November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

කළු රාජ්‍යයේ පළු ඇරීම! දාර්ශනිකව සිතමු…!

1 min read

කිසියම් රාජ්‍ය නායකයෙක් තම පාලනයට එරෙහිව කළු රාජ්‍යයක් පවතින බවට අනතුරු අඟවන්නේ නම් ?


රට වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය වසංගතය සහ පාතාල ක්‍රියාකාරකම් වහාම මැඩ පැවැත්වීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ගෙන ඇති පියවර පිලිබඳ විසංවාදයක් නොවුනත්, ඒ වෙනුවෙන්ම සංවිධානය කරන ලද “ඉවත් වෙනු” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ උත්සවයේදී ප්‍රධාන කථිකයා ලෙස කතා කරමින් රාජ්‍ය නායක ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, රජයේ ඇතැම් නිලධාරීන්, පොලිස් නිලධාරීන්, හමුදා ඒකක, රේගු නිලධාරීන්, සහ ආගමන බලධාරීන්, පුද්ගලයින් ලියාපදිංච් කිරීමේ දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතනවල සෘජු සම්බන්ධතා සහිත සැඟවුණු ජාලයක් හෙවත් “කළු රාජ්‍යයක්” ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින බවයි.
මෙහි ප්‍රතිපලයක් ලෙස අවම වශයෙන් ටී-56 ප්‍රහාරක රයිෆල් 76 ක් ආරක්ෂක කඳවුරකින් පාතාල කණ්ඩායම් වෙත ලබා දී ඇති බව ඔහු තවදුරටත් හෙළි කළේය.

මෙම හෙළිදරව්ව ගිනිගන්නා සුලු ය. ඒ තුල රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රියාත්මක ඇසට නොපෙනෙන අශිෂ්ඨත්වය හෙළිදරව් වෙනවා පමණක් නොව, එය ඉතා නිශ්චිත වශයෙන්ම සමාජ භිතියක්ද උත්පාදනය කරනු ලබයි. ඇත්ත වශයෙන්ම එය අපරාධකරුවන් පමණක් නොව, සමස්ත රාජ්‍යයේ ව්‍යුහයම ඉලක්ක කරගත් ත්‍රාසයක් බව කිව යුතුයි.
රටේ පුරවැසියන් මෙවැනි තත්වයන් නිරවචනය කරගත යුත්තේ කෙසේද?. ඒවා හුදෙක් සත්‍යවාදී සහ ගැඹුරු ප්‍රකාශනද?. එසේත් නැතිනම් ඒවා ගැඹුරු සමාජ විද්‍යාත්මක හෝ දාර්ශනික සහ මනෝවිද්‍යාත්මක අභිප්‍රායන් මගින් හැඩගස්වා ඇති දේශපාලනික ආඛ්‍යානද?.

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට සහ පාතාලයට එරෙහි යුද්ධයේ දාර්ශනික යටිපෙළ ප්‍රවාහයන් ගවේෂණය කරන අතර, ගෝලීය දේශපාලනය පුරා බිය, සදාචාරය, බල දේශපාලන හැසිරීම් ඒකීය සමාන්තර බවකින් එකිනෙකට ගනුදෙනු කරන ආකාරය මැනවින් පෙන්වා දීමට ගනු ලබන උත්සාහයකි.

බලයේ පැවැත්ම වෙනුවෙන් සතුරෙක් ඕනේමයි! එය දේශපාලන බලය පිළිබඳ විශ්වීය උපාය මාර්ගයක්..

