March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එංගලන්තයේ ලිංගික අධ්‍යාපනය ගැන උදම් අනන ලංකාවේ රැඩිකල් තාත්තලා නොදත් කතාව

1 min read

👉 එංගලන්තයේ ජීවත් වන ලාංකිකයෙකු තමන්ගේ දරුවාගේ ලිංගික අධ්‍යාපනයේ තරම ගැන ආඩම්බරයෙන් උදම් අනන වීඩියෝවක් පහුගිය දිනවල හැම තැනම ෂෙයා වෙමින් තිබුණා.

👉 ඒ වීඩියෝව හා ලිංගික අධ්‍යාපනය ගැන කියන්න කලින් පහත තියන කරුණු ටික දිහා ටිකක් බලන්න.

👉 2024 වසරේ එංගලන්තය හා වේල්සය තුළ ස්ත්‍රී දූෂණ 69958ක් වාර්තා වී තිබෙනවා. අන්තර්ජාලය හෝ වෙනත් වක්‍ර ක්‍රම මගින් සිදුවූ ලිංගික අපයෝජනත් සමඟ මේ ප්‍රමාණය 190620ක් බව Crime in England and Wales: year ending September 2024 වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

👉 ඒ වගේම 2024 වසරේ පොලිස් වාර්තා අනුව එංගලන්තය හා වේල්සය තුළ Online abuse ඇතුළු විවිධ වර්ගයේ ළමා අපචාර 102878ක් වාර්තා වී තිබෙනවා. මේ අතරින් 61845ක් ශාරීරිකව සිදුවූ අතවර හෙවත් Contact offence ගනයට වැටෙන ඒවා.

👉 හිටපු පෙම්වතා, අනියම් පෙම්වතා, හිටපු සැමියා වැනි සහකරුවන් අතින් ලිංගික ඊර්ෂ්‍යාව, තමාව හැර යාමේ වේදනාව වැනි කාරණා මත කාන්තාවන් ඝාතනය කිරීම Femicide ලෙස හැඳින්වෙනවා. 2022 වසරේදී මේ ක්‍රමයට එංගලන්ත කාන්තාවන් 122ක් ඝාතනය වී තිබෙනවා.

👉 2014 සිට අද දක්වා මේ අයුරින් ඝාතනය වී ඇති කාන්තාවන් ගණන 2000ක් පමණ වන අතර, ඒ අනුව සෑම දින තුනකටම එක් කාන්තාවක් වශයෙන් මේ ඝාතන සිදුවන බව එරට රජයේ වාර්ති පෙන්වා දෙනවා.

👉 2022 වසරේ දී එංගලන්තයේ සිදුවූ අවුරුදු 18 අඩු දැරියන්ගේ ගැබ් ගැනීම් ප්‍රමාණය 14233ක් බව ද ගාඩියන් ඇතුළු එරට බොහෝ ප්‍රකට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇත්තෙන්ම මීට දශකයකට හමාරකට පෙර මේ ප්‍රශ්නය මීටත් වඩා බරපතළ මට්ටමින් තිබුණත් රජයේ දැඩි මැදිහත් වීම මත, පසුගිය කාලය තුළ එය සැලකිය යුතු පහත බැසීමක් පෙන්නුම් කරනවා.

👉 2022 වසරේ එංගලන්තයේ දෙමාපියන් 1000ක් සම්බන්ධ කරගනිමින් කළ සමීක්ෂණයකට අනුව ඔවුන්ගෙන් 87%ක් තම දියණියන් ප්‍රසිද්ධ ස්ථානවලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වූ බව පවසා තිබෙනවා. මේ අනුව මේ හිංසනයන් අපරාධමය වරදක් ලෙස නීතිගත කිරීමට දෙමාපියන් 95%ක් තම කැමැත්ත පළ කොට තිබෙනවා.

ජනප්‍රිය පුවත්  ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගෙ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසියි…?

👉 2024 වසරේදී එංගලන්තයේ සිදුවූ දිවි නසා ගැනීම් ප්‍රමාණය 6190ක්. මේ අතරින් 5.8%ක්ම අවුරුදු 19ට අඩු දරුවන්. මේ ලිංගික නිදහසේ ආදීනව ඔවුන්ගේ මරණ කෙරෙහි කෙතරම් බලපෑවාද යන්න වාර්තා වී නැහැ.

👉 මීට අමතරව පොදු ප්‍රවාහන සේවාවල කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන පිළිබඳ ගැටලුවත් එංගලන්තයේ නිතර සංවාදයට ලක් වන්නක්. එරට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවල පවා මේ ප්‍රශ්නය ගැන කළ සංවාද ඇතුළත් වෙනවා.

