March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කම්කරුවන් කපෝතියි!

1 min read

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට යටත්ව, මෙරට වැඩකරන ජනතාව දශක ගණනාවක් තිස්සේ අරගල කර දිනාගත් කම්කරු අයිතීන් අහෝසි කිරීමට සැලසුම් කර තිබේ.

එසේ සිදු කරන අතර මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට දැවැන්ත බදු සහන ප්‍රමාණයක් ලබා දෙමින් බවද සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

මීට පෙර රජය සමයේ මනූෂ නානායක්කාර අමාත්‍යවරයා විසින් සම්මත කිරීමට සූදානම් වූ මෙම කම්කරු නීතිවලට එරෙහිව එවකට වෘත්තිය සමිති නායක නායිකාවන් සහ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ වසන්ත සමරසිංහ, ලක්මාලි හේමචන්ද්‍ර ඇතුළු බොහෝ පිරිස් විරෝධය දැක්වීය. ඒ අනුව මනූෂලාගේ සහ රනිල්ලාගේ උත්සාහයන් පරදවන බවට ශපථ කළ පිරිසකගෙන් සමන්විත ආණ්ඩුවක් මේවා කිරීම දෛවෝපගතය.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන පරිදි, පවතින කම්කරු පනත් 14ක් අහෝසි කර නව පනත් 4ක් හඳුන්වා දීමට රජය සූදානම් වෙයි.

“Ease of Doing Business” හෙවත් ව්‍යාපාරිකයන්ට සූරාකෑමේ පහසුව


රජය සහ කම්කරු අමාත්‍යාංශය පවසන්නේ මෙම නීති “නූතනකරණය” (Modernising) සහ “Ease of Doing Business” හෙවත් ව්‍යාපාර කිරීමේ පහසුව ඇති කිරීම සඳහා ගෙන එන බවයි. එහෙත් මෙහි සැබෑ අර්ථය වන්නේ වැඩකරන ජනතාව සූරාකෑමට ඇති බාධා ඉවත් කිරීමයි. සන්ඩේ ටයිම්ස් වාර්තාවෙන් පැහැදිලිව පෙන්වා දෙන පරිදි මෙම කම්කරු නීති සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හදුන්වාදී ඇති ඒවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් මූල්‍ය ආයතන වැඩසටහන් තුළ කම්කරු වෙළඳපොළ “නම්‍යශීලීභාවය” යනු,

(i) සේවකයන් රිසි සේ ඉවත් කිරීමට ඇති පිරිවැය සහ බාධා (dismissal costs) අඩු කිරීම,

(ii) මෑන්පවර් සහ කොන්ත්‍රාත් වැනි අර්ධ වහල් සේවාවන් ලබා ගැනීමට ඇති නීතිමය අවසරයන් (temporary/contract employment) පුළුල් කිරීම,

(iii) සේවකයන්ට වෘත්තිය සමිති ශක්තිමත්ව ගොඩනගා, අයිතිවාසිකම් ඉල්ලීමට ඇති (collective bargaining) සීමා කිරීම

(iv) වැටුප් නොවන කම්කරු පිරිවැය (non-wage labour costs) අඩු කිරීම ලෙස සංකේතීකරණය වේ (IMF, 2016; 2019).

ඔවුන්ගේ තර්කය කම්කරු නීති ලිහිල් කිරීමෙන් පිරිවැය අඩු වී ආයෝජනය වැඩි වී ආර්ථිකය වර්ධනය වන බවයි. එහෙත්, අසූ ගණන්වල සිට ලෝකයේ රටවල් ගණනාවකට ලබා දී ඇති මේ වට්ටෝරුව ලෝකයේ රටවල් ගණනාවක පාවිච්චි කර තිබේ.

ජනප්‍රිය පුවත්  පාතාලයේ කොටසක් රකින පොලීසියේ මෙහෙයුමක් ! ‘රණාලේ පැට්ටා’ රට යැව්වේ පොලීසියෙන් !

ආර්ථික අර්බුද හමුවේ කම්කරු වෙළඳපොළ “නම්‍යශීලී” (Flexibility) කිරීමේ නාමයෙන් කම්කරු නීති ලිහිල් කළ රටවල් කිහිපයක් පිළිබඳ උදාහරණ පහත දැක්වේ:

ග්‍රීසිය (2010–2012): ණය සහන (Bailout) ලබාගත් කාලසීමාව තුළ සාමූහික කේවල කිරීමේ බලය (Collective bargaining) විමධ්‍යගත කළ අතර, අවම වැටුප 22% කින් කප්පාදු කිරීමට පියවර ගන්නා ලදී.

ස්පාඤ්ඤය (2010 සහ 2012): සිදුකළ නීති සංශෝධන මඟින් සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේදී ගෙවිය යුතු වන්දි පිරිවැය (Dismissal costs) අඩු කළ අතර තාවකාලික සේවා ගිවිසුම් (Temporary contracts) පුළුල් කරන ලදී.

පෘතුගාලය (2011–2013): IMF සහ යුරෝපා සංගම් වැඩසටහන යටතේ සේවයෙන් ඉවත් කිරීමේ දීමනා (Severance pay) සහ අතිකාල දීමනා (Overtime) ගෙවීම් සීමා කෙරිණි.

