November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පෝක් සමුද්‍ර සන්ධිය හරහා නිර්මාණය වන බියකරු රළ පහරක්!

1 min read

ඇතැම් ඉන්දීය සහ ශ්‍රී ලංකාව මුලික කරගත් මාධ්‍ය වාර්තා කීපයක් විසින් දකුණු ආසියානු කලාපය පුරා ඉමහත් කනස්සල්ලක් සහ දෙගිඩියාවක් ඇති කරන මාධ්‍ය වාර්තාකරණයක් සිදු කර තිබෙනු දක්නට ලැබිණ. ඒ බව දෙරටේම මාධ්‍ය විසින් උපුටා දක්වන ලද බුද්ධි මුලාශ්‍ර අංශවලට අනුව, ඩාවුඩ් ඊබ්‍රාහිම් (Dawood Ibrahim) ප්‍රමුඛ ඩී. සින්ඩිකේට් (D. Syndicate) කණ්ඩායම ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව අතර පැරණි මුහුදු මාර්ග නැවත සක්‍රිය කරීමට උත්සහ කරමින් සිටින බවට සිදු කරනු ලැබූ හෙළිදරව්වයි.

මෙම උත්සාහය තුලින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට, ආයුධ ජාවාරමට, මිනිස් ජාවාරමට, සහ මුදල් විශුද්ධිකරණය කිරීමට හිටපු එල්ටීටීඊ ක්‍රියාකාරීන් (විශේෂයෙන් මුහුදු කොටින්) යොදා ගත් බවට චෝදනා එල්ල වී ඇත. ශ්‍රී ලංකාව පදනම් කරගත් ඩේලි මිරර් (Daily Mirror) පුවත්පත මුලින්ම මෙම පුවත ගැන ඉඟිපල කරමින් දක්වා සිටියේ දකුණු කොරිඩෝව දිගේ විය හැකි ඩී – සින්ඩිකේට් ක්‍රියාකාරිත්වය පිළිබඳව “ඉන්දියානු බුද්ධි අංශ බරපතල අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති” බවයි.

ඒ වගේම මේ පිලිබඳ සමාන්තර වාර්තාවක් වැඩි කල් නොගොස්ම, ඉන්දියාවේ ද ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස්, (The Financial Express) “ඩී-සමාගම ඉන්දියානු සාගරය හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා එල්ටීටීඊයේ අවශේෂ සමඟ කුමන්ත්‍රණය කරන බවට විශ්වාස කෙරේ” යනුවෙන් අදාළ බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් එකී කතාව පුළුල් කරලීමට කටයුතු කළේය.

ඉන්දීය බුද්ධි අංශ වලට හෝ ආරක්ෂක අංශයන්ට, මේ කතාව හුදෙක් නීතිය හා සාමය පිළිබඳ මතුපිට ගලායන සරල හෝ හුදකලා සිදුවිමක් පමණක් නොවේ. එය ඓයිතිහාසිකව ඇතිකරන ලද හුරුපුරුදු උපායමාර්ගික බියක් නැවත උත්පාදනය කරනු ලබන තත්වයකි. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පටු මුහුදු තීරය යනු දශක ගණනාවක් තිස්සේ, එල්ටීටීඊයේ මුහුදු කොටි විසින් භාවිතා කරන ලද සමුද්‍ර තීරයකි. මෙම සාගර කලාපය LTTE සහචර නටබුන් වූ කොටස් නැවත වරක් නීති විරෝධී වෙළඳාම සඳහා හෝ ඊටත් වඩා නරක, රහසිගත මෙහෙයුම් සඳහා ප්‍රධාන ප්‍රවේශ මාර්ගයක් හැටියට යොදා ගැනීමේ විභවයක් පවතින බව බුද්ධි අංශ නිරීක්ෂකයින්ගේ ආවේක්ෂණ සාක්ෂි ඉඟි කරනු ලබයි.