👉 මෙවැනි රටවල සිදුවන ස්ත්‍රී දූෂණ ආදිය ගැන කියන විට සුද්දන්ට වඩා ලංකාවේ ජීවත් වන කළු සුද්දන් බොහෝ විට කලබල වෙනවා. ඔවුන් ඊට එරෙහිව විවිධ තර්ක ඉදිරිපත් කරනවා. ඒ එක් තර්කයක් තමය ලංකාවේ මෙවැනි සිදුවීම් වාර්තා නොවුණත්, ඒ රටවල අකුරටම නීතිය ක්‍රියාත්මක වන නිසා මෙවැනි සිදුවීම් නිසි පරිදි වාර්තා වන බව පැවසීම.

👉 හැබැයි මේක ඇත්තක් නෙමෙයි. පොලීසිය පිළිබඳ ඇති අවිශ්වාසය නිසා, ලැජ්ජාව නිසා, පොලීසියේ ඇතැම් පක්ෂපාතී හැසිරිම් නිසා එංගලන්තයේ කාන්තාවන් පවා මෙවැනි දේ ගැන පැමිණිලි කිරීමට මැලි වන බව ඒ රටේ වාර්තාවලම පැහැදිලිව සඳහන් වෙනවා.

👉 අනික අඩුවෙන් හෝ වැඩියෙන් වාර්තා වන්නේ ලිංගික අපරාධ සිදුවීම නිසා කියන සරල කාරණය මෙහිදී අප අමතක කළ යුතු නෑ. හැබැයි අපේ අය කතා කරන්නේ දියුණු යැයි කියන බටහිර රටවල ලිංගික අපරාධයක් බෙහෙතකටවත් සොයා ගැනීමට නැති ගාණට.

👉 මීට පෙරත් අප කියා ඇති පරිදි කිසිසේත්ම අප ලිංගික අධ්‍යාපනයට විරුද්ධ විය යුතු නැහැ. ඇත්තටම ඔය එංගලන්තයේ තාත්තා කියූ කිසිවක් මැජික් නොවෙයි. ඒ සියල්ල ලංකාවේ පාසල්වල දැනටමත් ඉගැන්වෙනවා. ඒ සියල්ල එසේ වුවත් ලංකාවේ කිසිදු ලිංගික අධ්‍යාපනයක් නැතැයි කියමින් ව්‍යාජ ඝෝෂා නැගීම ලංකාවේ ජීවත් වන රැඩිකල් චරිත කාලයක් තිස්සේ සිදු කරමින් සිටින දෙයක්.

👉 ඔවුන් ඉදිරිපත් කරන මීළඟ හාස්‍යජනක තර්කය තමයි ලිංගික අධ්‍යාපනය නිසා ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ආදිය නතර වන බව සහ ලිංගික නිදහස, ලිංගික අධ්‍යාපනය ඇති දියුණු බටහිර රටවල එවැනි දේවල් සිදු නොවන බව පැවසීම.

ජනප්‍රිය පුවත්  අනුර, හර්ෂ ඩී සිල්වා සහ ව්‍යාපාරික ගජ මිතුරන්

👉 ලංකාවේ කුමන හෝ අපචාර සිදුවීමක් වාර්තා වූ වහාම ඔවුන් මේ සුපුරුදු ලිංගික අධ්‍යාපන ඝෝෂාව නඟමින් ස්ත්‍රී දූෂණ, ළමා අපචාර නැති දියුණු බටහිර රටවල් ගැන වර්ණනා ලිවීමත් ආරම්භ කරනවා.

👉 මේ පින්තූරයේ ඇති කාටූනයේ තිබෙන්නෙත් ලිංගික අධ්‍යාපනය නැති නිසා ලිංගික අපරාධ සිදුවෙනවා කියන අතිශය පැතලි හා ව්‍යාජ අදහස.

👉 හැබැයි මේ සියල්ල ඊනියා රැඩිකල් චින්තකයන්ගේ සිහින ලෝක පමණයි. සැබෑ බටහිර ලෝකය එහෙම නැහැ. එංගලන්තය ගැන මෙහි ඉදිරිපත් කළ කාරණා දිහා බැලුවත් මේ බව හොඳින්ම පැහැදිලි වෙනවා.

👉 එංගලන්තය විතරක් නොවෙයි අනිත් යුරෝපා රටවලත් ලිංගිකත්වයට අදාළ සමාජ ගැටලු ඇති තරම් තිබෙනවා. ඒවා අපේ රටටත් වඩා බරපතළයි. ලිංගික අධ්‍යාපනය දුන් පමණින්, ලිංගික නිදහස තිබූ පමණින් ඒවා නතර වන්නේ නැහැ. සමහර විට වැඩි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න බලපාන සංකීර්ණ හේතු ගණනාවක් තිබෙනවා. ඒ ගැන අවශ්‍ය නම් වෙනම කතා කරමු.

👉 හැබැයි මේ කිසිවක් නොදන්නා තමන්ගේ රට ගැන, සංස්කෘතිය ගැන අධික හීනමානයකින් පෙලෙන ලංකාවේ මිනිස්සු ලිංගිකත්වය ගැන මේ රැඩිකල් ප්‍රලාප පහසුවෙන් වැළදගන්නවා. ඔවුන් මහත් උද්යෝගයෙන් ඒවා සමාජ මාධ්‍යවල බෙදා ගන්නවා. හැබැයි ඇත්ත ලෝකයේ සිදුවන දේවල් ගැන ඔවුන්ට අබමල් රේණුවක අදහසක් කියැවීමක් නැහැ.