ඉතාලිය (2014–2015): “Jobs Act” නමින් හැඳින්වූ පනත මඟින් සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේදී පැවති නීතිමය ආරක්ෂාවන් (Article 18 dismissal protections) ලිහිල් කරන ලදී.

ප්‍රංශය (2016–2017): ‘එල් කොම්රි’ (El Khomri) නීතිය සහ මැක්‍රොන් ප්‍රතිසංස්කරණ හරහා ආයතන මට්ටමේ කේවල කිරීම්වලට ප්‍රමුඛතාව ලබා දුන් අතර, සේවයෙන් ඉවත් කිරීමේදී ලබාදෙන වන්දි මුදල් සඳහා උපරිම සීමාවන් (Compensation caps) හඳුන්වා දුන්නේය.

බ්‍රසීලය (2017): සිදුකළ කම්කරු ප්‍රතිසංස්කරණ මඟින් බාහිර සේවා ලබාගැනීම (Outsourcing) නීතිගත කළ අතර, පොදු කම්කරු නීතියට වඩා ආයතනික මට්ටමේ සාමූහික ගිවිසුම්වලට ප්‍රමුඛතාව ලබා දෙන ලදී.

ආර්ජන්ටිනාව (1990 දශකය සහ 2018): IMF වැඩසටහන් යටතේ වැටුප් පාලනය කිරීම සහ සේවා නියුක්තියේ නම්‍යශීලී පියවර අනුගමනය කරන ලදී.

මෙම සියලු අවස්ථාවන්හි දක්නට ලැබුණු පොදු ලක්ෂණය වූයේ, කෙටි කාලීනව සේවකයන් බඳවා ගැනීමේ නම්‍යශීලීභාවය (Hiring flexibility) ඉහළ ගියද, මධ්‍ය සහ දිගු කාලීනව තාවකාලික සහ අනියම් රැකියා වර්ධනය වීමයි. මීට අමතරව වෘත්තීය සමිති බලය පහත වැටීම සහ ආදායම් අසමානතාව සීඝ්‍රයෙන් ඉහළ යාම වැනි බරපතළ සමාජ-ආර්ථික ගැටලු මේ හරහා නිර්මාණය විය.

මේ පසුබිමේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇතුළු ආයතන ගණනාවක් මෙලෙස නීති ලිහිල් කිරීමට විරෝධය දක්වා ඇත.

සන්ඩේ ටයිම්ස් වාර්තාවට අනුව, වත්මන් රජය විසින් ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත සංශෝධන හරහා වෘත්තීය සමිති, සේවා ස්ථාන ආරක්ෂාව සහ සේවය අවසන් කිරීම (Termination of employment) සම්බන්ධ නීති සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට නියමිතය. මෙයින් පැහැදිලි වන්නේ සේවකයන් ඕනෑම වෙලාවක රැකියාවෙන් පන්නා දැමීමටත්, සේවා ස්ථානයේ අනතුරුදායක තත්ත්වයන් හමුවේ වුවද ව්‍යාපාරිකයාගේ ලාභය වෙනුවෙන් සේවකයා බිලිදීමටත් මඟ පෑදෙන බවයි.

ජනප්‍රිය පුවත්  රාජිත රිමාන්ඩ්!

මෑන්පවර් වහල් සේවයට නීතිමය පිළිගැනීමක්


අතිශය බියකරු තත්ත්වය වන්නේ මෙතෙක් අනීතිකව පැවති “මෑන්පවර්” (Manpower agencies) සහ කොන්ත්‍රාත් පදනමේ සේවය නීතිගත කිරීමට රජය සැරසීමයි.

රජය පවසන පරිදි මෙය “Labour Flexibility” හෙවත් කම්කරු නම්‍යශීලීභාවය වැඩි කිරීමට ගන්නා පියවරකි. එහෙත් සැබෑව නම්, ස්ථිර සේවය අහෝසි කර, කිසිදු අර්ථසාධක හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් හිමිකමක් නැති, ඕනෑම මොහොතක ඉවත් කළ හැකි “නවීන වහල් සේවයක්” නීතිගත කිරීමයි.

මෑන්පවර් වැනි තෙවන පාර්ශවීය සේවාවන් (Third-party employment) සහ නිශ්චිත කාලසීමාවකට පමණක් සීමා වූ ගිවිසුම් (Fixed-term contracts) නීතිගත කිරීමෙන් කම්කරු ක්ෂේත්‍රය තුළ සියලු හිමිකම් සහිත ස්ථිර සේවකයන් සහ කිසිදු සුරක්ෂිතතාවක් නැති, ඕනෑම වෙලාවක ඉවත් කළ හැකි තාවකාලික සේවකයන් ලෙස බෙදීමක් නිර්මාණය වනු ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) 2016 දී පෙන්වා දී ඇත්තේ එකම රාජකාරියක් කරන ස්ථීර සේවකයන්ට වඩා මෑන්පවර් සේවකයන්ට අඩු වැටුප් ලැබීමත්, EPF/ETF වැනි අනාගත සුරක්ෂිතතාවන් සඳහා හිමිකම් කීමට ඇති අවස්ථාව ඇහිරී යාමත් සිදුවන බවයි.