පකිස්ථාන් සාධකය කෙරෙහි වූ ඉන්දියාවේ ගැඹුරු කනස්සල්ල


මෙම කතාවේ ප්‍රධාන කතා නායකයා හෙවත් තීරණාත්මක චරිතය වන්නේ 1993 මුම්බායි බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු, වගේම “D” සමාගම ලෙස හැඳින්වෙන විශාල අපරාධ අධිරාජ්‍යයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඉන්දිය ආරක්ෂක අංශ ලොව පුරා සොයමින් සිටින “ඕනෑ කර තිබේ” (Wanted) ලෙස නම් කර ඇති, පාතාල අපරාධකරුවෙකු වන ඩාවුඩ් ඉබ්‍රාහිම් කස්කාර් ය (Dawood Ibrahim Kaskar).

මෙම අපරාධකරුට දශක ගණනාවක් තිස්සේ, ඉස්ලාමාබාද්හි රැකවරණය ලබා දුන් බවට නවදිල්ලිය චෝදනා කර තිබේ.

එහෙත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඩාවුඩ් සහ ඔහුගේ ජාලය ගෝලීය ත්‍රස්තවාදී සම්බාධක යටතේ ලැයිස්තුගත කර ඇත. එතකින් නොනැවතුන ඇමෙරිකාව ඩාවුඩ්ගේ කරච්චියේ පිහිටි මුලස්ථානය හඳුනාගෙන ඔහුගේ සියලු මෙහෙයුම් මුදල් විශුද්ධිකරණය, ආයුධ ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ සම්බන්ධ කර තිබේ.

ජනප්‍රිය පුවත්  ඩිජිටල් හැඳුනුම්පත පුරවැසි පෞද්ගලිකත්වයේ සහ දත්තස්වෛරිත්වයේ අවසානය….

දැන් තත්වය පැහැදිලි වෙමින් තිබේ. පෝක් සමුද්‍ර සන්ධිය හරහා ගොඩ නැගෙන මේ බියකරු රළ පහර ආශ්‍රිත ක්‍රියාකාරකම් කෙරෙහි ඉන්දියාව මෙතරම් ආරක්ෂක අවධානයක් යොමු කරන්නේ එබැවිනි. පකිස්ථාන රැකවරණ සහ ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක වන බව වාර්තා වන ඩාවුඩ්ගේ සංවිධානය දැන් ශ්‍රී ලංකා සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඉන්දියානු සාගරය හරහා ළඟා වන්නේ නම්, නවදිල්ලි පරිපාලනය එය අපරාධ ව්‍යාප්තියක් ලෙස පමණක් නොව භූ දේශපාලනික ප්‍රකෝප කිරීමක් ලෙසද සලකා කටයුතු කිරීම අනිවාර්ය තත්වයකි. එනම් සංවිධානාත්මක අපරාධ යන්නට ආවරණය වී පාකිස්තානයේ බලපෑම වක්‍රව ඉන්දියාවේ දකුණු කලාපය වෙත කාන්දු වීමේ ඇති අතිශය අවධානම්කාරී අනතුර ඉන්දීය ආරක්ෂක අංශ මතු කරයි.

මෙම සැක කටයුතු උත්සාහය පිලිබඳ ඉන්දියානු බුද්ධි අංශ මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් පත මෙසේ දක්වා ඇත. “ඩාවුඩ් ඉබ්‍රාහිම් මුදල් සහ ජාත්‍යන්තර ප්‍රවේශය ගෙන එයි, එල්ටීටීඊ ක්‍රියාකාරීන් සමීප දේශීය දැනුම ගෙන එයි, එය භයානක සංයෝජනයකි.” (“Dawood Ibrahim brings money and international access, LTTE operatives bring intimate local knowledge, it is a dangerous combination.”)

එල්ටීටීඊ සටන්කාමීත්වය, විමුක්තිකාමය සිට නීති විරෝධී වෙළඳාම දක්වා රූපාන්තරණය වෙමින් තිබේ.

දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුල පැවති සිවිල් යුද්ධය අතරතුර, එල්ටීටීඊයේ සුසෙයිගේ නායකත්වයෙන් යුත් සමුද්‍ර බලකාය හෙවත් මුහුදු කොටි, දකුණු වෙරළ තීරය ඔවුන්ගේ කෙළි බිමක් බවට පත්කරගෙන සිටි බව නොරහසකි. මුහුදු කොටින් බොහෝ විට ශ්‍රී ලංකා නාවික හමුදා මුර සංචාරවලින් පරිස්සම් වීමට වග බලා ගත්තා පමණක් නොව, ඉන්දියානු නාවුක ආවේක්ෂණ වලින් මිදී සිය මුහුදු බලය තහවුරු කරගැනීමට කටයුතු කළේය. අවසානයේ සුසෙයි ඇතුළු ප්‍රභලයින් බොහොමයක් විනාශ වී ගියද 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසුව පවා, එම ජාලයේ කොටස් තවදුරටත් ඉතිරිව තිබුණි. මූල්‍යමය වශයෙන් අරගල කරන හෝ පිටුවහල්ව ජීවත් වන සමහර හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ඔවුන්ගේ යුද කාලීන විශේෂඥතාව සාම කාලීන ජාවාරමක් බවට පරිවර්තනය කර ඇති බවට කරුණු පවතින බවට සැක කෙරේ. මේ පිලිබඳ විස්තර කරන ද හින්දු සහ එන්ඩීටීවී (The Hindu and NDTV) වාර්තාවලින් පෙන්වා දෙන්නේ, විශේෂයෙන් චෙන්නායි සහ යාපනය ප්‍රදේශ වල හිටපු එල්ටීටීඊ කාඩර්වරුන් සම්බන්ධ සැක සහිත මූල්‍ය ප්‍රවාහයන් ඉන්දීය ආයතන විසින් නිරීක්ෂණය කර ඇති බවයි.

ද ෆිනෑන්ෂල් එක්ස්ප්‍රස් (The Financial Express) විසින් උපුටා දක්වන ලද එක් බුද්ධි වාර්තා සටහනක පෙන්වා දෙන්නේ, “2009ට පෙර එල්ටීටීඊ අරමුදල් දාමයන්ට සම්බන්ධ නිද්‍රාශීලී විදේශ ගිණුම් නැවත සක්‍රිය කිරීමට” දරන උත්සාහයන් පවා එම වාර්තාවේ සඳහන් කර ඇති බවයි.

මෙම තොරතුරු වලින් ඇඟවෙන්නේ ඉතිරි වූ එල්ටීටීඊ අවශේෂ කොටස් වෙත ඩී-සින්ඩිකේට් හි ප්‍රවේශය තනිකරම ගනුදෙනුවක් විය හැකි බවයි. තව දුරටත් එමගින් අවධාරණය කරන්නේ ඊලාම්වාදී දෘෂ්ටිවාදය නොව විවිධ නීති විරෝධී සැපයුම් හරහා මුදල් ඉපයීම් සිදුවන බවයි. මේ වන විටත් ගෝලීය අපරාධ කල්ලියක් සහ පරාජිත කැරලිකාර කල්ලියක් අභිසාරී වීම, එසේත් නැතිනම් සංවිධානාත්මකව ඒකරාශී වීම කලාපීය ආරක්ෂක පරිසරයට තර්ජනයක් බවට ඔවුන් අනතුරු අඟවයි.

ජනප්‍රිය පුවත්  කළු රාජ්‍යයේ පළු ඇරීම! දාර්ශනිකව සිතමු…!

ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ගැටලුව හමුවේ මුනිවත රකිමින් ප්‍රතික්ෂේප කලේ ඇයි?

ඉන්දීය බුද්ධි අංශ විසින් සිදුකල ඩී – සින්ඩිකේට් හෙළිදරව්ව පිලිබඳ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් නිල ප්‍රතිචාරයක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වෙත හැරුණි. චෝදනා එල්ල වන ඩී – සින්ඩිකේට් – LTTE සම්බන්ධතාවය පිළිබඳව ඔහුගෙන් මාධ්‍යවේදීන් පසුගියදා විමසූ විට, ඔහු එම කාරණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.

“මම ඒ ගැන කිසිවක් දන්නේ නැහැ,” ඔහු වාර්තාකරුවන්ට පැවසීය. “එවැනි කාරණයක් සම්බන්ධයෙන් මට කිසිවක් දැනුම් දී නැහැ.”

