ගයක් ලෙස එම භාවිතයන් සාර්ථක විය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී සත්‍යය සඳහා රාමුවක් ලෙස එය අසාර්ථක වේ.

ශ්‍රී ලංකාව සෞඛ්‍ය සම්පන්න දේශපාලන සංස්කෘතියක් නැවත ගොඩනැගීමට නම්,

  • බොරුවෙන් තොර විශ්වාසනියත්වය යථා තත්ත්වයට පත් කළ යුතුය.
  • විවේචනාත්මක චින්තනය ප්‍රවර්ධනය කළ යුතුය.
  • ආයතන ශක්තිමත් කළ යුතුය.
  • තමන්ගේම ඓන්ද්‍රීය සදාචාරාත්මක සම්ප්‍රදායන් පුනර්ජීවනය කළ යුතුය.

දේශපාලන බොරුවෙන් සහ රැවටිලිකාර යුගයෙන් රටකට නැඟී සිටිය හැක්කේ එවිට පමණි.

විජේපාල දිසානායක
භාණ්ඩාගාරික; ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x