December 1, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රජා ශක්ති තනි පක්ෂ ශක්තියකට ද ?

1 min read

ශ්‍රී ලංකාව මේ මොහොතේ ඇදහිය නොහැකි අමුතු, රැවටිලිකාර සන්සුන් භාවයක් තුල ගිලෙමින් පවතී. ඝෝෂාකාරී උද්ඝෝෂණ හඬවල් නැත, මග දෙපස ගිනි ගන්නා බස් නැත, ක්‍රම වෙනසක් ඉල්ලා සිටින වීදි අරගල කරුවන් ද නැත. එහෙත් මෙම නිහඬ මතුපිටට යටින් සිහින් කම්පනයක් දැනෙමින් තිබේ. ඒ තුල සැකයක් සහ බියක් ඇත. වඩාත්ම බියකරු දෙය වන්නේ, කිසිවෙකුට සංවේදී නොවන නිශ්ශබ්දතාවයයි.

ඒ නිහඬතාවය යටින් සැඟවී ඇති ප්‍රශ්නය අන් කිසිවක් නොව, මහජනතාව තවමත් ශබ්ද නඟා ඇසීමට බියවී සිටින, NPP ආණ්ඩුවේ ප්‍රජා ශක්ති ආකෘතිය, තනි පක්ෂ රාජ්‍යයක් වෙනුවෙන් ගෙනා ට්‍රෝජන් අශ්වයෙක්ද? යන්නයි.

ඇත්ත වශයෙන්ම එය හුදෙක් ග්‍රාමීය ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක්ද? නැතහොත් චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) ශෛලියට අනුව, ප්‍රජා සුභසාධනය ලෙස වෙස්වලාගත් තනි පක්ෂ දේශපාලන ව්‍යුහයක් සහිත ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයක් (Constitutional dictatorship) දක්වා යන දෘෂ්ටිවාදාත්මක ආරම්භයක්ද?
සැබවින්ම මෙය අඳුරු කුටි තුල රහසින් කතා කරන කුමන්ත්‍රණ න්‍යායක් නොවේ.

දේශපාලන විමර්ශකයින්, සිවිල් ක්‍රියාකාරීන්, සහ විපක්ෂ දේශපාලන නායකයින්, දැන් මෙය විවෘතව වගේම පාර්ලිමේන්තුව තුල ද තියුණු ලෙස මතු කරන ඝෝෂාකාරී ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

විපක්ෂය ඔවුන්ගේ කනස්සල්ල සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන් සමකාලීන ඉතිහාසය වෙත යොමු වෙති. ජවිපෙ දෘෂ්ටිවාදී නායක ටිල්වින් සිල්වාගේ “පක්ෂ පාදක චීන අධ්‍යයන චාරිකාව” ගැන විමසිලිමත් වෙති. චීන අධ්‍යන චාරිකාවෙන් පසුව සිදුකරන ලද ඇතැම් ප්‍රකාශ එනම් “චීනය කාර්යක්ෂමයි. චීනය බලවත්. චීනය සංවර්ධනය වී ඇත. එබැවින් එහි ක්‍රියාත්මක තනි පක්ෂ පාලන ආකෘතිය උසස් ය.” වැනි සංවාද කෙරෙහි අවධානය යොමු කරති.

ඉතිහාසයේ සෑම දේශපාලන පරිවර්තනයක්ම හොඳ හෝ වේවා,නරක හෝ වේවා, ආරම්භ වූයේ කාර්යක්ෂමතාව, සුභසාධනය, බලගැන්වීම, ප්‍රගතිය, පමණක් පොරොන්දු වූ නිහඬ වැඩසටහනකිනි.

චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වූයේ ග්‍රාමීය කමිටු වලිනි. කියුබාවේ විප්ලවය ආරම්භ වූයේ ප්‍රාදේශීය “ජනතා කවුන්සිල” වලිනි. රුසියාවේ සෝවියට් ආකෘතිය පරිණත වූයේ “ප්‍රාදේශීය බලමුලු ගැන්වීමේ කමිටු” හරහා ය.

