August 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මහින්ද සිරිවර්ධන ගියා ද? පැන්න ද?

1 min read

කවුරුත් සිතාගෙන සිටින්නේ, මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, තමන්ට පමණක් උරුමකම් ලද විශේෂිත ජාත්‍යන්තර තනතුරක් ලැබී ආසියානු සංවර්ධන බැංකුවේ “විකල්ප විධායක අධ්‍යක්ෂකවරයකු” බවට පත්වීමක් ලැබ රටින් පිටව ගිය බවය. මහින්ද සිරිවර්ධන මහතා සතු විශේෂ කුසලතා හේතුකොටගෙන මෙම “ජාත්‍යන්තර පත්වීම” ශ්‍රී ලංකාවට හිමි වූ බවට ද ඇතැම් මාධ්‍ය හා ආණ්ඩුවේම ඇතැමුන් මගින් හුවා දක්වන්නට ද පෙළඹී තිබුණි. නමුත්, සත්‍යය මෙය ද ?

ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂක යන තනතුර විශේෂ සුදුසුකම් මත හෝ සම්මුඛ පරීක්ෂණ මත පත් කරනු ලබන තනතුරක් නොව, ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යාංශය විසින් නම් කරනු ලබන නියෝජිතයෙකුට පිරිනමනු ලබන තනතුරකි. එම පත්වීම සෑම වසර 14 කටම වරක්, වසර 2 ක කාලයක් බැගින් ශ්‍රී ලංකාවට හිමි වේ. එසේ එම තනතුර ශ්‍රී ලංකාවට ලැබෙන්නේ රටවල් 7 ක් අතර මෙම තනතුර වසර 2 කට වරක් භ්‍රමණය (Rotation) වෙමිනි.

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා

මෙම තනතුරට මෙතෙක් මුදල් අමාත්‍යාංශය විසින් නම් කර යවා ඇත්තේ, එහි දෙපාර්තමේන්තුවක අධ්‍යක්ෂකවරයකුගේ මට්ටමේ නිලධාරියකුව ය. ඒ අනුව, 1990 දශකයේ, එවකට සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු මහතා ද, 2022 දී එවකට සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ ලාල් සෙනෙවිරත්න මහතා ද, 2013 දී එවකට බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ යූ. ආර්. මාපා පතිරණ මහතා ද නම් කරන ලද අතර ඔවුහූ වසර 2 ක කාලයක් සඳහා පිලිපීනයේ මැනිලා නගරයේ එම තනතුර හෙඹවූහ. 2025 දී ද, වසර 14 කට වරක් ශ්‍රී ලංකාවට හිමිවන එම තනතුරට පුද්ගලයකු නම් කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලැබුණි. එවිට එම තනතුර සඳහා නම් කිරීමට සූදානම් කර තිබුණේ, බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් අබේසේකර මහතා ය. ඔහු එම තනතුර ලබා ගැනීමට ඇති සිය කැමැත්ත ද මුදල් අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා තිබුණි. එහෙත්, එම තනතුරට තමාව නම් කර යවන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් (එවකට) මහින්ද සිරිවර්ධන මහතා ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා සිටියේය. ඒ අනුව, මෙතෙක් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිදු නොවූ පරිදි, ඒ වන විටත් විශ්‍රාම ගොස් සිටිය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්ධූරය හොබවන ජේ‍ය්ෂ්ඨ නිලධාරියකුව අදාළ තනතුර සඳහා නම් කර යවනු ලැබීය. මහින්ද සිරිවර්ධන මහතා තමාට පමණක් විශේෂිතව ලැබුණු අවස්ථාවක් අත්පත් කරගැනීමකට වඩා මෙහිදී සිදු වූයේ සම්ප්‍රදායිකව, තමාට වඩා පහළින් සිටින අධ්‍යක්ෂක මට්ටමේ තනතුරු දරන අයකුට හිමිවිය යුතු අවස්ථාවක් තමාගේ අවස්ථාවක් බවට පත් කර ගැනීමය.

මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාව හමු වූ අවස්ථාවක්

ඒ අනුව, කොළඹ ආර්ථික විශ්ලේෂකයන් අතර මේ පිළිබඳව බලවත් කුතුහලයක් පැන නැගී තිබේ. එනම්, මහින්ද සිරිවර්ධන මහතා ඉහත සඳහන් ආසියානු සංවර්ධන බැංකුවේ තනතුර බදා ගත්තේ, ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේ දී ගොදුරු වීමට නියමිත කුණාටුවේ බරපතලකම කල් තබා වටහාගෙන සිටීම හේතුකොටගෙන ද යන්න. එය ගිලෙන නැවෙන මීයන් පැනීමකට සමාන ද? දේශීය මූල්‍ය වෙළඳපොල මගින්, භාණ්ඩාගාර බිල්පත් ගත් ආකාරයට ට්‍රිලියන ගණනකින් ණය ගනිමින් පවත්වාගෙන යන රාජ්‍ය වියදමකට තව කොතෙක් දුර එසේ යා ගත හැකි වනු ඇත්ද?

පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානය

2026 අග වන විට, ශ්‍රී ලංකාව නැවත විදේශ ණය ගෙවීමට පොරොන්දු වී ඇති රටකි. මහින්ද සිරිවර්ධන මහතා ද සහභාගී වූ සාකච්ඡාවන් හිදී මේ පොරොන්දුව අදාළ බාහිර පාර්ශවකරුවන් වෙත ලබා දී තිබේ. එම පොරොන්දු පවා ඉටු කර ගත නොහැකිව දෙවන වතාවටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් බවට පත්වීම වැළැකිය නොහැකිවනු ඇත යන පූර්ව නිගමනය මත පිහිටා මහින්ද සිරිවර්ධන මහතා පලා ගියේද ? මේ ප්‍රශ්න ලෙහෙසියෙන් නොසළකා හැරිය නොහැකි ප්‍රශ්න බව කොළඹ ආර්ථික විශේෂඥයින්ගේ මතය වී තිබේ.

UnderGround ආර්ථික ලියුම්කරු
– ෂර්මිලා පෙරේරා

Share this post with your friends

Leave a Reply

Your email address will not be published. Required fields are marked *