බුදු සසුන විවේචනය කරන පුද්ගලයන්ට ගිහි සමාජයෙන් පිළිතුරු ලැබෙයි -නාරම්පනාවේ ආනන්ද අස්ගිරි අනුනාහිමි
1 min read
වර්තමානයේදී බුද්ධ ශාසනයට විවේචන එල්ල කරන පුද්ගලයන්ට වැඩිකල් යෑමට පෙර මෙරට ගිහි ජනතාව පිළිතුරු ලබාදෙනු ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
උන්වහන්සේට උපහාර පුද කිරීම සඳහා මුතියංගණය රජමහා විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් නාහිමියෝ මේ බව සඳහන් කළහ. මෙම උත්සවයට ඇමැති සමන්ත විරරත්න මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටි අතර, එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ මෙසේද කියා සිටියහ.
භික්ෂුන්වහන්සේලා සම්බන්ධයෙන් මෙවන් උපහාර පැවැත්වීම බෞද්ධ සමාජය ඉතා ඉහළින් සිදු කරනවා. භික්ෂුන්ගේ සේවාව ඇගයීම තවමත් සිදු වෙනවා. මේ අතර අවාසනාවට ඇතැම් අය භික්ෂුවට විවිධ විවේචන එල්ල කරනවා. මේවායින් උකටලී නොවන ලෙස මම මහා සංඝ රත්නයෙන් ඉල්ලා සිටිනවා. අපි ඒවා සම්බන්ධයෙන් උපේක්ෂා සහගත වන එක තමයි වඩාත් බුද්ධිගෝචර වන්නේ. මේවාට ප්‍රතිචාර දක්වන්නට යෑම අපට සිංහයාගේ සහ ඌරාගේ කතාව සිහි ගන්වනවා. මේවාට ප්‍රතිචාර දක්වා අසූචි තවරා ගැනීමට සිංහයාට අවශ්‍ය නැහැ. ඒ නිසා වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් භික්ෂුව තරමක් නිහඬවීම කාලෝචිතයි.
මේවාට පිළිතුරු දෙන්න ගියොත් අපිත් අර නොහික්මුණ පිරිසගේ තැනටම වැටෙනවා. අපි ඒ තැනට නොවැටී ගෞරවය ආරක්ෂා කරගත යුතුයි. මේ රටේ තාමත් මහා සංඝරත්නයට ආදරය කරන, තෙරුවන් පිළිබඳව පැහැදීමෙන් විශාල පිරිසක් සිටිනවා. හැමදාමත් මේ රටේ ශාසනය ආරක්ෂා කරන්නට ගිහි සමාජය ගහට පොත්ත මෙන් බැඳී සිටියා. ඒ සැදැහැවත් පිරිස මේ එල්ලවන විවේචනවලට සබුද්ධිකව පිළිතුරු ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.