මෙම ව්‍යුහයන් සැමවිටම මෘදු භාෂා ආඛ්‍යාන තුල වර නගමින් හඳුන්වා දෙන ලද ආකෘතින්ය.

නමුත් ඉතිහාසය තුල ඒවා පරිණාමය වූ ආකාරය දෙස විමසිලිමත් වීමේදී බොහෝ කරුණු නිරාවරණය වෙයි. චීනය, වියට්නාමය, උතුරු කොරියාව, කියුබාව, ආදී කොමිනිස්ට් මූල ආකෘති සහිත රටවල බොහෝ දුරට ක්‍රියාත්මක මෙම මොඩලයන් තුල දක්නට ලැබෙන සමජාතීය ලක්ෂණ මෙසේ දැක්විය හැකිය.

  • ප්‍රාදේශීය කමිටු සංවිධානය කරයි.
  • පක්ෂපාතී පක්ෂ සාමාජිකයින් ඒවායේ ස්ථාන ගත කරයි.
  • ඔවුන් ප්‍රාදේශීය බලධාරීන් බවට පත් කරයි.
  • ඒවා රාජ්‍ය සම්පත් වෙත පිවිසුම් දොරටුවක් බවට පත් කරයි.
  • අනෙකුත් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් ක්‍රමිකව සෙමින් නිහඬ කරයි.
  • මැතිවරණ ක්‍රියාවලියකින් අදාළ සම්මුතිය තහවුරු කරගනී.

එබැවින් මෙම රටාව දැන් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාධරයින්ගේ කනස්සල්ලට සහ සැකයට හේතු වීම අහම්භයක් නොවේ. ඒ මන්ද යත් ප්‍රජා ශක්ති උක්ත කි සැලැස්ම සපුරාම නිරුපණය කරන නිසායි.

ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය “සහභාගීත්ව පාලනය”(Participatory governance) නමින් ගම් මට්ටමේ බලගැන්වීමක් ලෙස ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇත. එ සඳහා මෙවර අයවැයෙන් රු. මිලියන 27000 ක් වෙන් කර තිබේ. එමෙන්ම දිවයිනේ ග්‍රාමසේවා වසම් 14000 ක් ආවරණය වන පරිදි ප්‍රජා ශක්ති කමිටු පිහිටුවීමටද කටයුතු කරමින් සිටිති. එකී කමිටු නියෝජනය කරන්නේ ජවිපෙ ග්‍රාමීය කාඩරය විසින් බවට විපක්ෂ එකමුතුව පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.


එහෙත් ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය මහත් උද්යෝගයෙන්, එය හානිකර නොවන බවට සහ ඉතා ප්‍රගතිශීලී උත්සහයක් බවට එත්තුගන්වමින් සිටින අතර එය ග්‍රාමීය ප්‍රජාවන් නඟා සිටුවීමේ ඔවුන්ගේ සිහිනයක් බවද පවසයි.

එහෙත් දේශපාලනය වෙනුවෙන් බලය ක්‍රියා කරන ආකාරය තේරුම් ගන්නා අය මෙම ප්‍රයත්නය ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇත.

මක්නිසාද යත් “ග්‍රාමීය බලගැන්වීම” පහසුවෙන් “ප්‍රාදේශීය පාලනය” බවට පත්විය හැකි බැවිනි.

ප්‍රජා ශක්ති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය නිහඬවම පැමිණ, නිහඬවම ස්ථාපිත වෙමින් ඇත.

පාර්ලිමේන්තුවේ දිගු වාද විවාද ගැටුම් නොමැත. නොඇසෙන තරමේ කෙඳිරිලි හඬවල් පමණක් ඇසෙයි. මේ ගැන ගවේෂණාත්මක ජනමාධ්‍ය විචාර කතිකා නැති තරම්ය. එය ප්‍රසිද්ධියේ කතා කිරීමට කිරීමට විශේෂඥ මණ්ඩලද නොමැත.