👉 ඔය පිටරටවල ජීවත් වන ලාංකිකයන්ගේ තත්ත්වයත් ඒකම තමයි. මොකද කිසියම් රටක සමාජ ගැටලුවලට අදාළ තොරතුරු විචාරාත්මකව අධ්‍යයනය නොකර, ඒ රටේ ජීවත් වූ පමණින් ඒවා ගැන අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ ප්‍රශ්න ගැන ලංකාවේ මිනිස්සු තුළ කොයි තරම් වැරදි අදහස් තියනවාද? හැබැයි තමන් පිටරටක ජීවත් වීම කියන සරල කාරණය ආයුධයක් කරගනිමින් ඔවුන් මේවා සම්බන්ධව පහසුවෙන් බොරු පැතිරවීමට පෙළඹෙනවා.

👉 අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කථිකාව එක්ක මේ ව්‍යාජ ලිංගික අධ්‍යාපන ඝෝෂාවට නැවත නව පණක් ලැබී තිබෙනවා.

👉 අවසාන වශයෙන් නැවතත් කිව්වොත් අප කිසිසේත්ම ලිංගික අධ්‍යාපනයට විරුද්ධ නැහැ. දැනටමත් පාසල්වල ලිංගික අධ්‍යාපනය ලැබෙනවා. එය තවදුරටත් පුළුල් කළ යුතු නම් ඒ ගැන සංවාද කිරීමේ වරදක් නැහැ.

ජනප්‍රිය පුවත්  හැබැයි නලින්දත් හොඳ මිනිහෙක්!

👉 මේ සටහන ලිවීමේ අරමුණ මේ ප්‍රශ්නය ගැන බොහෝ දෙනා තුළ ඇති ජනප්‍රිය මිත්‍යා මතවල සැබෑ තත්ත්වය පෙන්වා දීම පමණයි. මේ සියලුම දත්ත ඒ රටේ පිළිගත් මූලාශ්‍රවලින් ලබාගත් ඒවා. නමුත් ලින්ක්ස් දැමීම පෝස්ට් එකේ රීච් එකට ගැටලුවක් වන නිසා මේ ලිපිය තුළ අදාළ ලින්ක්ස් ඇතුළත් කර නැහැ. අවශ්‍ය නම් ඒවා පසුව කමෙන්ට් තීරුවේ දාන්න පුළුවන්.

පසු සටහන

👉 මුලදී මේ ලිපියේ ලංකාවට අදාළ සංඛ්‍යා ලේඛන ඇතුළත් කර තිබුණේ නැතත්, බොහෝ දෙනා අහන නිසා පසුව ඒක ඇතුළත් කළා. මේ අනුව 2010දී 1605ක්, 2011දී 1648ක්, 2012දී 1941ක්, 2013දී 1890ක්, 2014දී 1750ක්, 2015දී 1759ක් වශයෙන් ලංකාව තුළ ස්ත්‍රී දූෂණ සිදුවීම් වාර්තා වී තිබෙනවා. සියලුම වර්ගවල ලිංගික අතවර තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් මේ සෑම වසරකම වාර්තා වී තිබෙනවා. මෙහිදී බොහෝ දෙනා මතු කරන තර්කය තමයි ලංකාවේ මේවා වාර්තා නොවන බව පැවසීම. හැබැයි මේ වාර්තා නොවන ප්‍රශ්නය ලංකාවේ පමණක් නොවෙයි එංගලන්තයේත් තිබෙනවා. ඒත් වාර්තා නොවන ප්‍රමාණය කොතරම්ද කියන්න අප කිසිවෙකු ළග පිළිගත හැකි සාධක නැහැ.

👉 අනිත් තර්කය තමයි එංගලන්තයේ අපරාධවලින් වැඩි ප්‍රමාණයක් කරන්නේ සංක්‍රමණිකයන් බව පැවසීම. නමුත් 2024 වාර්තා අනුව එරට ස්ත්‍රී දූෂණ ආදි අපරාධවලට දායක වූ සංක්‍රමණියන් ප්‍රමාණය සීයට 28ත්, 34ත් අතර ප්‍රමාණයක්. එය සාපේක්ෂව තරමක් ඉහළ අගයක් වුණත් එහි අදහස එංගලන්ත ජාතිකයන් අපරාධ නොකරන බව නොවෙයි. අනික මේ සංක්‍රමණිකයන් අතර යුරෝපා රටවල අයත් සැලකිය යුතු පිරිසක් සිටිනවා. ඇතමුන් කියන පරිදි සංක්‍රමණිකයන් සියලු දෙනා ලිංගිකත්වය ගැන නොදන්නා ආසියානු අප්‍රිකානු හෝ වෙනත් කලාපවල අය නොවෙයි

ඉසුරු ප්‍රසංග

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x