”තුන්වෙනි මිනිසා”ගේ ඉතිහාසයත් ලේසි නැහැ! ”ගජමිතුරු” තෙවන නම ගැන හෙළිදරව්වක්!
1 min read
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පාලනයේ මුර දේවතාවා ලෙස සැලකෙන ‘විගණකාධිපති’ ධුරය මේ වන විට රට කරන්නන්ගේ සහ කරවන්නන්ගේත්, උපදෙස් දෙන්නන්ගේත් අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි ආරංචිමාර්ග පවසයි. විගණකාධිපති තනතුර සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිටියදී, ඔවුන්ව කුණු කූඩයට දමා යෝජනා කෙරෙන ‘නම්’ විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කළ ‘තුන්වෙනි නම’ මේ වන විට දේශපාලන කරළියේ දැඩි ආන්දෝලනයක් ඇති කර ඇතැයි තතු දත් අයගේ අදහසය.
මෙම නව යෝජිතයා අන් කිසිවකු නොව, හිටපු යුද හමුදා කර්නල්වරයෙකු වන අතර හෙට(17) බදාදා ව්‍යවස්ථාදායක සභාවට මෙම නම ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී, හමුදාවේ “දේශයට හිතැති නිලධාරීන්” පිරිසක් විසින් කතානායකවරයා වෙත යොමු කළ ලිපියකින් ඔහුගේ “කලු ඉතිහාසය” එළියට පැමිණ ඇතැයි පැවසේ.
ඔන්න අපවෙතත් ලැබුනු ලියුමේ තිබුන දේවල්…
රණවිරු ඇපරල් එකේ ‘සන්තෝසම්‘ සහ ගෙවල් හැදූ සොල්දාදුවෝ
අදාළ කර්නල්වරයා යක්කල රණවිරු ඇපරල් ආයතනයේ ගණකාධිකාරී ලෙස සිටියදී සැපයුම්කරුවන්ගෙන් ‘සන්තෝසම්’ ලබා ගනිමින් මිලදී ගැනීම් කළ බවට චෝදනා එල්ල වී ඇත. එමෙන්ම බෙම්මුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවස ඉදිකිරීම සඳහා හමුදා සොල්දාදුවන්ව අනවසරයෙන් යොදාගෙන ඇති බවත්, ගිණුම් අංශයේ නිලධාරීන්ට එක් වාහනයක් පමණක් හිමිව තිබියදී 2017-2018 කාලයේ ඔහු වාහන දෙකක් භාවිතා කර ඇති බවත් අදාළ ලිපිය මගින් පවසා ඇත. කෙසේ වුවද සුපුරුදු පරිදි ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම පරීක්ෂණ යට ගැසීමට ඔහු සමත්ව ඇතැයිද පැවසේ.
වරලත් ගණකාධිකාරී සිහිනය සහ හොර අත්සන්
වඩාත් බරපතල කාරණය වන්නේ ඔහු වරලත් ගණකාධිකාරීවරයෙකු වූ ආකාරයයි. ඔහුගේ අයහපත් කල්ක්‍රියාව නිසා පුහුණුවීම් භාර නිලධාරියා (ලිපියේ සඳහන් වන ලෙස කර්නල් නිලවීර නැමැත්තෙකුයි) පුහුණු ලේඛනවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. නමුත් මොහු රහසිගතව බාහිර විගණන ආයතනයක් ලවා එම ලේඛනවලට අත්සන් ලබාගෙන වංචනිකව සුදුසුකම් සම්පූර්ණ කර ගත් බවට තොරතුරු අනාවරණය වී ඇත.
උසස්වීම් අහිමිව ගෙදර ගිය කර්නල්
මෙම දූෂිත චෝදනා හේතුවෙන් අපගේ කර්නල්වරයාට 2022 වසරේදී බ්‍රිගේඩියර් ධුරයට උසස් වීමට තිබූ අවස්ථාවද අහිමි වූ බව එකී රණවිරු සංවිධානය පවසති. ඔහුගේ සමකාලීනයන් බ්‍රිගේඩියර්වරුන් ලෙස උසස්වීම් ලබද්දී, මොහුට වයස අවුරුදු 55 දී කර්නල්වරයෙකු ලෙස විශ්‍රාම යෑමට සිදුව ඇතැයි පැවසේ.
හමුදා වාහන ජාවාරම සහ ලක්සල පත්වීම්
ඔහුට හිමි වාහන දෙක හමුදාවට කුලියට දී, එම වාහන ධාවනය නොකළ දුර ප්‍රමාණයන් සඳහාද බිල්පත් ඉදිරිපත් කළ බවට පරීක්ෂණයක් පවතින අතරතුර, 2025 ජුනි මස ඔහු හමුදාවෙන් ඉවත් වී ඇතැයි යතෝක්ත ලිපිය මගින් පවසයි. ඉන්පසු සාවද්‍ය සේවා සහතික ඉදිරිපත් කර ලක්සල ආයතනයේ ඉහළ තනතුරක් ලබාගෙන ඇති බවද පැවසේ.
ජාතික විගණනයට ‘කණකොකා‘ හඬලයිද?
වෘත්තීය මට්ටම සැසඳීමේදී හමුදාවේ කර්නල් තනතුර සමාන වන්නේ ජාතික විගණන කාර්යාලයේ පහළම විධායක තනතුර වන ‘විගණන අධිකාරී’ තනතුරටය. එසේ නම්, එවැනි පහළ මට්ටමේ පළපුරුද්දක් ඇති, දූෂණ චෝදනා ලත් අයෙකු රටේ විගණකාධිපති පුටුවේ වාඩි කරවීමට රටේ නායකයින් දරන උත්සාහය ගැන හිටපු විගණකාධිපතිවරයෙකු පවා සිය විරෝධය පළ කර තිබේ.
සුදුස්සන් පසෙකලා මෙවැනි “කලු පැල්ලම්” සහිත ගජමිතුරන් රජ කරවීමට
යාමෙන් පෙනී යන්නේ, රටකරවන ඇත්තන්ට තමන්ගේම ගිණුම් හිලව් පරීක්ෂා කිරීමට
“ගෙදර මිනිහෙක්” අවශ්‍ය වී ඇති බව නොවේද? මදැයි හොර අල්ලන්න ආවා…? යැයි
පවසන ජනතාවගේ පැත්තේ ආරංචිමාර්ග පවසන්නේ හෙට බදාදා ව්‍යවස්ථාදායක සභාව මේ
ගැන ගන්නා තීරණය දෙස රටම බලා සිටින බවය.