ජනප්‍රිය පුවත්  බෞද්ධයන් අඩු වේ! මුස්ලිම් වැඩි වේ! නව ජන සංගණන වාර්තාව කියා පාන කථාව

එවැනි තත්වයක අදාළ වැඩසටහන සම්පූර්ණයෙන්ම සකස් කොට, සම්පූර්ණයෙන්ම අරමුදල් සපයා, සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ. “සහභාගීත්ව පාලනය” සහ “ග්‍රාමීය ජනතා බලගැන්වීම” යන මෘදු භාෂාවේ ආඛ්‍යානයෙන් එය ඔතා සරසා තිබේ.

නමුත් මෘදු වචන පිටුපස ඇත්තේ දැඩි යථාර්ථයකි.

ප්‍රජා ශක්ති ග්‍රාමීය ජාලය සඳහා තනි අයවැය රේඛාවක් තුළ පෙර නොවූ විරූ ලෙස රුපියල් මිලියන 27,000 ක් වෙන් කර ඇත.

රජය පවසන්නේ මේ තුලින් තමන් හුදෙක් ජනතා කේන්ද්‍රීය ග්‍රාමීය සංවර්ධන ආකෘතියක් ගොඩනඟන බවයි.

එහෙත් එය සැබවින්ම ගොඩනඟන්නේ, ඉතා කඩිනමින් සහ බාහිර පරීක්ෂාවකින් හෝ අධිකෂණයකින් තොරව, ශ්‍රී ලංකාවේ සෑම ගමකම බලය පැලවත්ත මුලස්ථානයට මධ්‍යගතව ක්‍රියාත්මක වන ආකාරයේ නැවත හැඩගස්වා ගත හැකි සමාන්තර පාලන ව්‍යුහයක් බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14,022 ක් ඇත. ජාතික ජන බලවේග ආණ්ඩුව ඒ සෑම එකක්ම ආවරණය වන පරිදි ප්‍රජා ශක්ති කමිටු පිහිටුවීමට සැලසුම් කරයි. ඒවිතරක් නොවේ කාලානුරුපිව ඒවාට නිල පිළිගැනීමක්ද ආරෝපණය කරයි.

මෙම කමිටු නිර්මාණය කිරීමේ අරමුණු ලෙස දක්වා ඇත්තේ,

  • ග්‍රාමීය සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගැනීම.
  • අරමුදල් වෙන් කිරීම් නිර්දේශ කිරීමට.
  • ප්‍රාදේශීය මට්ටමින් තීරණ ගැනීමේදී සහභාගී වීම.
  • ප්‍රජා මට්ටමේ සාමාජික නියෝජිතයන් ලෙස ක්‍රියා කිරීම.
  • ආදී වශයෙනි.


එහෙත් පිළිතුරු නොලැබුණු ප්‍රශ්න ගණනාවක් ඉතිරිව තිබේ. එනම්,

කවුද ඒ අයව තෝරන්නේ? ඒ සඳහා මැදිහත් වන්නේ ගම්වැසියන් නෙවෙයි. සාමාන්‍ය පුරවැසියන්ද නෙවෙයි. එසේත් නැතිනම් ස්වාධීන මණ්ඩලයක්ද නෙවෙයි.
ප්‍රධාන විපක්ෂ දේශපාලන නියෝජිතයින් චෝදනා කරන්නේ ඔවුන්ට ලැබුන අභ්‍යන්තර තොරතුරු වලට අනුව මෙම තෝරා ගැනීමේ ක්‍රියාවලිය තනිකරම දේශපාලන මැදිහත් වීමක් මත සිදුවන බවයි. එනම් එම යාන්ත්‍රනය සැකසී ඇත්තේ, ජවිපෙ ග්‍රාමීය දේශපාලන කේඩරය මුලික වූ ජාල හරහා හසුරුවනු ලබන බවයි.
විපක්ෂ දේශපාලන නියෝජිතයෙක් දක්වා සිටියේ මෙය සහමුලින්ම “ප්‍රජා නියෝජනය නොවේ, මහා පරිමාණයෙන් සිදුකරනු ලබන දේශපාලන ස්ථානගත කිරීමක්” ලෙසය.


