ප්‍රමිතිය නොතකා ඖෂධ මිල පාලනය කළොත් රෝගී ජීවිත අනතුරේ!
1 min read
මෙරට රෝගීන්ට දෙන ඖෂධ වර්ග 7500කටම උපරිම සිල්ලර මිල පාලනයක් ප්‍රකාශයට පත් කිරීම රජයේ සැලසුම වී ඇති බවත්, එසේ කළහොත් ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ නිසා රෝගී ජීවිත බරපතළ අනතුරකට ලක්වන බවත් සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විටත් තෝරාගත් ඖෂධ වර්ග 350 කට අදාළව උපරිම සිල්ලර මිල පාලනයක් රජය මගින් ප්‍රකාශයට පත්කර ඇතැයි ද ඒ අනුව උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධ වෙනුවට ප්‍රමිතිය නොමැති බාල ඖෂධ වර්ග මෙරටට ගෙන්වීමට ඉඩ ලැබෙන බවද එම සංගමයේ සභාපති චන්දික ගන්කන්ද පැවැසුවේය.
ඖෂධ මිල පාලනය කිරීමෙන් රෝගීන්ට අඩු මිලට ඖෂධ මිලදී ගැනීමට ඉඩ සැලසීම හොඳ දෙයක් වුවද, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ඉහළ ප්‍රමිතියෙන් යුත් ඖෂධ මෙරටට ගෙන්වීම නතරවීම බරපතළ ප්‍රශ්නයක් වනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් ඖෂධ ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් සහ සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස අතර සාකච්ඡා වරට හතරක් පැවැති බවත්, මෙරටට ගෙන එන ඖෂධවලට පොදුවේ සියයට හැත්තෑපහක (75%) ලාභාංශයක් දීමට එකඟ වුවත් එය නොතකා මිල පාලනය ක්‍රියාත්මක කළ බවද ඔහු සඳහන් කළේය.
ඖෂධ ගෙන්වන සමාගම්වලට බෙදාහරින පිරිසට, සිල්ලරට අලෙවි කරන අයට හා ආනයන බදු විදියට මෙම ලාබාංශ දිය යුතු බවද, ලාභ නොමැතිව කිසිවෙක් කිසිම ව්‍යාපාරයක් නොකරන බබවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ වන විට බොහෝ විට ලාභ ඖෂධ ඉන්දියානු සමාගම්වලින් මෙරටට ගෙන එන බවත්, ඒවායේ ප්‍රමිතිය සහතික කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත පිළිගත් රසායනාගාරයක්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සතුව නොතිබීම තවත් බරපතළ ප්‍රශ්නයක් බවත් සභාපතිවරයා අනාවරණය කළේය.
මේ වන විට මෙරටට ගෙන්වනු ලබන එකම ඖෂධ වර්ග විවිධ මිල ගණන් යටතේ උපරිම සිල්ලර මිලකට ලක් කර තිබීමද බරපතළ ගැටලුවක් බව ද පෙන්වා දෙන ඒ මහතා උදාහරණයක් ලෙස රොසුවස්ටටින් මිලිග්‍රෑම් 5 ක ඖෂධය රුපියල් 42 ශත 67, රුපියල් 39. ශත 74, රුපියල් 25, රුපියල් 14.ශත 88 ආදී ලෙස මිල නියම කර ඇත. මෙහි ඇති අනෙක් බරපතළ ප්‍රශ්නය වන්නේ ක්‍රමක්‍රමයෙන් මෙකී ඖෂධයට දී ඇති ඉහළම මිල දක්වා එහි මිල ඉහළ යාම බවද හෙතෙම කීවේය. කෙසේ වෙතත් ඖෂධවල ප්‍රමිතිය නොතකා මිල ගැන පමණක් සැලකිලිමත් වීමෙන් රට තුළට ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රමගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ CFI ක්‍රමවේදය යටතේ ඖෂධ මිල තීරණය කිරීමේදී එකම ඖෂධයක මිල ගණන් වෙනස්වන බවයි. එහෙත් එසේ විවිධ මිල ගණන් යටතේ එකම ඖෂධය අලෙවියට තිබුණද එම මිල ගණන් අතර විශාල වෙනසක් නැති බවද ඔහු කියා සිටියේය. තවද එක් එක් සමාගම්වල වියදම් මත මෙලෙස මිල ගණන් තීරණය වන බවද ඔහු පැහැදිලි කළේය.
WhatsApp Group එක දැන්ම Follow කරන්න !
