කිතුණු බැතිමතෙකු ජනපතිට ලියූ නත්තල් සංදේශය…
1 min read
මේ රට සහ මෙහි වාගාඩම්බර ඉතිහාසය මකන්නට ඉඩක් නැත. ඔබලා නොසිතූ පරිදි පැමිණි විපතට වඩා විශාල විපතක් ඔබ වටා ඇති බව තේරුම් ගන්න. ඔබලාට අවනත යයි ඔබලා තරයේ විශ්වාස කරන “Gen c පරපුර” පතන්නේ කොමියුනිස්ට් හෝ සෝවියට් සභා නොවන වග තරයේ සිතට ගන්න. ඔවුන්ගේ විපරීත චින්තන දහරාවේ පරාසය කොතරම් පුළුල්දැයි වටහා ගන්න. ඒ පරපුරේ බොහෝ දෙනෙකු මේ විපත්ති මොහොතේ ඔබලාගේ ක්‍රියා කලාපය දෙස බලා සිටින බව අමතක නොකරන්න.
2025 නත්තල උදා වී තිබේ….
එහෙත් “සාමය” සෝදා පාලු වී ගොස් ඇත.
“දසතින්ම ඇසෙන්නේ වේදනාවන්ය. අදෝනාවන් ය. දුක් සුසුම් ය. පරිසරය පවා භිරාන්ත බව ගෙන ඒ”.
ශුද්ධ බයිබලයේ “එසකියල් ගේ පොත” මෙසේ කියයි.
“මන්ද, මාගේ උදහසින් ද කෝපාග්නියෙන් ද මෙසේ කියමි. සැබැවින් ම ඒ කාලයේදී රටේ මහා කම්පාවක් ඇතිවන්නේ ය.
මුහුදේ මත්ස්‍යයෝ ද, අහසේ පක්ශීහු ද, වනයේ මෘගයෝ ද, භූමියේ බඩගාන සියලු සත්වයෝ ද, භූමිය මතුපිට සිටින සියලු මනුස්‍යයෝද මා ඉදිරියේ වෙවුලන්නෝ ය. කදු හෙලා දමනු ලබන්නට ත්, උස් තැන් වැටෙන්නත් යෙදෙනු ඇත. නොයෙක් ආපදා ඇති කොට මම රජු භීතියට පත් කරන්නෙමි.
එක එක මිනිසාගේ කඩුව ඔහුගේ සහෝදරයා ට විරුද්ධව ලෙල දෙනු ඇත. මම වසංගතයෙන් ද, ලේ වැගිරීමෙන් ද ඔහුට දඩුවම් කරන්නෙමි. ඔහු සහ ඔහුගේ හමුදාවන් ද, ඔහු සමග සිටින බොහෝ ජාතීන් ද පිට මොර සූරන වැසි ද ගල් වරුෂාවක් ද ගෙන්දගම් ද වස්සවන්නෙමි.
මෙසේ මා ශ්‍රෙෂ්ඨත්වය ද විශුද්ධත්වය ද පෙන්වා විජාතීන් දැන ගන්නා පිනිස ඔවුන් ඉදිරියේ ප්‍රකාශ වන්නෙමි.”
(එසකියෙල් 37:19)
මීට සමාන විපත්තියක් අප වෙත උදා වී ඇති මේ මොහොතේ ඉහත කී දේ අපටත් වලංගු ය. අප රට බුදු දහමින් බැබලෙන්නේ වුවත්, කිතුනුවන් ගේ දෙවියන් මෙහි නොසිටින්නේ යැයි කිව නොහැකිය. ටික කලකට ඉහතදී, කිතුනුවන්ට සිදු කළ අපරාධය දෙස ඒ දෙවියන් බලා සිටිනවාද විය හැකිය.
අපගේ දේශය කරා දේව උදහස පැමිණ ඇත. එය සිදු නොවන්නේ නම් පුදුමයකි. මන්ද, එතරම් මේ දූපතේ මිනිසුන් දෙවියන් කෙරෙන් ඈත් වී සිටී. මිනිස් සිත් තුළ, අදමිටු දුෂ්ට දුස්ශීලකම් ඉහ වහා ගොසිනි. “සාමය” කොතැනක වත් නැත. විශ්වාසය සිදී ගොස් ඇත්තේය. මිනිසුන් තුළ ආධ්‍යාත්මික බැති බර ගති නොපෙනෙන සෙයකි.