සත්‍ය වශයෙන්ම, මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ තනි විශාලතම දේශපාලන යෙදවීමයි.

ප්‍රජා ශක්ති ආදර්ශය මින් පෙර අප කොහේදී දැක තිබේද?

ඇත්ත වශයෙන්ම මෙය ලංකාවට අලුත් දෙයක් සේ පෙනුනද මෙම ආකෘතිය අලුත් දෙයක් නොවේ. එය පහත සඳහන් අය භාවිතා කරන පද්ධති වලට ව්‍යුහාත්මකව බොහෝ දුරට සමාන වේ.

චීනය තුල මෙසේ නිරීක්ෂණය වේ.

  • බිම් මට්ටමේ පක්ෂ අනු අංශ
  • ගම් මට්ටමේ කමිටු
  • පක්ෂය විසින් ස්ථාපිත පාලන ඒකක
  • වියට්නාමය තුල යම් වෙනසක් තිබුනද මෙසේ දැකිය හැකිය.
  • ප්‍රාදේශීය මහජන කමිටු
  • මධ්‍යගත ග්‍රාමීය අධිකාරී නෝඩ් (Village authority nodes)


කියුබාවේදී එය සෘජුවම විප්ලවය ආරක්ෂා කිරීම සඳහා වූ කමිටු ලෙස දිස්වේ. එය පළමුව “ප්‍රජා ආරක්ෂාව” සඳහා භාවිතා කරන ලද අතර පසුව දෘෂ්ටිවාදාත්මක පෙළගැස්ම සඳහා භාවිතා කරන ලදී.

උතුරු කොරියාවේද මෙවැනි ආකාර ව්‍යුහයක් දක්නට ලැබේ. එය ඉන්මින්බන් අසල්වැසි ඒකක (Inminban Neighborhood Units) ලෙස ක්‍රයාත්මක වේ. මෙහි මුඛ්‍ය කාර්ය වන්නේ විවිධ දත්ත රැස් කිරීම, සහ පක්ෂපාතිත්වය බලාත්මක කිරීමයි.

මෙම සමජාතීය ව්‍යුහයන් සියල්ලක්ම ආරම්භ වූයේ, සුභසාධන වැඩසටහන්, ප්‍රජා සාමූහික වැඩසටහන්, සහභාගීත්ව පාලන ආකෘති වශයෙනි.


අනතුරුව සියල්ල පරිණාමය වූයේ, ප්‍රාදේශීය නිරීක්ෂණ සහ දත්ත ඒකරාශී කිරීම, දෘෂ්ටිවාදාත්මක බලාත්මක කිරීමේ යාන්ත්‍රණ, සහ දේශපාලන පාලන නෝඩ් වශයෙනි.

ජවිපෙ එවැනි සැලැස්මක් ප්‍රතික්ෂේප කළත්, ව්‍යුහාත්මක සමානකම ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ජනතා විමුක්ති පෙරමුණේ දෘෂ්ටිවාදී න්‍යායාචාර්ය වරයා වන ටිල්වින් සිල්වා පසුගියදා සිදුකල චීනයේ සංචාරයත් සමග ප්‍රජා ශක්ති මතභේදය තවත් තීව්‍ර වී ඇත. එය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික සංචාරයකට වඩා හුවා දැක්වුණේ වෙනත් නිරවචනයකිනි. අභ්‍යන්තර පක්ෂ මූලාශ්‍ර සහ විපක්ෂ දේශපාලන නිරීක්ෂකයින් විසින් එය විස්තර කරන ලද්දේ “පක්ෂ පාදක පාලනය පිළිබඳ අධ්‍යයන චාරිකාවක් ලෙසය.” එම වාක්‍ය ඛණ්ඩය පමණක් ප්‍රජාතන්ත්‍රවාදී බහුත්වාදය අගය කරන ඕනෑම කෙනෙකුගේ මනසෙහි සැක සාංකා මතු කිරීමට හේතු විය හැකිය.