බල දේශපාලන ඉතිහාසය පුරාවටම, නායකයින් බොහෝ විට අභ්‍යන්තර හෝ බාහිර සතුරෙකු පිළිබඳ අනතුරු ඇඟවීමෙන් හෝ ඉඟියකින් තම අධිකාරිය ශක්තිමත් කර ගෙන ඇත. එම සතුරා ත්‍රස්තවාදියෙකු, බෙදුම්වාදියෙකු, ජනවාර්ගික කණ්ඩායමක්, ආගමික අන්තවාදියෙකු, විදේශීය බලවතෙකු හෝ අපරාධ ජාලයක් වේවා, අදාළ දේශපාලන තර්කනය එකම සමුච්චිත දෙයකි. එනම් බිය විසින් සමගිය ඇති කරනු ලබන අතර එක්සත්කම තුලින් කීකරුකම හෙවත් අවනතවීම ඇති කරයි.
මෙම සෛද්ධාන්තික මූලධර්මය සඳහා ශ්‍රී ලාංකිය උදාහරණ බොහොමයක් රැගෙන ආ හැකිය.

  • මහින්ද රාජපක්ෂවාදී බල ව්‍යාපෘතිය තුල ඒකායන සතුරා බවට පත්ව සිටියේ ප්‍රභාකරන් ඇතුළු LTTE යයි.
  • යහපාලන රාජ්‍ය පාලන ක්‍රියාන්විතය තුල හොරු ඇල්ලීම නම් අදෘශ්‍යමාන සතුරෙක් සිටියද, සතුරා බලවත්ව ප්‍රති සතුරෙක් රැගෙන ආවේය. මුස්ලිම් අන්තවාදය නම් එකී සතුරා කෙතරම් ප්‍රභල විද යත් යහපාලකයින්ට ගෙදර යාමට සිදු විය. අවසානයේ ගෝඨාභය පාලනයට එය පාර කැපිය.
  • අවසානයේ ගෝඨාභය රාජපක්ෂ සතුරන් කිහිපදෙනුකු සමග ගැටීමට ගිය අතර ඔහු උත්කර්ෂයෙන් ගොඩනැගුවේ “වස විෂ සහිත රසායනික කෘෂිකර්මාන්තය” තම පරම සතුරා ලෙසයි. එය උපක්‍රමික දර්ද්‍රතාවයක් බවද කිව යුතුය. එනිසාම ඔහුට පාලන බලය අතහැර පලා යාමට පවා සිදුවිය.
  • මේ වන විට අනුර කුමාරගේ පරිපාලනය විසින් සිය කැපිපෙනෙන සතුරා ලෙස පාතාල ලෝකය සහ මත්ද්‍රව්‍ය වෙළඳාම රාමු කරනු ලැබ තිබේ. ඕනෑම පාලන ව්‍යුහයක නීත්‍යානුකූලභාවය සහ සුජාතබාවය රඳා පවතින්නේ මහා තර්ජනයකට එරෙහිව කොතෙක් දුරට සටන් වදින්නේ ද යන ආඛ්‍යානය මතයි.

දේශපාලනයේ දී, සමාජය වෙත සතුරෙකු රැගෙන එන්නේ ඇයි?. එවැනි සතුරෙකු විසින් සංකීර්ණ යථාර්ථයන් එක්සත් කර, සරල කරයි. මෙය කිසිසේත්ම ශ්‍රී ලාංකික දේශපාලනයට පමණක් අනන්‍ය වූ තත්වයක් පමණක් නොවන අතර ගෝලීය අවකාශය පුරාවටද අත්දැකීම් ලැබිය හැකි තත්වයකි. එනම් බිය ගැන්වීම තුල පිළිවෙල නිර්මාණය කර ගනියි.

අපි දාර්ශනික ඇසකින් මෙය කියවමු

දහහත්වන සියවසේ ජීවත්වූ ප්‍රසිද්ධ චින්තකයෙකු වූ තෝමස් හොබ්ස් (Thomas Hobbes) මෙම තත්වය මෙසේ පැහැදිලිව දැක්වීය.

