March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අලුත් බද්ද නිසා පොල්තෙල් මිල ඉහළට !

1 min read

ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලබන අප්‍රේල් 01 වැනිදා සිට පොල්තෙල් මිල ඉහළ යාම තුළින් මෙරට පාරිභෝගිකයාගේ ආහාර අයිතිය බරපතල අනතුරකට ලක්ව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, පොල්තෙල් මිල ඉහළ යාම හරහා පාරිභෝගිකයින් සෞඛ්‍යයට අහිතකර වෙනත් තෙල් වර්ග පරිභෝජනයට බලෙන් තල්ලු කිරීමේ උත්සාහයක් පවතින බවයි.

නව බදු සංශෝධන සමඟ වෙළඳපොළේ පොල්තෙල් මිල ඉහළ යන විට, මිල අඩු පාම්තෙල් සහ අනෙකුත් තෙල් වර්ග සුලබ වීම වැළැක්විය නොහැකි බවත්, එමඟින් වෙනත් තෙල් වර්ග කවළම් කරන ලද ප්‍රමිතියෙන් තොර ‘පොල්තෙල්’ වෙළඳපොළ ආක්‍රමණය කිරීමට ඉඩ ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය තුළ ගැඹුරු තෙලේ බැදීම බහුලව සිදු වන බව පෙන්වා දෙන සංගමය, ඒ සඳහා සුදුසු එකම තෙල් වර්ගය පොල්තෙල් බව වෛද්‍යවරුන් පෙන්වා දෙන බවද සිහිපත් කරයි.

පොල්තෙල් වෙනුවට පාම්තෙල් හෝ වෙනත් ආදේශක තෙල් වර්ග ගැඹුරු තෙලේ බැදීමට භාවිතා කිරීම බරපතල ලෙඩ රෝග රැසකට අත වැනීමක් බවද සංගමය අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  අපිලගෙ සාදුත් සත්‍යාග්‍රහයට එක්වෙයි!

දේශීය පාරිභෝගිකයාට සහන මිලට පොල්තෙල් ලබා ගැනීමට ඇති අයිතියට ප්‍රධාන බාධාව වී ඇත්තේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන් බවටද සංගමය චෝදනා කරයි.

මෙරට පරිභෝජනයට අවශ්‍ය පොල්තෙල් නිපදවීමට තිබෙන පොල්, අපනයනකරුවන් විසින් ඩොලර් උපයා ගැනීම සඳහා මිලදී ගැනීම නිසා වෙළඳපොළේ පොල්තෙල් හිඟයක් නිර්මාණය වී ඇත.

මේ හරහා පාරිභෝගිකයා බලහත්කාරයෙන් වෙනත් තෙල් වර්ග වෙත යොමු කරනු ලබයි.

ආනයනය කර හෝ දේශීයව නිපදවා පාරිභෝගිකයාට පිරිසිදු පොල්තෙල් සහන මිලට ලබා ගැනීමට ඇති අයිතිය රජය විසින් තහවුරු කළ යුතු බව රංජිත් විතානගේ මහතා පවසයි.

එසේ කිරීමට රජය අපොහොසත් වන්නේ නම්, දේශීය පාරිභෝගිකයා රැක ගැනීම සඳහා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම වහාම නවතා දැමිය යුතු බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x