චීනයේ පක්ෂ පාදක පාලනය යනු කුමක්ද ?යන්න ඒ පණිවිඩයයි.

ජනප්‍රිය පුවත්  වෛද්‍යවරයකුගේ හදවත!

ඇත්ත වශයෙන්ම සරලව පවසන්නේ නම් එක පක්ෂයක්, එක දෘෂ්ටිවාදයක්, එක සම්මුතියක්, එක දිශාවක්, වීරුද්ධත්වයක් එහි දක්නට නැත.
චීන කොමිනිස්ට් පක්ෂය බලය බෙදා නොගනී. ඒ වෙනුවට එය බලය අවශෝෂණය කර ගනී.

ජනතා විමුක්ති පෙරමුණ දැන් දකින සිහිනය කෙරෙහි බොහෝ දෙනා බිය වීමට හේතුව එයයි.

CCP ආකෘතිය, සහ පක්ෂ ව්‍යුහය යකඩ පාලනයක් මත ගොඩනගා ඇති පද්ධතියකි.

සැබවින්ම චීනයේ සංවර්ධන ආශ්චර්ය, ලොවක් මවිත කරන බව සැබෑය. එහි ඉදිවෙන මංමාවත්, අධිවේගී මාර්ග, ඩ්‍රෝන යානා, රොබෝ තාක්ෂණය, විදුලි වාහන, ඉංජිනේරු විශ්මයන් ගැන අපට ලද හැකි ආදර්ශ බොහෝදේ තිබේ.

  • එහෙත් චීනය තුල එක් පක්ෂයක් රාජ්‍යය පාලනය කරයි.
  • එක් දෘෂ්ටිවාදයක් පක්ෂය පාලනය කරයි.
  • එක් නායකයෙක් දෘෂ්ටිවාදය පාලනය කරයි.
  • එය විසම්මුතිය වැළැක්වීම සඳහා නිර්මාණය කරන ලද බල පිරමීඩයකි.


ඇත්ත වශයෙන්ම, චීන ජාතිකයන් එය වෙනස් ආකාරයකින් විස්තර කරනු ඇත. කාර්යක්ෂමතාව, ස්ථාවරත්වය, පිළිවෙල, ජාතික සමගිය . ඔවුන් එය තේජාන්විත යාන්ත්‍රණයක් ලෙස ශබ්ද කරයි. ඔව්, ආකෘතිය ආර්ථික ආශ්චර්යයන් ලබා දී ඇත.

එහෙත් චීනය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපමණ පිපාසයකින් පසුවෙයි.

  • එහි විකල්ප මාධ්‍ය ධාරා නැත.
  • තරඟකාරී මැතිවරණ නැත.
  • ස්වාධීන අධිකරණයක් නැත.
  • නිදහස් සිවිල් සමාජයක් නැත.
  • විරෝධතා දැක්වීමට අයිතියක් නැත.
  • 76 වසරක ශාපයක් වූ බවට ජවිපෙ විසින් හංවඩු ගසන ශ්‍රී ලංකාවේ අපි රටක් හැටියට අඩුපාඩුකම් මධ්‍යයේ වුවත් යම් ප්‍රජාතන්ත්‍රවාදී රැකවරණයක් ලද ජාතියක් වීමු.
  • එකී ප්‍රජාතන්ත්‍රවාදී ආශ්වාදය තුල අපි රටක් හැටියට,
  • බහු පක්ෂ දේශපාලනය
  • බහුවිධ මතවාද
  • නිදහස් මැතිවරණ
  • පාර්ලිමේන්තු ක්‍රියාවලිය
  • මහජන විරෝධතාව
  • විවේචනාත්මක මාධ්‍ය
  • සිවිල් සංවිධාන
  • වෘත්තීය සමිති
  • විරුද්ධ මතධාරී හඬවල්

අත්වින්දෙමු. කෙනෙකුට මෙය අසම්පුර්ණ, සහ බටහිරින් ලද තෑග්ගක් ලෙසද හැඳින්විය හැකිය.