අපගේ කතා බස් අතර, “අහස පොලොව නුහුලන අපරාධ” ලෙස හැදින්වෙන අකටයුතු ක්‍රියා වේ. ඒවා නම් අදමිටු බව පෙර දැරිව සිදු කරන කටයුතු ය. එබදු අපරාධවලට මහත් දඩුවම් ලැබෙන්නේ යැයි අපේ සිත් සතන් තුළ විශ්වාසයක් පවතී.
අපට සිදු වූයේ එවැන්නක් නොවිය හැකි ද ?
එසකියෙල් එදා, සිය රට වන ඉස්‍රායෙල් රටේ රජු වෙත අනාවැකි කීවේය. අපේ වත්මන් පාලකයා, අනුර කුමාර දිසානායක මහතා, කෙබදු රජෙක් වේ ද ?
ඔහු තුළ සිටින සැබෑ පුද්ගලයා අපි නොදනිමු. ඔහුගේ කල් කිරියාව අනුව ඔහු කුමන අන්දමේ පුද්ගලයකු දැයි තේරුම් ගැනීම අපහසු ය. අනුර මේ රටට යහපතක් කරයිද, නැතිනම් ජවිපෙ න්‍යාය පත්‍රයේ උවමනාව අනුව කටයුතු කරයි ද යන්න නොතේරේ.
“වැඩේ යටින් යනවා” ය කියන ඔවුන්ගේ මුඛ්‍ය පාඨය දෙගිඩියාවක් ජනිත කරනු ලබන්නේ ය. එයින් හැගෙන්නේ, යටි බිම් ගත අරමුණු සහිත සිතුම් පැතුම්වල මේ පාලකයින් ගමන් කරන බවද ?
බොරු වපුරා බලය ලබා ගත් පාලකයා සහ සහචර පිරිසක් ලෙස මොවුන් ඉතිහාස ගත වනු ඇතිද? බලය ලැබ ගත් පසු, සිදු කළ දේවල් අතරේ ජනතාව බලාපොරොත්තු වූ දේවල් ඉටු නොවුණ වග පෙනේ. ජනතාවගේ මැසිවිලිවලින් ඒ බව ඉස්මතු වේ.
කී දේ නොකොට, නොකී දේ කරන දේශපාලන භාවිතය අප රට වැසියෝ නුරුස්සති. එහෙත්, රටවැසියන් තලා පෙලා මර්ධනය කරමින් සිය පාලනය ගෙන යා යුතු යැයි සිතූ පාලකයෝ මෙහි නිතර පහළ වී සිටියහ.
අනුර යනු තවත් ඉන් එකෙකු පමනක් ද ?
විරුද්ධවාදීන් තාඩන පීඩනවලට ලක් කරමින් කටයුතු කිරීමේ උත්සාහය සහ පෙර සිටි පිරිස ගැරහීමට නින්දාවට ලක් කිරීම වැනි එකතැන පල්වෙන විලාශය තුළින් අප රට වැසියන්ගේ බලාපොරොත්තු සපුරා සිටීම කළ නොහැකිය. එවැනි නිරර්ථක කටයුතුවලට ජනතා කෝපය පමණක් නොව දෙවියන්ගේ උදහසද එක්වන බව කිව යුතුය.
පාලනය නොමග යන කල, රටක පුරවැසියන් ගේ “හර්ද සන්තානය” සැලෙන බව සැබෑය. රජුට එරෙහිව නොනැගිටින මුත්, සිය සංවේගයත් කෝපයත් පිට කරන ජනතාව, පාලකයින්ට ශාප කරන්නේය. එය කොයි සමාජයේ වුවත් කවදා වුවත් සිදුවන්නකි.
බලයට පත් වී වසරක් ඉක්ම යද්දී, අප පාලකයා සිටියේ හිස උදුම්මා ගත් උජාරු මහන්තත්ත මානසිකත්වයකින් යුතු තැනක ය. ඔහු නීතිය සිය පරම අවිය කර ගනිමින්, එය ලෙලවමින් වහසි බස් තෙපලීය. ඉතා සාමාන්‍ය මිනිසාගේ අගපසග අත ගා මිරිකීමට පොලීසිය යෙදවීය. ඒ අනුව බස් රථවල සහ ත්‍රී රෝදරථවල කොටස් ගලවන රාජකාරිය පොලීසියට පැවරී තිබුණි. කොහොමටත්, අප රටේ පොලීසිය කවදත් හුරු වී සිටියේ “ජනතාවගේ අයිතිය පාගා දැමීමේ මුරුග ආශාව” මුදුන් පමුනුවා ගැනීමට ය. එය සිදු වුණා මිස, එවැනි දේ මගින් රටට වූ යහපතක් නැත්තේ ය.