“මිනිසාගේ තත්වය සෑම කෙනෙකුටම එරෙහිව සෑම කෙනෙකුම යුද්ධ කරන තත්වයකි.” (The state of man is one of war, of all against all)
මිනිස් සමාජයක් බියට පත්කරන ත්‍රස්තවාදීන්, අපරාධකරුවන්, ආගමික අන්තවාදීන්, පාතාල ක්‍රියාකාරීන්, හෝ අභ්‍යන්තර කඩාකප්පල්කාරීන් වේවා, ඔවුන්ගෙන් සමාජය මුදවාගෙන මහජන ආරක්ෂාව යථා තත්ත්වයට පත් කළ හැකි එකම බලවේගය ලෙස දේශපාලන නායකයින් විසින් හුවා දක්වති. එනම් කිසියම් සමාජ තර්ජනයක් බල අධිකාරියක් ව්‍යුහගත කිරීම සඳහා සාධාරණීකරණයක් බවට පත්කර ගනී.

ජනප්‍රිය පුවත්  දේශපාලන බොරුවලට සමාජයක් ගොදුරුවන ආකාරය

අදාළ සමුළුවේදී ජනාධිපතිවරයා ඇතුළු බොහෝ කථිකයින් අවධාරණය කලේ, ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් නිලධාරීන් දූෂිතයි, හමුදා කොටස් එයට සම්බන්ධයි, රජයේ තවත් ආයතන සහ නිලධාරීන් මේ ජාලයට සම්බන්ධයි, සහ අපරාධකරුවන් පළාත්, දිස්ත්‍රික්ක, සහ සමහර ප්‍රදේශ පාලනය කරනවා, වැනි ප්‍රකාශ නිසා සමාජයක් බිඳවැටීමේ අද්දර සිටින බව විශ්වාස කිරීමට සැලැස් වීමය, එවැනි බිය ජනක හැඟීම් තුලින් මහජනතාව ස්වභාවිකවම ශක්තිමත් විකල්ප බල අධිකාරියක් වෙත නැඹුරුවේ.

එනම්, බියවැද්දීම යනු දේශපාලන කතාවේ අතුරු ඵලයක් නොවන අතර එය දේශපාලනය උදෙසා වූ මහාර්ග සම්පතකි.

සමාජ සජීවීකරණය හෙවත් බලමුලු ගැන්වීම සඳහා බිය ගැන්වීම පාවිච්චි කරන්නේ කොහොමද?.

එක් ප්‍රධාන පෙළේ දාර්ශනික සම්ප්‍රදායක් දේශපාලන බිය දකින්නේ හැසිරවීමක් (Manipulation) ලෙස නොව යථාර්ථවාදයක් (Realism) ලෙසයි. දේශපාලන න්‍යායාචාර්ය නිකොලෝ මැකියාවෙලි (Niccolo Machiavelli) ප්‍රසිද්ධ ලෙස තර්ක කළේ,

“දෙකම විය නොහැකි නම්, ආදරය කිරීමට වඩා බිය වීම ආරක්ෂිතයි.”

ඒ අනුව මැකියාවෙලියානු දෘෂ්ටිකෝණයෙන්,

  • බිය විසින් උදාසීන සමාජයක් අවදි කරයි.
  • පුරවැසියන් නිෂ්ක්‍රීය නරඹන්නන් බවට පත් නොවී ක්‍රියාකාරී කොටස්කරුවන් බවට පත් කරයි. තවදුරටත් පවසන්නේ නම් ඔහුට අනුව බිය ආයුධයක් නොවේ. එය සමාජ සජිවීකරණයට කදිම උත්ප්‍රේරකයකි.

මෙම යථාර්තය ජනාධිපතිවරයාගේ හෙළිදරව් කිරීම් තුල තේරුම් ගන්නේ කෙසේද?.

ඔහු විසින් පළමුව අපරාධ ජාල සහ ඒවායේ ස්වභාවයන් හෙළිදරව් කරයි. එතුලින පවතින පද්ධතිය යම් කම්පනයකට පත් කරයි. අනතුරුව නිතිය ක්‍රියාත්මක කරන ආයතන ආමන්ත්‍රණය කරයි. ඒ සමගම වගවීමක් හෝ සහනයක් ඉල්ලා සිටීමට පුරවැසියන් බලමුලු ගන්වයි.

