බරපතල සංස්කෘතික ඛාදනය හමුවේ මහා සංඝරත්නය නිහඩ නොවිය යුතුයි!
1 min read
සමාජ අසාධාරණය සහ බරපතල සංස්කෘතික සෝදාපාළුව හමුවේ මහා සංඝරත්නය නිහඬව නොසිටිය යුතු බවත්, තර්ජන ගර්ජනවලට බිය නොවී රට දැය වෙනුවෙන් නිර්භයව කතා කළ යුතු බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නා හිමියන් අවධාරණය කරනවා
ඓතිහාසික මිහින්තලා පුදබිමේ පැවති ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළාඑහිදී උන්වහන්සේ සඳහන් කළේ, “භික්ෂූන් වහන්සේලා කියන්නේ, තර්ජන ගර්ජන වලට බිය විය යුතු නැහැ. නිර්භයව රට දැය සමය වෙනුවෙන් කතා කරන්නට ඕනේ. අසාධාරණය, මේ බරපතල සංස්කෘතික සෝදාපාළුවට භික්ෂුව නිහඬ වුනොත් කවුද කතා කරන්නේ.” යනුවෙන්.
තවද, නා හිමියන් සඳහන් කළේ රටේ පවතින බරපතල සංස්කෘතික ඛාදනය හමුවේ භික්ෂූන් වහන්සේ නිහඬව නොසිටිය යුතු බවයි.
ඇතැම් ගිහියන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද සඳහන් කළ උන්වහන්සේ පෙන්වා දුන්නේ ඇතැම් අයගේ දෙපා මෙරට තිබුණද ඔළුව ඇත්තේ යුරෝපයේ බවයි.
මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් රචිත “සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය” කෘතිය දොරට වැඩීම මිහින්තලා රජමහා විහාරස්ථානයේදී අද (31) පැවැත්වුණේ මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නා හිමියන් ඇතුළු මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්..