විවිධ රුපවාහිනී නාලිකා වල සහ රාජ්‍ය භාරය සහිත ජාතික රූපවාහිනියේ ප්‍රචාරය වූ සහ තවත් අපේ රටේ මාධ්‍ය කීපයක් මෙය වාර්තා කරන ලදී. ඔහුගේ ප්‍රකාශය මතභේදයට තුඩු දුන් අතර ජාතික ආරක්ෂාව සඳහා වගකිව යුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සහ ඉන්දියානු මාධ්‍ය දෙකෙහිම දැනටමත් පුළුල් ලෙස වාර්තා කර ඇති තත්වයක් පිළිබඳව නොදැන සිටිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව බොහෝ මාධ්‍යවේදීන් කනස්සල්ල සහ නිහඬ සැකය පළ කළහ.

ඩේලි මිරර්, නිව්ස් ෆස්ට් සහ අද දෙරණ (Daily Mirror, News First and Ada Derana) යන සියලුම පුවත්පත් මීට දින කිහිපයකට පෙර එම බුද්ධි අනතුරු ඇඟවීම් ගැන සඳහන් කරමින් වාර්තා ප්‍රකාශයට පත් කර තිබුණි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සහ ද හින්දු (Times of India and The Hindu) ඇතුළු ඉන්දියානු පුවත්පත් නවදිල්ලියේ ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් සමාන්තර කතා පළ කර තිබුණි. මෙම පසුබිම යටතේ, අමාත්‍ය විජේපාලගේ ප්‍රතික්ෂේප කිරීම පියවරෙන් පියවර නොගැලපෙන බවක් නිරීක්ෂණය වේ. එනම් සමහර විට අභ්‍යන්තර සම්බන්ධීකරණයක් නොමැතිකම හෝ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සංවේදී කාරණයක් අවතක්සේරු කිරීමට හිතාමතා ගත් උත්සාහයක් හැටියට මෙය සැලකිය හැකිය.

ලියුම්කරු සමග තවත් මාධ්‍ය ක්ෂේත්‍රයේ අය අදහස් දක්වමින් පැවසුවේ, මේ පිළිබඳව රජය ප්‍රවේශමෙන් පියවර ගැනීමට උත්සාහ කළ හැකි බවයි. එල්ටීටීඊයට සම්බන්ධ ජාවාරම් ජාලයක් පිළිබඳ මහජන පිළිගැනීම දේශීය ආතතීන් නැවත ඇති කළ හැකි අතර දෙමළ දේශපාලනඥයින්ගෙන් විවේචන එල්ල විය හැකිය.

දෙමල ඩයස්පෝරාවේ බලපෑම මත මෙය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් වැලකි සිටීම උපක්‍රමිකව යහපත් විය හැකියි.

එහෙත් ඉන්දියානු බුද්ධි අනතුරු ඇඟවීම් නොසලකා හැරීම නවදිල්ලිය කෝපයට පත් කිරීමේ අවදානමක් ඇති අතර එනිසාම දැනටමත් තමිල්නාඩුව සහ මන්නාරම් බොක්ක වටා වෙරළබඩ නිරීක්ෂණ සහ නාවික මුර සංචාර වැඩි කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික විශ්වසනීයත්වය ඉතා වැදගත්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින අන්නෝන්‍ය සම්බන්ධතාවය ඉතා දිගු සහ මිත්‍රශීලි එකකි. මෙම මතභේදයට තුඩු දී ඇති කරුණ රාජ්‍යත්‍රාන්තික මට්ටමේ එකක් නොවන බව කිව යුතුය. අප රට මුහුණ දු පසුගිය ආර්ථික ව්‍යසනකාරී තත්වයේදී සහ ඉන් පසුව රට යථා තත්ත්වයට පත්වීම වෙනුවෙන් ඉන්දියානු මූල්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ බව කිව යුතුය.

ජනප්‍රිය පුවත්  මොළය සහ ලිංගය

ශ්‍රී ලංකාවේ භූමිය හෝ එහි වෙසෙන කිසියම් ජාතිකයෙක් පකිස්ථානයට සම්බන්ධ අපරාධ කණ්ඩායමක් විසින් භාවිතා කරන බවට ඇති මතයක් එම හොඳ හිතට හානි කළ හැකිය. ජ්‍යෙෂ්ඨ ඉන්දියානු විශ්ලේෂකයෙකු ද හින්දු පුවත්පතට පවසා ඇති පරිදි, “කොළඹ තීරණාත්මකව ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත්, එය පකිස්ථාන සම්බන්ධතා සහිත අන්තර්ජාතික අපරාධ සඳහා නොදැනුවත්වම පහසුකම් සපයන්නෙකු ලෙස සලකනු ලැබේ.”