ඒ අනුව බිය වැද්දීම අදාළ මොහොත තුල පිරිසිදු කිරීමේ බලවේගයක් බවට පත්වන අතර, උදාසීනත්වය මගින් උපදින කාංසිය සහ දූෂණය අතුරුදන් කරනු ලබයි.

මෙම උත්සාහය තුල ගොඩ නගන තර්කනය වන්නේ, “මත්ද්‍රව්‍ය ජාලයන්ගෙන් පිරී ඇති රටකට නිර්භීත නායකත්වයක් අවශ්‍යයි” යන්නයි. ඔහු ඉතා නිරවුල්ව සතුරෙකු නම් කරනු ලබයි. සතුරා නම් කිරීම එය පරාජය කිරීමේ පළමු පියවරයි.

බිය ප්‍රතිසංස්කරණවාදී මෙවලමක් බවට පත් වන්නේ එලෙසිනි.

පාලන මෙවලමක් ලෙස සහ දේශපාලන තක්කඩි කමක් ලෙස බිය…

දෙවන ප්‍රධාන දාර්ශනික සම්ප්‍රදාය අනතුරු අඟවන්නේ බිය ගැන්වීම බොහෝ විට සම්පූර්ණයෙන්ම වෙනස් අරමුණක් ඉටු කරන බවයි. දාර්ශනික මයිකල් ෆූකෝ (Michel Foucault) තර්ක කළේ නූතන රාජ්‍යයන් සමාජය හැසිරවීම සහ හික්මවීම සඳහා බිය ගැන්වීම් සහ සෝදිසි කිරීම් ඕනෑ තරම් භාවිතා කරන බවයි. ඔහු අවධරණය කලේ,

“බලය ක්‍රියාත්මක වන්නේ පාලනය හරහා සහ අපගමනයට ඇති බියෙනි.” නිසා බවයි.

කිසියම් රාජ්‍යයක් තුළ සිදුවන අභ්‍යන්තරික හෝ බාහිර බිය ගන්වන සුළු කුමන්ත්‍රණ ගැන සමාජ කතිකාවක් නිර්මාණය කරන විට, එරට වෙසෙන මහජනතාව පහත සඳහන් දේ වෙත පහසුවෙන් නැඹුරු වීමට වඩාත් කැමැත්තක් දක්වයි.

  • වඩාත් පුළුල් කරන ලද විධායක බලයක්.
  • හමුදාකරණය වූ පොලිස් සේවයක්.
  • අසාමාන්‍ය මර්ධන නීති සහ අන පනත්.
  • අවම කරන ලද සිවිල් නිදහසක්.

ඉතාලි දාර්ශනික ජෝර්ජියෝ අගම්බන් (Giorgio Agamben) තවදුරටත් පවසන්නේ, නිර්මාණය වී ඇති අර්බුද එනම් සැබෑ හෝ ස්ථාපිත කරන ලද, ඒවා පසුව සුවිශේෂී බලතල සහිත ස්ථාවර ආකෘති බවට පත්වී සාධාරණීකරණය වන බවයි. එනම්, “ව්‍යතිරේක තත්ත්වයන් රීතින් බවට පත්වේ.”

මෙම දාර්ශනික අර්ථකථනයේදී, “කළු රාජ්‍ය” ආඛ්‍යානය දූෂණය හෝ පාතාලය හෙළිදරව් කිරීමට වඩා වැඩි යමක් කරයි. එය මහජන අනුමැතිය සහිතව රජයට බල ව්‍යුහයන් ප්‍රතිව්‍යුහගත කිරීමට හෝ එක කේන්ද්‍රයක් වටා මධ්‍යගත කර ගැනීමට හැකි සමාජ අනුකම්පාව සහිත වාතාවරණයක් නිර්මාණය කර දෙයි.