නමුත් එහි අසම්පූර්ණකම්ද ප්‍රජාතන්ත්‍රවාදීය. ඒවා ඒකාධිපති ඒවා නොවේ. අපගේ මැතිවරණ වේදිකාගත නාටකීය රංගන නොවේ. අපගේ ජනතාවට ආණ්ඩු වෙනස් කිරීමට බලය ඇත. 76 වසරක් තුල ඔවුන් ඒවා නැවත නැවතත් සිදු කර ඇත.

ඒ වගේම බහු පක්ෂ පාලන සංස්කෘතියක් තුල අප රටේ නිල වශයෙන් ලියා පදිංචි දේශපාලන පක්ෂ 100 කට වැඩි ගණනක් තිබෙන අතර තනි පක්ෂ රාජ්‍යයක කිසි දිනෙක මුස්ලිම් පක්ෂ, දෙමල පක්ෂ, වෙනත් කලාපිය අනන්‍යතා සහිත පක්ෂ ස්වාධින කණ්ඩායම්, කිසිවක් දක්නට ලැබෙන්නේ නැත.

බොහෝ තනි පක්ෂ රාජ්‍ය පාලනයන් එය හඳුන්වන්නේ “සමගිය” ලෙසයි. එහෙත් එහි සැබෑ අරුත වන්නේ පැහැදිලිවම එය දේශපාලන වන්ධ්‍යාකරණයකි.
ගමේ බලය තීරණාත්මකයි.

විපක්ෂයේ කිසිදු පක්ෂයකට මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි ග්‍රාමීය ජාලයක් ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය තුලින් දියත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී බලය තීරණය කරන්නේ ග්‍රාමීය ප්‍රදේශ තුල ජිවත්වන ජනතාව විසිනි.

මෙම දේශපාලන අවස්තාව ජවිපෙ විසින් හොඳින් ගණන් බලා තක්සේරු කර ඇත.

සියලුම ග්‍රාමීය කොට්ඨාශ තුළ ප්‍රජා ශක්ති කමිටු ඇතුළත් කිරීමෙන් ජවිපෙට මෙම සටන් බිමට නිතරඟ ප්‍රවේශයක් ලැබෙන්නේය.

එනම්

  • ඡන්දදායකයින් වෙත අඛණ්ඩ සෘජු ප්‍රවේශය
  • ප්‍රාදේශීය නායකත්ව ධූරාවලි පාලනය
  • ග්‍රාමීය මතය හැඩගැස්වීමේ හැකියාව
  • ස්ථිර ප්‍රාදේශීය දේශපාලන පැවැත්මක්
  • ප්‍රජාවන් තුළ පූර්ව මැතිවරණ බලපෑම


එහෙත් සෙසු දේශපාලන සහ පක්ෂ සඳහා, මෙම සාපේක්ෂ අවස්ථාවන් සිමා වෙනු ඇත. මෙයින් අදහස් කරන්නේ, විපක්ෂයට තවමත් නීත්‍යානුකූලව මැතිවරණවලට තරඟ කළ හැකි නමුත්, ඔවුන් දහස් ගණනක් ගම්මාන තුළ ව්‍යුහාත්මකව ආබාධිත වනු ඇත.

තනි පක්ෂ අභ්‍යාසයේ ආධිපත්‍යය ආරම්භ වන්නේ එසේය. සැබවින්ම විරුද්ධවාදීන් තහනම් කිරීමෙන් නොව, දේශපාලන පරිසර පද්ධතියෙන් ඔවුන්ව වඳ කිරීමෙනි.


ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කර ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කැස කවමින් සිටින්නේ ඒ අකාරයටය. ඕනෑම එකාධිපතියෙකුගේ, ඒකාධිපති පොතේ තියෙන පැරණිතම උපක්‍රමය එයයි.

ප්‍රජා ශක්ති ව්‍යාපෘතියේ ඇති උපායමාර්ගික නිහඬතාවය හුදු අහම්බයක් නොවේ.

ජනප්‍රිය පුවත්  පෝක් සමුද්‍ර සන්ධිය හරහා නිර්මාණය වන බියකරු රළ පහරක්!

දේශපාලනික වශයෙන්, ප්‍රජා ශක්ති දියත් කිරීමේ ක්‍රියාවලිය බොහෝ දුරට රහසිගතව සිදු වූවක් වැනිය.

මේ සමබන්ධව සංයුක්ත ජාතික මට්ටමේ කතිකාවක් දක්නට නැත. ඒවගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ධවල පත්‍රිකාවක් නැත. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පරීක්ෂාවක් නැත. රූපවාහිනී නාලිකාවල විවාද නැත. විශේෂඥ වටමේස සාකච්ඡා නැත. ඇකඩමියාව තුල ශාස්ත්‍රීය සමාලෝචනයක් නැත.

එහෙත් එය දියත් කිරීම අතිශය වේගවත් විය. ඒ වෙනුවෙන් අයවැය සම්මත විය. නිහඬවම කමිටු පිහිටුවීමට පටන් ගත්හ. මෙය සාමාන්‍ය පාලන හැසිරීමක් නොවේ. ඇත්ත වශයෙන්ම මෙය පාලිත දෘශ්‍යතාවකි.

දේශපාලන බල ව්‍යුහයන් නිහඬව ගොඩනැගෙන්නේ නම්, එය හුදෙක්ම කාර්යක්ෂමතාව හෝ ජනතා ඉල්ලීමක් නිසා නොව, පැහැදිලිම එය උපාය මාර්ගයක් ඒ පිටුපස තිබෙන නිසාය.

සමාන්තර රාජ්‍ය පාලන ආකෘති ගොඩනැගීම ප්‍රජාතන්ත්‍රවාදය අවදානමේ හෙලීමක්.

ප්‍රජා ශක්ති කමිටු කාලයත් සමග ක්‍රමිකව ස්ථාපිත පාලන ආකෘති බවට පත්වී ඒවාට නිල පිළිගැනීමක් ලැබෙනවා යැයි විපක්ෂය තවදුරටත් චෝදනා එල්ල කරයි.
ග්‍රාමීය ප්‍රජාවගේ සැබෑ සංවර්ධන අවශ්‍යතාවයන් සහ ඒ වෙනුවෙන් ඔවුන්ගේ හඬ මෙම කමිටු හරහා නියෝජනය වනවාද යන්න ගැටලුවකි.

ග්‍රාමීය සම්පත් සංවර්ධනයේදී සහ කළමනාකරණයේදී සඳහා සැබෑ සාකච්ඡාකරුවන් මෙහි නියෝජනය වනවාද?.

සහභාගිත්ව සංවර්ධන වැඩසටහනකදී රජය සහ පුරවැසියා අතර සැබෑ අතුරු මුහුණත මෙහි පවතීද?

ඇත්ත සංවර්ධන ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවලිය විනිවිද බාවයෙන් යුතු එකක්ද?

ඒ සඳහා දැනට ස්ථාපිත නිල පරිපාලන ව්‍යුහය අදාළ නොවන තත්ත්වයට පත් වන්නේ නම් විපක්ෂය නගන චෝදනා පදනම් සහගත වන්නේයේ.

දැනට රාජ්‍ය පරිපාලන ව්‍යුහය නියෝජනය කරන, ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්, කෘෂිකර්ම පරීක්ෂක නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, මහජන ඡන්දෙන් පත්වූ පළාත් පාලන මන්ත්‍රීවරු, ආදී වූ සියලු දෙනා යටපත් වී ජවිපෙ ග්‍රාමීය කාඩර්වරු කරලියට එනු ඇත. ඒ වෙනුවට

සහ ජවිපෙට අනුබද්ධ ග්‍රාමීය ජාලයකින් පවතින ව්‍යුහය ප්‍රතිස්ථාපනය වේ.