කළ යුතුව තිබුනේ, මනා පහසුකම් සහිත ජනතා ප්‍රවාහනයක් සැලසුම් කිරීම වුවත් ඔවුන් දැන සිටියේ මර්ධනය තුළින් යන ගමන පමණකි. කටයුතු එසේ සිදුවෙමින් තිබිය දී “ඇල්ල” බිහිසුනු බස් අනතුර, සිදු විය. ඊට හේතු වූයේ බස් රථවල බාහිර අමතර කොටස් සවි කිරීම නොව, වෙනත් කාරනාවන් ය. ඉන් සිදු වූයේ, පාලකයින්ගේ අමනකම්වලට කදිම අතුල් පහරක් වැදීම ය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහත්මා දංගෙඩිය වෙත ගෙන යෑම තවත් වික්‍රමයක් සේ මේ ආන්ඩුව පෙන්වා සිටියේය.
මහලු වයෝවෘද්ධ වැදගතෙකු… එමෙන්ම බුද්ධිමතෙකු මෙන්ම ශූර දේශපාලකයෙකු වූ ඔහු, දෑතට විලංගු ලෑමෙන් සිදු වූයේ සමාජය සලිත වීමය. ජනතාව දෙස් තැබීමය. ඒ ශාප කිරීම් සහ දෙස් දීම්, අනුර පසු පස නොපමාව හඹා ආවේය. ඒ ක්‍රියාව මහත් දුෂ්ට බවකින් සිදු කළ දෙයක් යැයි, සිත් පිත් ඇති බොහෝ දෙනෙක් කීහ. කම්පා වූහ. ඇහැලේපොල දරු පවුල ඝාතන සිද්ධිය තරම් වරදක්, අනුර සිදු කර ගත්තේ ය.
නත්තල් ශීතල අපට සිහි ගන්වන දේ අතර, ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ අවසානය, රනිල්ගේ සිදුවීමට කදිම ලෙස පෑහෙන්නේ ය.
එය මෙසේය.
දෙවියන් වහන්සේගේ මහා භයානක දවස පැමිනෙන්නට පෙර, මම දිවැසිවර “එලියා” නුඹලාවෙත එවන්නෙමි. මා පැමිණ නුඹලාගේ දේශය විනාශ නොකරනු පිනිස…
“පියවරුන්ගේ සිත් දරුවන් වෙතට ද
දරුවන්ගේ සිත් පියවරුන් වෙතට ද හරවනු ලබනවා ඇත.
(මලාකී 4:5)
අපට දිවැසිවරු නොසිටින බැවින් අප විපත මග හැර යාම ගැන නොදන්නා ජාතියකි. විපතම උදා කරන පෙරගමන් කරුවන් නම් අපට ඕනෑතරම් සිටිති.
කෙසේ වෙතත්, රනිල් නැමැති හිතුවක්කාර දරදඩු දේශපාලකයා නොරිස්සූ බොහෝ දෙනෙකු මෙරට සිටිති. ඒ පිරිස පවා, ඔහුට කළ නිග්‍රහය සම්බන්දයෙන් කම්පා වූහ. ජාතියට පියෙකු වූ රනිල් ගැන විශාල පිරිසක් කතා බහ කරන්නට වූහ.
ඔහු කෙරෙහි සැමගේ සානුකම්පාව යොමු විය. ඔහු විසින් මේ රටේ ප්‍රගතිය පිණිස සිදු කළ මෙහෙවර ගැන හැරී බැලීය. ඔහුගේ දූරදර්ශී භාවය අගය කළහ. භාණ්ඩාගාරය මහ දවල් කැඩීයැ, යි ඔහුට චෝදනා කළ බොහෝ වුන් පවා, 2024 වන විට එය ශක්තිමත් කළ බව පැවසීය.
අනෙක් අතින්, “මලාකි” අදහස් කළ දේ පවා සිදු විය.