“කළු රාජ්‍ය” විරුද්ධාභාසය හෙවත් දාර්ශනික ප්‍රතිරෝධය

රාජ්‍යයේම ආයතන, නිලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු කොටස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශය දාර්ශනික ප්‍රවිරෝධයක් රැගෙන එයි. ඒ කියන්නේ රාජ්‍යයම ගැටලුව වන්නේ නම්, රාජ්‍යය විසඳුම් ලබා දෙන්නේ කෙසේද? යන්නයි.

දේශපාලන න්‍යායාචාර්ය කාල් පොපර් (Karl Popper) “සමාජයේ කුමන්ත්‍රණ න්‍යාය” ලෙස හැඳින්වූ සංකල්පය පිළිබඳව අනතුරු ඇඟවීය. එනම් දෘශ්‍යමාන නොවන සැඟවුණු කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය හරහා බොහෝ අසාර්ථකතබාවයන් පැහැදිලි කිරීමේ ප්‍රවණතාවය අනතුරුදායක බව පවසමිනි, ඔහු අවධරණය කලේ,

ජනප්‍රිය පුවත්  මොළය සහ ලිංගය

“සමාජයේ කුමන්ත්‍රණ න්‍යාය යනු සමාජ ප්‍රතිඵල ව්‍යුහාත්මක තත්වයන්ට වඩා රහස් කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් බවට වැරදි මතයක්.” බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුල හමුවන විරුද්ධාභාසය වන්නේ, අපරාධ හෝ පාතාලය රාජ්‍යය තුලට රිංගා ඇත්නම්, පළමුව රජය තමන්වම පිරිසිදු කර ගත යුතුය. එහෙත් රජය පිරිසිදු කරන්නා යැයි කියා ගන්නේ නම්, එය සදාචාරාත්මක අධිකාරියක් ලබා ගනී. එමගින් ආණ්ඩුව “කළු රාජ්‍යය” යන්න තර්ජනයක් වගේම අවස්ථාවක් බවටද පත්කර ගෙන ඇත.
රාජ්‍යයට මෙම ද්විත්වභාව ආඛ්‍යානය දේශපාලනිකව බලවත් බවක් ගෙන එන අතර එය දේශපාලනිකව ප්‍රයෝජනවත් උපායක් සපයයි.

සදාචාරාත්මක භීතිය තුලින් මහජන හැඟීම් උත්පාදනය කිරීම

මේ මොහොතේ රටක් හැටියට ශ්‍රී ලංකාව අත්දකින මත්ද්‍රව්‍ය විරෝධී සන්නිවේදන ව්‍යුහය සමාජ විද්‍යාඥ ස්ටැන්ලි කොහෙන් (Stanley Cohen) විසින් විග්‍රහ කරන ලද “සදාචාරාත්මක භීතිය” නමැති ( Moral panic) විශ්ලේෂණයට ඉතා සමීප බවක් පෙන්වයි.

“තෝරා ගත් ඇතැම් සමාජ කණ්ඩායම් මහජන සතුරන් ලෙස අධිනිශ්චය කර සමාජයට ඉදිරිපත් කරන විට, අදාළ සමාජය ඕනෑම කොන්දේසියක් යටතේ සදාචාරාත්මක භීතියකට ගොදුරු වේ.”

එවැනි බිය ගැන්වූ සමාජයක නිරීක්ෂණය කල හැකි ලක්ෂණ වන්නේ,

  • යම් දෙයක් නිවැරදිව තේරුම ගැනීමට එනම් සංජානනය කර ගැනීමට නොහැකි වීමේ තර්ජනය.
  • අදාළ තත්වයන්ට වග කිවයුතු පාර්ශවයන් හෙවත් වග උත්තර කරුවන් වියවුල් කර කලබලයට පත් කිරීම.
  • නිල මාධ්‍ය අවකාශයන් විස්තාරණය කරමින් තෝරා ගන්නා ලද අවස්තාවන් සහ සිද්ධීන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීම.
  • මේ සියල්ල හරහා ආරෝපණය කර ගන්නා තියුණු මහජන එකඟවය වගේම ඉදිරිපත් කරන ලද නිශ්චිත සතුරා කෙරෙහි වූ පුරවැසි කනස්සල්ල.
  • එය විනාශ කල යුතුය, ඒ සඳහා කොන්ද පන ඇති අධිකාරිමය බලයක් සහිත නායකයෙකුගේ දැඩි ක්‍රියාමාර්ග සඳහා විශාල සමාජ ඉල්ලුමක් සපයා ගැනීම.

