විරුවන් ස – මරමු!
1 min read
ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් පසුගිය අප්‍රේල් 05 වැනිදා ඔවුන්ගේ ”අප්‍රේල් සමරුව” පවත්වනු ලැබුවේ ඉන්දියාවේ අගමැති මෝඩි සමග ආරක්ෂක ගිවිසුමක් ඇතුළුව, ගිවිසුම් හතකට අත්සන් තබමින්ය. තවමත් ඒ කිසිදු ගිවිසුමක ඇත්තේ මොනවා දැයි රට දන්නේ නැත.
පසුගිය දා පැවැත් වූයේ ඔවුන්ගේ ”ඉල් මහ සමරුව” ය. රෝහණ විජේවීර ඇතුළු ඝාතනයට ලක් වූ ජ.වි.පෙ. සාමාජිකයන් සමරන්නේ සෑම වසරකම නොවැම්බර් 13 දා ය. ඒ සමරුව දවසේ ජනාධිපතිවරයා තම ගෝලයන් ලවා ඇමෙරිකා එක්සත් ජනපදය සමග ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබනු ලැබුවේ ය. ඒ ගිවිසුමේ අන්තර්ගතය ගැන ද මහජනයා කිසිවක් දන්නේ නැත.
එක්සත් ජනපදය වෙනුවෙන් තව දුරටත් මෙහි රැදී සිටින තානාපතිනිය වූ ජුලී චංග් පැවසුවේ, ඉන්දු – ෆැසිපික් ආරක්ෂක උපායමාර්ගයට අනුව, ශ්‍රී ලංකාව හා තම රට අතර අත්සන් තබන මෙම ආරක්ෂක ගිවිසුම ඉතා වැදගත් වන බවය. ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම සේම මේ ගිවිසුම ද ආණ්ඩුව තබාගෙන තිබෙන්නේ හංගාගෙන ය. රටේ අයිතිකරුවන් වූ මහජනතාව මේ ගිවිසුම් වෙතින් රටට සිදුවන හානියේ තරම දන්නේ නැත.
පාලනයේ පාරදෘශ්‍යභාවය යනු නූතන ලෝකයේ ඉල්ලා සිටින ගුණයකි. රාජ්‍ය පාලනය ශිෂ්ඨ සම්පන්න වන්නේ කටින් හිටවන බතල වලින් නොවේ. භාවිතයේදී පෙන්වන ගුණාංග අනුව අදාළ පාලනයේ ශිෂ්ඨ හෝ අශිෂ්ඨ බව තීරණය කෙරේ.
මීට පෙර පැවැති කවර පාලනයක් වුව මෙබදු ගිවිසුම් හංගාගත්තේ නැත. ජ.වි.පෙ. බලය ඉල්ලා සිටියේ ඒ සියලු පාලනයන්ට වඩා යහපත් හා ශිෂ්ඨ පාලනයක් පිහිටුවන බවට දිවුරමිණි. එහෙත් අද සිදුවන්නේ, තමාට ඡන්දය දුන් හා නොදුන් ජනයා ”ගොන්නු” සේ සළකා ක්‍රියා කිරීමය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම ගැන ප්‍රශ්න කළ විට, ආණ්ඩුවේ නිවාස හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසා සිටියේ ඒවා රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් බැවින් ප්‍රසිද්ධ කළ නොහැකි බව ය. මරණයට ලක්වූ ඔවුන්ගේ ”විරුවන්ට” මේ උත්තර ඇසෙන්නේනම්, බඩ කපා ගෙන නැවත වරක් මැරෙන්නට සිතෙනු නොඅනුමානය.
පාලනය විනිවිද නොපෙනෙන ආකාරයට වැඩ කිරීමෙන් කියැවෙන්නේ, ඔවුන් කරන දේ රටට අයහපත් බව ය. රටට අයහපත් දේ කරන නිසා ඔවුන් මේ ගිවිසුම් හංගා තබාගෙන සිටින බව ය. ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට හා ඉන්දියානු ව්‍යාප්තවාදයට අනුව ක්‍රියා කරන පාලනයක් තම මරා දැමූ සගයන් සමරන්නේ රෙදි ඇඳගෙන ද?
ජ.වි.පෙ. අද වාම වෙස්ගත් අන්ත දක්ෂිණාංශික දේශපාලන කල්ලියක් බව මෙමගින් පැහැදිලි නොවේ ද? සිතා බැලිය යුත්තේ ඔබ ය.