එමෙන්ම සේවා ස්ථානයේදී සිදුවන අනතුරු සහ සෞඛ්‍ය අවදානම්වලට වැඩිපුරම ගොදුරු වන්නේ මෙවැනි තාවකාලික සේවකයන් වීමත් බරපතල කරුණකි. එවැනි පසුබිමක කම්කරු නීති සංශෝධනය කරමින් එවැනි සේවකයන් වැඩි වැඩියෙන් බදවාගැනීම බිහිසුණු තත්වයකි.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) පවසන පරිදි, සේවකයන් මෙලෙස කොටස් දෙකකට බෙදීම නිසා කිසිම කෙනෙකු යම් රැකියාවකට හෝ ආයතනයකට බැඳීම සහ වෘත්තීය නිපුණතාව වර්ධනය කරගැනීමට උනන්දුවක් නොදක්වනු ඇත . මෙය දීර්ඝකාලීනව රටේ නිෂ්පාදන ක්‍රියාවලියට පවා අහිතකර ලෙස බලපායි. අවසාන වශයෙන් සිදු වන්නේ, සමාජයේ දුප්පත්-පොහොසත් පරතරය තව තවත් ගැඹුරු වීම පමණි.

වෘත්තීය සමිති මර්දනය සහ සේවා මුර දීර්ඝ කිරීම


නව කම්කරු නීති සංශෝධන යෝජනා අනුව වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීමට අවම සාමාජිකයන් 100ක් සිටිය යුතු අතර, වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට පෙර රහස් ඡන්දයක් පැවැත්වීම අනිවාර්ය වේ. ඇත්තෙන්ම වෘත්තිය සමිතිවල හැසිරීම නිසා ඇතැම් අය මෙවැනි යෝජනා ගැන සතුටු වෙන බව නොරහසකි. අපට හුරුපුරුදු කර ඇත්තේ වෘත්තියසමිති කාරයන් රට වනසන හැටි මිසක කෝට් ඇදගත් ධනවතුන් රට වනසන හැටි නොවේ.

ජනප්‍රිය පුවත්  ඉවත්වනු! යැයි කිව්වත් මාලිමාවේ නගරාධිපතිගේ දුව “බෑ”ම කියයි!බඩුත් සමග බඩු මාට්ටු!

එමෙන්ම, කාන්තාවන්ගේ රාත්‍රී සේවය සඳහා පනවා තිබූ නීතිමය බාධා ඉවත් කිරීම සහ සේවා මුරය පැය 16ක් දක්වා දීර්ඝ කිරීමට ඇති යෝජනාව මඟින් කම්කරුවාගේ ජීවිතය හුදු යන්ත්‍රයක් බවට පත් කරයි. පැය අටක වැඩ දිනය යනු මූලිකම අයිතියකි. එම අයිතියද මෙමගින් අහිමි කරනු ඇත.

රුපියල් 30,000ක සොච්චම් අවම වැටුපක් පෙන්වා, රජය සූදානම් වන්නේ කම්කරුවාගේ ලේ සහ දහඩිය මත ධනපතියන්ගේ “ලාභාංශ” වැඩිකර දීමටයි.

කම්කරුවාට බදු බර – ධනපතියාට බදු නිවාඩු


එක් පසෙකින් කම්කරු නීති කප්පාදු කරන අතරතුර, ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස නිකුත් කළ නව චක්‍රලේඛයක් හරහා මහා පරිමාණ ආයෝජකයන්ට වසර 6 සිට 10 දක්වා සම්පූර්ණ බදු නිවාඩු ලබා දී ඇත. ඒ මෙසේය.


මෙම ආයෝජකයන්ට ප්‍රාග්ධන භාණ්ඩ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය කිරීමේදී පවා බදු සහන හිමි වේ. “රැකියා උත්පාදනය කරනවා” යන ලේබලය යටතේ මොවුන් සිදු කරන්නේ කම්කරු අයිතීන් අහිමි කරන ලද අඩු වැටුප් සහිත සේවාවන් ලබා ගැනීමයි. රටේ පොදු ජනතාව වැට් (VAT) බද්දෙන් මිරිකෙද්දී, ඩොලර් මිලියන ගණන් ලාභ ලබන ව්‍යාපාරිකයන්ට මෙලෙස බදු සහන දීම සමාජ අසාධාරණයේ උපරිමයයි.

වැඩිදුර කියැවීමට

IMF (2016). Time for a Supply-Side Boost? Macroeconomic Effects of Labor and Product Market Reforms in Advanced Economies.

IMF (2019). Fiscal Monitor: Curbing Corruption; Tax Expenditures and Investment Incentives.

ILO (2016). Non-standard Forms of Employment Around the World.

ILO (2019). Working Time and Occupational Safety and Health.

ILO (2020). World Employment and Social Outlook.

OECD (2013). Employment Outlook 2013: Protecting Jobs, Enhancing Flexibility.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x