ඇත්තෙන්ම එය විමධ්‍යගත කිරීම නෙවෙයි. ඒ දේශපාලන මධ්‍යගතකරණයට කදිම උදාහරණයක් සපයනු ලබයි. එම මධ්‍යගත බාවය සිරස් අතට නොව තිරස් අතට ක්‍රියාත්මක කිරීමකි.

මෙය නිහඬ විප්ලවයක් බව කිව හැකිය. එහි තවදුරටත් සටන් පාඨ නොමැත. වෙඩි හඬ හෝ උණ්ඩ නොමැත. තවදුරටත් වීථි සටන් හෝ කැරලි එහි නොමැත.
ආණ්ඩුව මේ ප්‍රශ්න වලට මොකද කියන්නේ?

සත්භාවිය චේතනාවෙන් අපේ රටේ ග්‍රාමීය කලාප සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නම් සමාජය තුලින් මතුකරන පහත සඳහන් ප්‍රශ්න වලට වත්මන් ආණ්ඩුව පිළිතුරු දෙන්නේද?

  • ප්‍රජා ශක්ති කමිටු පත් කරන්නේ කවුද?
  • සාමාජිකයින්ගේ ප්‍රසිද්ධ ලැයිස්තුවක් තිබේද?
  • ඔවුන් සියල්ලෝම දේශපාලනික වශයෙන් මධ්‍යස්ථද?
  • අරමුදල් වෙන් කරන්නේ කෙසේද?
  • දිගුකාලීන ව්‍යුහාත්මක ඉලක්කය කුමක්ද?
  • ඔවුන්ගේ තීරණ අධීක්ෂණය කරන්නේ කවුද?
  • දේශපාලනිකව බලපෑම් කිරීම වළක්වන්නේ කුමක්ද?
  • ග්‍රාමීය බල අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම වළක්වන යාන්ත්‍රණය කුමක්ද?
  • විපක්ෂ කණ්ඩායම්වලට මෙම කමිටුවලට සමාන්තර ප්‍රවේශයක් තිබේද?
  • ඇයි මේ හදිසිය, සහ ඇයි රහස්‍යභාවය?


රජයට මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි නම්, ඇත්ත වශයෙන්ම ප්‍රජා ශක්ති යනු ග්‍රාමීය ප්‍රජා බලගැන්වීමක් නොවේ. එය ප්‍රාදේශීය දේශපාලන යාන්ත්‍රණය බල ගන්වන ඉංජිනේරු විද්‍යාවකි.

රටක සහ එහි පුරවැසියන්ගේ අනාගතය බලහත්කාරයේ, නිහඬතාවයේ සහ තනි පක්ෂ පාලනයේ භාෂාවෙන් ලියවිය යුතු නැත. අපගේ ඉරණම පවතින්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක ය. එහි දෝෂ සහිත නමුත් නිවැරදි කළ හැකි විවාදය, විසම්මුතිය සහ නිදහස ඒ තුළ මුල් බැස ගෙන ඇත.

ජනතා විමුක්ති පෙරමුණ මුලික ජාතික ජන බලවේග ආණ්ඩුවට ශ්‍රී ලංකාව මෙහෙයවීමට අවශ්‍ය නම්, ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස එය කිරීමට කිසිඳු බාධාවක් නැත. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය භාවිතයෙන් ප්‍රජතන්ත්රවාදයම අහෝසි කිරීම භයානක ප්‍රතිපල රැගෙන ඒමක් බව කිව යුතුය.‍

සටහන: විජේපාල දිසානායක
භාණ්ඩාගාරික
ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය
Asian Geopolitical Sustainability & Peace Council. (AGSPeC)
Email: wijepaladissanayake@gmail.com

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x