October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

කළකම් ඵල දීම – පෙරටු වර්ෂන් එක!

1 min read

ගාලු මුවදොර අරගලයට මුල සිටම කර ගැහුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කේඩරය යි. නීතිය බල්ලට දමා රාජ්‍ය දේපළ ඇතුළට බලහත්කාරයෙන් ඇතුල් වී ඒවා තම සන්තකයේ තබා ගැනීම ”අයිතියක්” ලෙස හුවා දැක්වූවෝ අතර ‘‘පෙරෙට්ටෝ“ ද ඉදිරියෙන්ම සිටිය හ. ඒ ”අරගලයේ” තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස 3%ක ඡන්ද පදනමක සිටි ජ.වි.පෙ. ආණ්ඩු බලය ලබා ගැනීම දක්වා ඔසවා තබන ලදී. දැන් ‘‘පෙරෙට්ටන්ට“ ද කළකම් ඵල දීමට පටන්ගෙන තිබේ. ඒ, යක්කල පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය ජ.වි.පෙ. බළඇණි විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට පසුගියදා කටයුතු කිරීම මගිනි.

ජ.වි.පෙ. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ හා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපළක් සමඟ 40කට වැඩි පිරිසක් එම කාර්යාලයට කඩා පැන්නේ පාන්දර 7 පමණ ය. එසේ කඩා වැදුණු ඔවුහු එහි සිටි පෙරටුගාමී සාමාජිකයන් තුන් හතර දෙනාට පහර දී එළවා දැමූහ. ඔවුන්ට පොලු වලින් පහර දී තුවාල ද සිදු කළහ. අනතුරුව එකී කාර්යාලය තමන් සන්තකයට තබා ගනු ලැබූහ. ගම්පහ, යක්කල, වේයන්ගොඩ ආදී පොලීසිවලින් පැමිණි පොලිස් නිලදරුවෝද නීතීයේ ස්වාධීනත්වයේ මහිමය පෙන්වා දෙමින්, කාර්යාලය බලහත්කාරයෙන් අත්පත්කරගත් ජ.වි.පෙ. පිරිසට ආරක්ෂාව සැපයූහ. පෙරටුගාමියෝ පාර අයිනට වී හොටු පෙරාගෙන නීතියේ අවභාවිතාව ගැන හා ප්‍රජාතන්ත්‍රවිරෝධී බලහත්කාරය ගැන විලාප දුන්හ.

දැන් පෙරටුගාමියෝ අපට සිහිපත් කර දෙන්නේ අනුන් සතු දේපළකට බලහත්කාරයෙන් ඇතුල් වීම නීති විරෝධී බවය. නීතිය අතට ගැනීම වැරදි බව ය. පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම අසාධාරණ බවය. අනේ පෙරට්ටනි! රටක නීතියේ ආධිපත්‍යය බිඳ දැමීම මෝස්තරයක් බවට පත්කර ගැනීම අනුන්ට මෙන්ම තමන් ටද කෙළවා ගැනීමක් බව තේරුම්ගත යුත්තේ මේ නිසා ය. එදා නුඹලා එය ‘‘ආතල් එකක්“ බවට පත්කර ගනු ලැබුවේ ය.! අද එය නුඹලාගේ හිස මත අකුණු පහරක් ව පතිතව ඇත්තේ ය. ! අපි ඒ ගැන සතුටු නොවෙමු! නමුත්, මෙයින් උගත යුතු පාඩම උගත යුතුය!

රනිල්ව හිරේ දාන විට උදම් ඇනූ නුඹලා, දැන් ‘‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය“ ගැන කුමක් පවසන්නේද? මේ නුඹලාවද සොයා පැමිණ ඇත්තේ එම ඒකාධිපතිවාදයම නොවේද? එම ඒකාධිපතිවාදය විසින් නුඹලා අකමැති අය ඩැහැ ගන්නා විට සතුටු වන නුඹලා, එහිම ගොදුරක් වන විට නහයෙන් අඬා ඵලක් වේද? ඉගෙන ගන්නවානම් ඉගෙන ගත යුත්තේ මේ සිදුවීම් වලින්ය! උගත් පාඩම් යනු මේවා ය! පමා වී හෝ පෙරට්ටන් ගේ පටු මොළය පෑදේවායි අප ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසාය.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x