එනම්, තමන්ව කිසිදා චන්දයකින් බලයට පත් නොකරන මේ රටේ මිනිසුන් තමන්ට මෙතරම් ඇලුම් කරති’ යි යන්න රනිල් වටහා ගත්තේය. ඔහුගේ සිත කිසිදා නොදත් ජනතා ආදරය දෙසට යොමු විය.
අවසාන විනිශ්චයට නොඑලැඹුණ මුත්, අනුරගේ වෑයම විසින් රනිල් නැමැති “කුශාග්‍ර බුද්ධිමතා” වෙත මහත් වටිනාකමක් ගෙන දුන්නේය. ඔහු ජීවත්ව සිටියදීම එය අත් විදින්නට ලැබීම ඔහු ලද භාග්‍යකි. අනුර පමණක් නොව, කිසිවෙකු නොසිතූ දෙයක් එලෙස වූයේ ය.
මාලිමාවේ බලමුළුව මෙහෙයවනු ලබන, “ජවිපෙ අදෘශ්‍යමාන කොමියුනිස්ට් බලවේගය” රුදු එකකි. එය අපගේ ජනතා හද ගැස්ම සමග නොපෑහෙන එකකි. අපගේ සිතුම් පැතුම් විධි සමග නොගැලපෙන්නකි. එම භාවිතය මේ මහ පොලොවේ සිදු කිරීමට උත්සාහ කිරීම සමාන වන්නේ, ලේ මාරු වීමකින් රෝගියකු මරණයට පත්වන අන්දමේ අත් වැරදීමකට ය.
ජවිපෙ මහෞශධ පණ්ඩිතයින් නොදන්නා “වෙදකම” වන්නේ එයයි. ඒ වෙදකමට අපේ කතාවෙන් කියන්නේ නම්, කෝදුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් අවශ්‍ය ය.
අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා ගැනත් මිනිසුන් දුක් විය. එයින් නොනැවතී, ඔහු පලවා හැරි තංගල්ලේ කාල්ටන් නිවසට මිනිස්සු රොද බැද ගෙන යන්නට පටන් ගත්තෝය. ඊළගට යදමින් බැද ගෙන යන්නේ මහින්ද විය හැකි යැයි ජනතාව සිතූහ. ඔවුන්ද වපුරන ලද දේ නෙලා ගනු ඇති බව සිතට ගන්න. එය සොබා දහමට බාර දෙන්න.
එය නොකර හිදින්නට බැරි පුතයෙකු ලෙස අනුර කුමාර ගැන “පුර වැසි දනා” අවිශ්වාස කළහ.
රනිල් වික්‍රමසිංහ බන්දනාගාර ගත කිරීමෙන්, අනුර සිදු කර ගනු ලැබූ වරද සම වන්නේ, කන්දසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ 1814 දී “ඇහැලේපොල පවුල ට එරෙහිව සිදු කළ” දේශපාලන අත්වැරද්දටය. ඒ හා සමාන විපතක්, අනුර කුමාර විසින් 2025 අගෝස්තු 19 වෙනිදා තමුන්ටම තමුන් විසින්ම සිදු කර ගත්තේය .
මෙබදු සිදුවීම් ගනනාවකින් “මාලිමා ආණ්ඩුව” සිය ගමන් මගට සියතින් ම අකුල් හෙලා ගනිමින් සිටී.
කතානායකගේ ආචාර්ය උපාධිය, කන්ටේනර් මගඩිය, කුඩු නාටකය, ක්ලීන් ශ්‍රී ලංකා තොවිලය, රිලා සංගණන මෙහෙයුම, රට පුරා වෙඩි පත්තු වීම, එකී නොකී දේ අපමනය. ඒ අතර දළදා මැදුරේ දියවඩන නිලමේ කම පැහැර ගැනීමට කැස කැවූ ජවිපෙ කතරගම මහ දේවාලයට කඩා පාත් වූහ. (88/89 දී කද දෙවිදුන් කෝප කොට ඒ පුදබිමේ පැහැරූ ජවිප එහෙම පිටින්ම “දඩු කදේ” ගැසූ ස්කන්ධකුමාර දෙවියන් ගැන අවතක්සේරු නොකළ යුත්තේය.)
එමෙන්ම වත්කම් දේපොළ එලිදරවුවේදී සිදු කර ගත් හානියේ තරම ගැන ද තවමත් ඔවුන්ට අවබෝධයක් නොමැති තරම්ය.