ඔබ මා ඇතුළු සමස්ත ලක්වැසි ප්‍රජාවකට මේ මොහොතේ ඉහත කී රංග වින්‍යාසය ඉතා හුරු පුරුදුය.
මෙය තවදුරටත් නිවැරදිව තේරුම් ගැනීමට නම්, ආලින්දයේ පමණක් නොව අත රැඳී ස්මාට් පෝනයේ තිර මත දිස්වන ත්‍රාසජනක වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් විස්තර කරන ඇඟ කිලිපොලා යන සිරස්තල දෙස නොබලා විචාරක්ෂිය යොමු කරන්න.

එවිට ඔබට දිස් වේවි,

  • රූපවාහිනි තිරමත පෙන්වන මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මහෝත්සව,
  • අදෘශ්‍යමාන නොපෙනෙන සතුරන් ගැන බිය උපදවන ෂර්ලොක් හෝම්ස් පන්නයේ රහස් පරීක්ෂක කථා,
  • ජාවාරම් සහ ආයුධ පිළිබඳ නාටකීය සංඛ්‍යාලේඛන.

මත් උවදුර සහ පාතාලය මඩින්න ජාතික උත්සව මොකටද ?

ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල, දක්නට ලැබෙන විවිධ දේශපාලන ක්‍රියාමාර්ග බොහෝ විට සංකේතාත්මක බරක් උසුලයි. දේශපාලන විද්‍යාඥ මරේ එඩෙල්මන් (Murray Edelman) ඔහුගේ රචනාවකදී මෙසේ ලිවීය.

“දේශපාලන ක්‍රියාවන් යනු ගැටළු විසඳීමට වඩා සංජානනය නිර්මාණය කිරීමට අදහස් කරන සංකේතාත්මක අභිනයන් වේ.”

අද ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයේ වැඩි කොටසක් මෙම සංකේතාත්මක අන්තර්ගතයන් පිළිබිඹු කරයි.

  • මාධ්‍ය ප්‍රචාරණ වාසිය ලබා ගැනීම සඳහාම රූගත කරන ලද හදිසි වැටලීම්.
  • සැකකරුවන් මහ මගදී පොලිසියෙන් ප්‍රශ්න කරන දර්ශණ.
  • අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ “බ්‍රේකින් නිව්ස්” සහ විශේෂ මාධ්‍ය සාකච්ඡා.
  • අත්අඩංගුවට ගත් අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය පොලිස් ප්‍රධානීන් සහ නාවුක හමුදා ප්‍රධානින් සමග ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම.
  • වෙනත් රටවල සැඟවී සිටින අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් රට තුලට රැගෙන එන විට මහජන ආරක්ෂක ඇමති පවා ගුවන්තොටුපලට යාම.
  • ඉන් පසු මහජන වේදිකාවලින් ඇසෙන ආඛ්‍යානමය කථා.
    මෙම දර්ශන රටා මගින් මහජනතාව වෙත මත්ද්‍රව්‍ය සහ පාතාලය එරෙහිව පෙර කිසි කලෙක නොවූ අයුරින්, දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට සහතික කරයි. නමුත් මෙම සමාජ උවදුර පිටිපස ඇති ගැඹුරු ව්‍යුහාත්මක ගැටළු ආමන්ත්‍රණය කරන්නේ ඉතා කලාතුරකිනි.
  • වරායන් සහ රේගු සීමාවන් තුල සිදුවන දූෂණය.
  • අනීතිකව බහාලුම් 323 ක් රේගුවෙන් නිදහස් කිරීම.
  • නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන තෝරා බේරා ගැනීම්. (බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් සැකකරුවෙක් ගැන සහ නුවරඑළියේ ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පිලිබඳ පරීක්ෂණ ගැන එල්ලවන චෝදනා)
  • සැපයුම් ජාල අවහිර නොකිරීම
  • ඇබ්බැහිවූ කොටස් පිලිබඳ මනෝවිද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මක පසු විපරම් අවම වීම.
ජනප්‍රිය පුවත්  ඉක්වදෝරය එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