මේ අතර, ශ්‍රී ලංකා නිලධාරීන් පෞද්ගලිකව අවධාරනය කරන්නේ ඔවුන් ඉන්දියාව සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන බවයි. හොඳම උදාහරණය මෑතක ඉන්දීය නිල සංචාරයකට සහභාගී වූ අගමැතිනි, හැරිණි අමරසුරිය ඉන්දියා භූමියේදී සිදුකල ප්‍රකාශයයි. ඇය කියා සිටියේ, “අපේ රට ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් වන කිසිම කටයුත්තක් වෙනුවෙන් පාවිච්චි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ” කියාය. ඒ වගේම, ජ්‍යෙෂ්ඨ පොලිස් මූලාශ්‍රයක් සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබුනේ, “අපි සියලු ආරක්ෂක අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස සලකමු,” යනුවෙනි. එම ප්‍රකාශය තුල තවදුරටත් අවධාරණය කර ඇත්තේ “නමුත් මෙම අවස්ථාවෙහිදී, එල්ටීටීඊ ඉතිරි කොටස් ඩාවුඩ් ඉබ්‍රාහිම්ගේ කණ්ඩායම සමඟ සම්බන්ධ කරන කිසිදු සංවිධානාත්මක ජාලයක් පිළිබඳ ස්ථිර සාක්ෂි අපට හමු වී නැත.” යනුවෙනි.

අපරාධ, දේශපාලනය, සහ ඉන්දියන් සාගරය


සිද්ධි වලින් ඔබ්බට චෝදනා එල්ලවන ඩාවුඩ්-එල්ටීටීඊ ඒකරාශිවීම ගැඹුරු කලාපීය ප්‍රවණතාවක් පිළිබිඹු කරයි. ඉන්දියානු සාගරයේ අපරාධ, දේශපාලනය, සහ භූ දේශපාලනය දිගුකලක සිට එකිනෙකට සම්මිශ්‍රිතව පවතින ලක්ෂණ පෙන්වයි. එක් ජාලයක් බිඳ වැටෙන විට, තවත් එකක් මතු වේ. විවිධ දෘෂ්ටිවාද මැකී ගියද, එයින් උපදින හිස්බව මුදල් විසින් පුරවයි.

මෙම ප්‍රකාශ සහ බුද්ධි අංශ හෙළි කිරීම් සත්‍ය බවට ඔප්පු වුවහොත්, ඩී-සින්ඩිකේට් හි දකුණු තල්ලුව සමුද්‍ර අපරාධයේ නව අවධියක් සනිටුහන් කළ හැකිය. එනම් එය එල්ටීටීඊයේ ජාවාරම් අත්දැකීම් ඩාවුඩ්ගේ අධිරාජ්‍යයේ ගෝලීය ප්‍රවේශය සමඟ ඒකාබද්ධ කරයි. ඉන්දියාව මෙහෙයවන මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි එහි දිගු සටනට එරෙහි දකුණු පෙරමුණක් අලුතින් විවෘත කරයි. ශ්‍රී ලංකාවට, මේ අත්දැකීම රජයේ විශ්වසනීයත්වය, ආරක්ෂක සම්බන්ධීකරණය සහ තම බලවත් අසල්වැසියන් දෙදෙනා අතර රාජ්‍ය තාන්ත්‍රික තුලනය කිරීමේ ක්‍රියාව පරීක්ෂා කරයි.

රටවල් දෙකටම, ඔවුන් බෙදන මුහුද වගේම ඔවුන් සම්බන්ධ කරන මුහුද බවද අමතක නොකළ යුතුය. සියවස් ගණනාවක් තිස්සේ වෙළඳාම, සංස්කෘතික ආගමනය, ජන සංක්‍රමණය, සහ සමහර විට අනතුරුද රැගෙන ගියේ පටු ජල මාර්ගයකින් බව සටහන් කරමි.

(සටහන | විජේපාල දිසානායක)
wijepaladissanayake@gmail.com

භාණ්ඩාගාරික;

ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය

Asian Geopolitical Sustainability & Peace Council. (AGSPeC)

Treasurer- Asian Geopolitical, Sustainability & Peace Council

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x