ජනතාවට තර්ජනාංගුලිය එසවීමේ උත්සාහයන් නිතර දක්වන්නට වූ “මාලිමා ආන්ඩුව” වරෙක ජනතා සහනාධාර පිළිබදව කතා කළේ ඉතා පහත් අයුරින් ය. ඔවුන් කියන්නේ හිගන්නන් ලෙසින් “ආන්ඩුවට අත පා යදින” මානසිකත්වයක් රට වැසියා තුළ ඇති බවය. මෙසේ කියන ඔවුහු, යට ඇදුම පවා හිගාගෙන අදින ඉතිහාසයකට උරුමකම් කී බැව් අමතක කර ඇත්තෝය. දැන් ඇතැමෙක් නින්දට යන්නටත් යුරෝපීය ඇදුම (ටයි කෝට්) නැතිව බැරි උන්මාදයකින් පෙලෙන්නෝය.
කාලය මහා දුරක් ගමන් කළේ නැත. මේ සියලු විකාර දෙස දෙවියෝ බලා සිටියහ. පාස්කු දින සිදු වූ අපරාධය ගැන මහත් කම්පාවෙන් කතා කළ අනුර කුමාර, එය හමස් පෙට්ටියට දමා අගුළු ළා පාප් තුමාගේ ශ්‍රී මුඛ රත්නයද අගුළු ළා වසා දැමීය. ජනතාවට තරවටු කරන ප්‍රකාශ හැම අතින්ම නැගින.
ඔවුන් නිරතුරුවම කීවේ, “වැඩේ යටින් යනවා” කියාය. එය එලෙසම සිදු විය. යටින් පමනක් නොව උඩින් ද ගියේය. උඩින් යටින් දෙකෙන්ම ගියේය.
එක්වරම කලඑලි බැස සිටි කොලු ගැටයෙකු “සුගත” බුදුන් වී මුලු රටටම බුද්ධාලම්බන ප්‍රීතිය උදා කළේය. වෙරි කාරයෙකු සේ, හෙතෙම මෙසේ කීය.
“අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සතූ”
එය දෙසා කට ගන්නටත් වෙලාවක් නොවුනි. සිතු දේ නොම වී නොසිතු දෙයක් ම විය. මාලිමා ආණ්ඩුවේ සරදම් විදිමින් අසරණ වී සිටි රටවැසියෝ අන්ත අසරණ ඉරනමකට ඇද වැටුනි. වැඩේ යටින් යමින් තිබුණි.
දුර්දාන්ත පාලක නඩයට දඩුවම් කිරීම සදහා දෙවියන් යටින් උඩින් දෙපසින්ම පමනක් නොව “උද්ධං අධෝච තිරියංච” ලෙස සතර දෙසිනුත් විපත පැමිණවූයේය.
සියල්ල ආපස්සට කැරකෙන්නට පටන් ගත්තේ ස්වාභාවික විපතිනි. අවුරුදු හතරක් පුරා යෙහෙන් රජකම් කරන්නට බලා සිටි පාලක පුනරුද බලමුළුවට දින හතරක වැසි දියෙන් පැමිණි සොබාවික විපත ගෙන දුන්නේ, බරපතල දඩුවමක්ය.
ජනතා චන්දයෙන් බලයට පැමිණ, ජනතා ද්‍රෝහි ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ අගපසග කප්පාදු කරන්නට සූදානම් වෙද්දී… කම්පාවට පත් ජනතා සිත් වලින් නැගි සෝ දුක් ගිනි හමුවේ දෙවියෝ ද කෝප වූහ. “දිට්වාහ් සුලි කුණාටුව” ගිනි කොණ ඇවුලුවේය. මැදරට දියකර අකාමකා දැමීය. රටම පිසදාගෙන වයඹ දෙසින් පිටව ගියේය. එයින් පත විපත විනාශය සුලුපටු නොවේ.
ජලයෙන් සිදු වූ විපත්තිය හමුවේ, ආන්ඩුවේ සළුපිලි ගැලවී ගියේය. කොහොමත් යට අදුම් නොඅදින, ඇන්දවුන් පවා අරගලය දිනවල ප්‍රසිද්ධියේ යට ඇදුම් ගලවා වැටවල්වල කොඩි එල්ලුව, ජවිපෙ මාලිමා බලඇනි දැන් නිරුවතින් ය. කරන්නට තිබූ අපමනක් වූ දේ නොකර, කයිවාරු ගසමින් සිටි ඔවුහු, “කකුලුවෝ නොදැන සිටි ගින්දර” ට මුහුණ දී සිටින්නෝය.
