දිට්වා කුණාටුවට අසුවූ 2,199ක් තවමත් අවතැන් කඳවුරුවල
1 min read
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් තත්වයන්ගෙන් පීඩාවිඳි පවුල් 48,350 ක් තම නිවසට පදිංචියට යෑමට නොහැකිව තවමත් නෑදෑයෙකුගේ, මිත්‍රයෙකුගේ හෝ කුලී නිවසක සිටින බවත් තවමත් පවුල් 2,199 ක් අවතැන් කඳවුරුවල සිටින බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය.
අවතැන් වූ පුද්ගලයන් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ ගියත් පීඩාවට පත්වූ ජනතාවගේ මානුෂීය අවශ්‍යතා ඒ ආකාරයෙන්ම පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීමට, සේදුම් පහසුකම් ලබා ගැනීමට, බාහිර සාධක හේතුවෙන් පවුල් විසිරීම වැළැක්වීමට, මනෝ සෞඛ්‍ය සහ පීඩාවට පත්වූ ළමයින්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට සහාය අවශ්‍ය කර තිබෙන බව එම වාර්තාව පෙන්වා දුන්නේය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ළමයින් 890,000 කගේ අධ්‍යාපනය කඩා කප්පල් වී තිබූ බව එම වාර්තාවේ දැක්වේ. ඉන් 822,751 පාසල් ළමයින් බවත් 68,000 ක් පෙර පාසල් ළමයින් බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ එම වාර්තාවේ සඳහන් විණි.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහ පවුල්වලට අඛණ්ඩව සහාය සැපයීම සඳහා පසුගිය 21 වැනිදා වනවිට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 65 ක් පමණ) මුදලක් අවශ්‍යව තිබූ බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