මේවා හොඳින් නිරීක්ෂණය කරන්න, එහිදී පැහැදිලි වන්නේ සංකේතවාදය මගින් විශ්වාසය ජනනය කරන නමුත් එය අනිවාර්යයෙන්ම විසඳුම් ජනනය නොකරන බවයි.

ගෝලීය සමස්තයක් ලෙස ලොව පුරා දක්නට ලැබෙන රටාවක්

ශ්‍රී ලංකාවේ මෙම මොහොත හුදකලා එකක් නොවේ. එය ගෝලීය රටාවකට ගැළපෙන සමාන්තර රටාවකට විහිදෙන අතර, විවිධ රාජ්‍යයන් මත්ද්‍රව්‍යවලට එරෙහි සටන ශිෂ්ටාචාරය සඳහා වන සටනක් ලෙස සකස් කරමින් තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසුලාවට එරෙහිව දියත්කර ඇති ආක්‍රමණකාරී ප්‍රවේශය පිටිපස සඟවාගෙන ඇති උපක්‍රමික මෙවලම වන්නේ මත්ද්‍රව්‍ය විරෝධී සටනයි. මෑතකදී හෙළි වුයේ වෙනිසුලානු ජනාධිපතිවරයා පැහැරගෙන යාමේ CIA උත්සාහයක්ද පවථී බවයි.
පිලිපීනයේ ඩුටර්ටේගේ මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය හරහා බිය නමැති මෙවලම මගින් මෙහෙයවන ලද ව්‍යාජ මතවාද මගින් නීති විරෝධී ඝාතන සහ සමූහ මානව හිමිකම් උල්ලංඝනයන් බොහොමයක් සිදු විය. ඉන් වසර ගණනාවකට පසු, මත්ද්‍රව්‍ය ජාවාරමට පොලිසියේ පවතී සෘජු සම්බන්ධය හෙළිදරව් විය.

එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරුන් වන නික්සන් සහ රේගන්ද මත්ද්‍රව්‍යවලට එරෙහි විශාල මෙහෙයුමක් දියත් කරන ලදී. එහිදී පොලිස් කටයුතු පුළුල් කිරීමට සහ මැතිවරණ සන්ධාන නැවත හැඩගැස්වීමට මත්ද්‍රව්‍ය පිළිබඳ බිය ආයුධ ලෙස ඔවුන් භාවිතා කළහ. මෙම දේශපාලන අභිප්‍රායන් සහ උපක්‍රම පසුව එරට අභ්‍යන්තර නිරීක්ෂකයින් විසින් විවෘතව පිළිගනු ලැබීය.

මෙක්සිකෝව කාටෙල් රාජ්‍යය තුලද මේ හා සමගාමී අත්දැකීම් නිරීක්ෂණය කල හැකිය.

මෙම ගෝලීය සමස්තයන් එක් දෙයක් හෙළි කරයි. එනම් බියවැද්දීම යනු විශ්වීය වශයෙන් බලවත් මෙවලමක් වී ඇති බවයි.

ශ්‍රී ලංකාව කල්පනාකාරී සන්ධිස්ථානයකට

අද අප ජිවත්වන ශ්‍රී ලංකාව නමැති රටේ රාජ්‍ය නායකයාගේ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රධාන කතාව ඇසීමෙන් පසු, මහජන අවකාශය ( Public spyer) අර්ථකථන දෙකක් අතර සිටී.
ඉන් පළමු වන්න වන්නේ ප්‍රතිසංස්කරණවාදී අර්ථ නිරූපණයයී. එනම් ජනාධිපතිවරයා විසින් පරම සත්‍යය හෙළිදරව් කරනු ලැබුවේය. ඒ තුලින් ස්ථාපිත දූෂිත රාජ්‍ය පද්ධතියක් මිලිනුපුටා දැමීමට සඳහා බිය ගැන්වීම නමැති මෙවලම වගකීමෙන් යුතුව භාවිතා කරනු ලැබේ.

