October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මැද පංතිය කපෝතියි !ධන බද්ද මග එනවෝ !!

1 min read

2007 වසරේ සිට ක්‍රමානුකූලව ආරම්භ වූ ග්‍රීසියේ ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත පනවන ලද එක්තරා විශේෂ බදු ක්‍රමයක් හේතු කොටගෙන බරපතල අසාධ්‍ය තත්ත්වයකට ගොදුරු විය. ලංකාවේ ජනගහණය මිලියන 22 ක් වන විට ග්‍රීසියේ ජනගහණය මිලියන 10.4 ක් විය. එහි (ග්‍රීසියේ) දල දේශීය නිෂ්පාදනයෙන් 80% ක් සේවා අංශයට හිමිය. කර්මාන්ත අංශය 16% ක් ද, කෘෂිකාර්මික අංශය 4% ක් ද ආවරණය කරනු ලබයි. ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සේවා අංශය ආවරණය කරනු ලබන්නේ 60% කි. කර්මාන්ත අංශය 26% ක් වන විට කෘෂිකාර්මික අංශය 8% ක දායකත්වයක් ලබා දේ.

2015 වසරේ සිට 2019 වසර දක්වා ග්‍රීසියේ අගමැතිධූරය දැරූ “සිරිසා” පක්ෂයේ නායක ඇලෙක්ස් ට්සිප්‍රාස්

ආර්ථික අර්බුදය විසින් ඉතා කෙටි කලක් තුළ විවිධ වර්ගයේ ආණ්ඩු බලයට ගෙන එන ලද ග්‍රීසියේ ජනතාව, 2015 ජනවාරි 25 පැවැති මැතිවරණයෙන් බලයට ගෙන එන ලද්දේ “සිරිසා” (SYRIZA) නැමැති වාම රැඩිකල් දේශපාලන පක්ෂයයි. එහෙත්, වසර හතර හමාරක් වැනි කෙටි කලකින් “සිරිසා” පක්ෂයට ලබා ගත් බලය අහිමි කෙරුණේ ලබා දුන් පොරොන්දු ප්‍රකාරව ආර්ථිකය සම්බන්ධව රැඩිකල් වෙනස්කම් සිදු කිරීමට ඔවුන් අපොහොසත් වීම නිසාත්, විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑමට නතුව, දැනටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ද නියම කර තිබෙන ග්‍රීසියේ සියළුම නිශ්චල දේපළවලට (ENFIA) අය කරන නව දේපළ බද්ද 2014 සිට ක්‍රියාත්මක කිරීම ඇරඹීමත් සමගය. එම බද්ද මගින් ග්‍රීසියේ ජනතාව තද බල නව පීඩනයකට ගොදුරු විය.

2026 සඳහා අය-වැය යෝජනා සමග ශ්‍රී ලංකාවට ද එම නව බද්ද හඳුන්වාදීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තීරණය කර තිබේ. එමගින් කිසියම් ආර්ථික ප්‍රයෝජනයක් ලද හෝ නොලද සෑම නිශ්චල දේපළකටම 10% ක හෝ ඊට වැඩි බදු මුදලක් අය කිරීමට රජය කටයුතු කිරීමට නියමිතය. ඒවායේ වටිනාකම තක්සේරු කිරීමට ද දැනටම අවශ්‍ය විශේෂිත ඩිජිටල් යටිතල පහසුකම් සකසා අවසන් කර තිබේ.

යාන-වාහන, වතු-පිටි, නිවාස ආදී සියළු නිශ්චල දේපළ මීට අයත් වන අතර මෙම ආර්ථික බද්ද වැටෙනුයේ දැනට ගෙවන බදු මුදල් වලට අමතර වශයෙනි. දැනටම, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මධ්‍යම පංතිය වේගයෙන් හැකිලෙමින් යන තත්ත්වය තුළ මෙම නව බද්ද ක්‍රියාත්මක කෙරුණහොත්, මධ්‍යම පංතිය අතුරුදහන් වනු ඇතැයි ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවා සිටිති.

ජනාධිපති අනුර දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමු වූ අවස්ථාවක්

ග්‍රීසියේ ද අර්බුදය මැද බලයට ආ වාම රැඩිකල් අනන්‍යතාවකට හිමිකම් කියූ “සිරිසා” පක්ෂයට වසර හතර හමාරකින් බලය අත්හැර යාමට සිදු වූයේ, තවත් හේතු ගණනාවක් අතර, මෙම “දේපළ බද්ද” එරට ජනතාව මත පැටවීමට ගත් තීරණයයි. ජාතික ජන බලවේග පාලනයට ද ග්‍රීසියේ “සිරිසා” පක්ෂයට අත් වූ ඉරණම අත්වීමටමෙම බද්ද ආසන්න හේතුව වීමට බොහෝ ඉඩ තිබේ. ඒ සමගම තම දේපළ කීයකට හෝ විකුණා දමා ශ්‍රී ලංකාව අතහැර වෙනත් රටවල පදිංචියට යන මධ්‍යම පාංතික ශ්‍රී ලාංකික පවුල් ප්‍රමාණයද මෙමගින් වේගයෙන් ඉහළ යා හැකි බවටද ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවා සිටිති. අමගින් ආර්ථිකයේ හැකිලීම තවදුරටත් වර්ධනය වී සෑම අංශයකම දරුණු බිඳවැටීමක් අපේක්ෂා කළ හැකි බව එම විශේෂඥයෝ පෙන්වා දෙති.

UnderGround ආර්ථික ලියුම්කරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x