අනුර කුමාර දිසානායක ජනපතිවරයා, මෙරට ආරක්ෂක හමුදාවන් පහත් කොට තැකීමේ උවමනාව නිරතුරුවම ප්‍රදර්ශනය කරමින් සිටියේ ය. එය ඔහුගේ අපූර්ව ආශාවක් විය හැකිය. අනුරට, අනුව හමුදාවන්හි රණ විරුවෝ නැත්තාහ. ඔහුට අනුව දීර්ඝ යුද්ධයක් නිමා කිරීමේ දී සිය දිවි නොතැකූ එම පිරිස “සෙබලුන්” පමණක් ම වූහ.
මෙවර රට මුහුණ පෑ විපතේ දී පවා, ආරක්ශක හමුදාවන් දිවි පරදුවට තබා කටයුතු කළහ. අභීතව සහන සේවාවන්හි නිරතව සිටි පස්හය දෙනෙකුම අනතුරුවලින් දිවි අහිමි කර ගත්හ. එහෙත් ඔවුන් තවමත් විරුවන් නොවන්නේය. විරුවන් සිටින්නේ පැලවත්තේ කාර්යාලයේ බිත්තිවල රාමුකර එල්ලා තබාය. ඔවුහු නමින් “ඉල්මහ විරුවන්” ය. හමුදාවල සිටින්නේ විරුවන් නොව, සෙබලුන්ය…
රටක් පාලනය කිරීම සදහා තිබෙන විධිමත් ක්‍රමය පිටු දැක, රට වැසියාට ඔච්චම් කරමින් සිදු කරගෙන යන “දුර්දාන්ත ව්‍යාපාරය” හමුවේ අසරණ වූ ජනතාව තවත් අසරණ කළ, “සුළි කුණාටු විපත” ජනතාවට බරපතළ හානි ගෙන ආවේය.
දැන් මේ රටේ පොදු ජනතාව (අනුරලා බලාපොරොත්තු වූ තරමටත් වඩා) පීඩාව ලබති. ඔබගේ එකම ගැලවුම් කරුවා වන්නේ “මාලිමා ජවිපෙ අපි පමණක් වන්නෙමු” යි කීමෙන් ඒ පීඩාලාභී පොදු ජනතාව රවටනු නොහැකිය. වහසි බස් වලින්, ඔවුන් සෑහීමට පත් කළ නොහැකිය. දුකට පත් ජනාතාව යලි නගා සිටුවීම වහා අවශ්‍යය. එය ප්‍රමාද වුවහොත්,… උත්තරය “දිට්වාටත්” වඩා නරකය.
අනුර ජනපති තුමනි,
“Gen c පරපුර” සැමදා ඔබේ වාසියට වැඩකරනා, ඔබේ සිතැගි ඉටුකරන විශ්වාසදායී පැලවත්තේ වහලුන් පරපුරක් යැයි නොසිතන්න. නුදුරු දිනැක ඔවුන් ඔබට ද පාඩමක් උගන්වන්නේ ය. එය අනිවාර්යයෙන් සිදුවන්නේ ය. එම පරපුර ඉලක්ක කරගෙන, ඔවුන් පුම්බා උඩ යවමින්, ඔවුන් නොමගට යොමු කරවමින්, ඔවුනගේ අසංවර සටන්කාමීත්වය තුළින් නිරතුරුව ගොඩ යා හැකි යැයි නොසිතන්න. කොටින්ම ඔවුන් ඔබ වෙනුවෙන් වැඩ කරතියි නොසිතන්න.
මේ රට සහ මෙහි වාගාඩම්බර ඉතිහාසය මකන්නට ඉඩක් නැත. ඔබලා නොසිතූ පරිදි පැමිණි විපතට වඩා විශාල විපතක් ඔබ වටා ඇති බව තේරුම් ගන්න. ඔබලාට අවනත යයි ඔබලා තරයේ විශ්වාස කරන “Gen c පරපුර” පතන්නේ කොමියුනිස්ට් හෝ සෝවියට් සභා නොවන වග තරයේ සිතට ගන්න. ඔවුන්ගේ විපරීත චින්තන දහරාවේ පරාසය කොතරම් පුළුල්දැයි වටහා ගන්න. ඒ පරපුරේ බොහෝ දෙනෙකු මේ විපත්ති මොහොතේ ඔබලාගේ ක්‍රියා කලාපය දෙස බලා සිටින බව අමතක නොකරන්න.