දෙවැන්න වන්නේ විවේචනාත්මක අර්ථ නිරූපණයයි. ඒ කියන්නේ දේශපාලන වාසි තකා බියගැන්වීම තවදුරටත් තීව්‍ර කරමින්, පද්ධති මධ්‍යගතකරණයට සහ ශක්තිමත් විධායක බලයකට මග හෙළි කරගනිමින් සිටී යන්නයි.
දාර්ශනික හැනා අරෙන්ඩ්ට් යනු (Hannah Arendt) මෙවැනි ප්‍රතිසංස්කරණවාදීන් පිලිබඳ කාලානුරූපී අනතුරු ඇඟවීම් සිදු කල විචාරිකාවකි.

“ඒකාධිපති පාලනයක පරමාදර්ශී විෂය වන්නේ ඒත්තු ගැන්වූවන් නොව බියට පත් වූවන්ය.”

ශ්‍රී ලංකාව සැබෑ ලෙසම මත්ද්‍රව්‍ය විරෝධී අරගලයක නියැලී ඊට මුහුණ දෙමින් සිටිනවාද නැතහොත් බිය ගැන්වූ දේශපාලනයේ නව යුගයකට පිවිසෙමින් සිටිනවාද? එසේත් නොමැතිනම් මේ දෙකමද යන්න තවමත් උභතෝකෝටිකයකි.

ආරක්ෂාව සහ බිය අතර අඳින ලද සියුම් රේඛාව හඳුනා ගනිමු!


ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට එරෙහි ප්‍රකාශිත මෙහෙයුම නීතිය ක්‍රියාත්මක කිරීම, අපරාධ වැලැක්වීම, සහ වින්දිතයිනට සැනසීම උදාකර දීමේ හුදු ව්‍යාපාරයක් පමණක් නොවේ. එය තවදුරටත් පිරිහෙමින් පවතින ජවිපෙ මුලික NPP බල අධිපත්‍යයේ, අනාගතය සහ ඒ වෙනුවෙන් මහජන මතවාද සකස් කරන බල ව්‍යාපෘතිය හැඩගස්වන දේශපාලනික සහ දාර්ශනික ව්‍යාපෘතියකි.


මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තර්ජනය සැබෑ ය. නමුත් භීතියේ භාවිතය, ඒ වෙනුවෙන් හෙවන සමාජ පිරිවැය, එකී රාමු කිරීම් තුල ඇතිවන දේශපාලන ප්‍රතිවිපාක, වෙනුවෙන් නිශ්චිත සමාජ පරීක්ෂාවක් අවශ්‍ය වේ. නිසැක ලෙසම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අපරාධවලට එරෙහිව දැඩි ලෙස සටන් කළ යුතුය. ඒ වගේම එම සමාජයන් භීතියේ දේශපාලනයට එරෙහිව ද ආරක්ෂා විය යුතුය.

අවසානයේදී, සැබෑ සටන මත්ද්‍රව්‍ය හෝ පාතාලයට එරෙහිව පමණක් නොවේ. එය බලය යුක්ති සහගත කරන්නේ කෙසේද යන්න සහ බිය කුමන ආකාරයේ සමාජයක් නිර්මාණය කිරීමට උපකාරී වේද යන්න පිළිබඳ සටනක් වන්නේය.

(සටහන | විජේපාල දිසානායක)

භාණ්ඩාගාරික;
ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය

Asian Geopolitical Sustainability & Peace Council. (AGSPeC)
Treasurer- Asian Geopolitical, Sustainability & Peace Council

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x