ජවිපෙ විසින් 71 දීත් 88/89 දීත් යොවුන් තරුණ පිරිස නොමගට යැවීය. ඉන් මේ රටට සිදු වූ විපත මෙන්ම, ඔබලා විසින් බිලි දුන් ඒ දරුවන්ගේ දෙමාපියන් අදටත් සුසුම්ලන බව අමතක නොකළ යුතුය. මාලිමාව ලෙස පෙන් වූ වෙස් මුහුණට රැවටී චන්දය දුන් පිරිස අතර ඒ මිනිසුන්ද සිටී.
විරුද්ධ මත දරන්නන් දඩු කදේ ගසන්නට අවශ්‍ය හදිස්සි නීතියට අමතරව, ත්‍රස්තවාදය වැලක්වීමේ රෙගුලාසි ආදියද අනුර කුමාර දිසානායක ට ආභරණ විය හැකිය. ආභරණ ආයුධ ලෙස නොසිතන්න. පංචායුධය ආභරණයක් මිස ආයුධ පහක් ලෙස නොගන්න. මෙහිදී, “වදුරෙකු දැලි පිහිය” ගත් අවස්ථාවේ සිදුවූ විපත්තිය ගැන කතාව විවේකයක් ඇති විටෙක කියවා බලන්න.
අනුර ජනපති තුමනි ,
ඔබ වටා කාල බෝම්බ රාශියක් එකතු වනු පෙනේ. නොපෙනෙන බිම් බෝම්බය උතුරේ වලදමා තිබේ. එබැවින් වියරු මානසිකත්වයෙන් මිදී ජනහිතකාමී මගට අවතීර්ණ වෙන්න. ඔබ සතු වගකීම වඩා විශාල වී ඇත්තේය. එය දකින්න.
අවජාතක නූගත් රස්තියාදු කාර කම් පසෙක ලන්න. අභීතව, නුහුර මැඩ, රට ගොඩ ගන්නට නායකත්වය දෙන්න. අනුර, ඔබ අනුර බවට පත් වන්න. ඔබ සතු විධායක බලය ඒ සදහා හොදටම ප්‍රමානවත් ය.
නත්තලේ නාමයෙන්, රටට හා රට වැසියන්ට “සාමය” උදා කිරීම ඔබ සතු වගකීම වේ. සපැමිණ තිබෙන දුර්විපාකය ඔබේ සංධිස්ථානයයි. සංධිස්ථානය කර ගන්න. අතීතය හාර අවුස්සා ගොඩ දමමින්, කුණු ගද ගසන පැරණි කුණු වලවල් හාරමින්, කුණු මතුපිටට අදිමින්, ඔබේ දෑත මෙන්ම සිතද අපවිත්‍ර කරගනිමින්, ජනවරමින් ලද වටිනා වසර හතරක කාලය කා නොදමන්න.
පැරැණි මහලු නායකයින් කුරුසියේ ඇන ගසන්නට උවමනා නොවේ. කුරුසප්‍රාප්ත වන ඔවුන් ජනතා නමස්කාරය ලබන්නෝ වන්නේය. මන්ද මේ රටට දැයට “ඔවුන් කළ කිසිවක්” ඔබ කර නොමැති නිසාය…
ඔබේ කියවීමට සහ අවබෝධයට ජේසු තුමන්ගේ අගනා කියමනක් ගෙන හැර පාන්නෙමු.
එය ඇත්තේ, බයිබලයේ නව ගිවිසුමේ, මාක්ගේ පොතේ 4:23/4:24 කොටසේ ය.
ඒ මෙයයි.
“සවන් ඇත්තෝ සවන් දෙත්වා”
ඔබ අසන දේ හොදින් සිතට ගන්න. ඔබ මැන දෙන මිනුමෙන් මැ,
ඔබටත් මැන දෙනු ලැබේ. වැඩියෙනුත් දෙනු ලැබේ.
අනුර කුමාර දිසානායක ජනපතිදුනි…
ඔබගේ, මිම්ම මෙන්ම මැනීම ත්, දීමත්, දෙන විදියත් අනුව…
ඔබට ද ලැබෙන්නේ ය.
මෙම ලිපිය ආරාධිත විශේෂ ලියුම්කරුවෙකු විසින් ලියන ලදී.
