ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කැපීම!
1 min read
අවසානයේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද සිය පිරිවර සමඟ ඉන්දියාව බලා පිටත්ව ගියහ. ඔහු ඇතුළු පිරිවර එහි ගිය කල්හි මෝඩි තුමෝ සතුටින් ඉපිල යන්නට ඇත්තාහ. ඌරාගේ මාළු ඌරාගේ පිටම තබා කපනෙමියි සිතා, සජිත් ප්‍රේමදාස දිනවීමට උත්සාහ කිරීම වෙනුවට සිදු වූ දේ තමන්ට වඩා වාසිදායක යැයි පවසා සතුටින් සවුදිය පුරන්නට ඇත්තාහ.
ඈත අතීතයේදී මෙන්ම මෑත අතීතයේදී ද ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි වූවන් ලව්වාම තම ඉන්දියානු ව්‍යාප්තවාදී මෙහෙයුම ක්‍රියාවට නංවා ගැනීමට හැකිවීමේ සතුට සකල ඉන්දීය නායකත්වයට සුළු පටු නැත. සජිත් ප්‍රේමදාස දිනුවේනම්, ඔහු ලවා මෙම කටයුතු කරන්නට යාමේදී පාරේ ඉන්දීය විරෝධී සටන් පාඨ හඬ නගමින් පෙළපාළි යන උන් ලවාම සජිත්ටත් වඩා හොඳින් සියලු දේ ඉටු කරගැනීමේ පොටක් පාදා ගැනීමට හැකිවීමේ වැදගත්කම සුළුපටු නැතැයි ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාලුන්ද පවසන්නට ඇත. දැන් මීට එරෙහිව පෙළපාලි යන්නට කිසිවකුත් ලංකාවේ විපක්ෂයේ නැති බව ද දැන, මෝඩි තුමා කොක්හඩලා සිනාවන්නට ද ඇත.
දැන් ශ්‍රී ලංකාවේ මුහුදු පතුලේ හා භූමියේ ඇති සියළු වටිනා ඛනිජ සම්පත් ගවේෂණය, සිතියම්ගත කිරීම හා කැණීම ඉන්දියානු සමාගම් වෙත පැවරීමේ අවබෝධතා ගිවිසුම ද සූදානම් ය. ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත භූමියේ, ‘‘ක්ෂණික ප්‍රතිචාර යුද කඳවුරක්“ (ඉන්දීය හා ඇමෙරිකා ඒකාබද්ධ) පිහිටුවීමට මූලික එකඟතාව ද ඇති වී අවසන් ය. එය ද ඉන්දියානු බලධාරීන්ගේ උවමනාව පරිදි ය. දැන් ඉන්දියානු ‘‘ෆාමකෝපියා“ පිළිගැනීම මගින් ඉන්දියානු අපිරිසිදු බෙහෙත් ඇති පදමට මෙරට ඖෂධ වෙළඳපොළ ගිලගෙන අවසන් ය. ඉතිරිව ඇත්තේ, තෙල් නලය හා විදුලි නලය එලීමත්, ඉන්දීය රුපියල ලංකාවේ ව්‍යවහාර මුදල් ඒකකය බවට පත් කිරීමත්, දෙරටේ රේගු දෙක එකට බද්ධ කිරීමත් ‘‘රාමායන පාලම“ ඉදිකර භෞතික ඒකාබද්ධතාව ඇති කිරීමත් පමණි.
අනතුරුව ඇත්තේ ‘‘එට්කා“ ගිවිසුම අත්සන් කර ලංකාවේ ශ්‍රම වෙළඳපොළ ඉන්දියානුවන්ගෙන් පිරවීම ය. මේ ක්‍රියාදාමය නිමාවීමට නියමිතව ඇත්තේ ‘‘අඛණ්ඩ භාරත්“ ප්‍රතිපත්තිය අනුව, ශ්‍රී ලංකාව සිකීමය මෙන් තම වහල් ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ ඉන්දීය අභිලාෂය සපුරා ගැනීමෙන් ය. සර්දාර් පනීක්කාර් න්‍යාය ජය ලබනුයේ රෝහණ විජේවීර නිර්මාණය කළ ජ.වි.පෙ. ආණ්ඩුවක් යටතේම වීම මෙහි ඇති ජුගුප්සාජනකම කාරණය වේ.
ඉන්දියාව යනු, යුද්ධය ජය ගැනීමෙන් පසු ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ගෙන එන ලද විට, විටෙක ඒවාට පක්ෂවත් තවත් විටෙක ඒවාට නිෂ්ක්‍රීයව සිටිමිනුත් සහය දුන් රටකි. අතීතයේදී පටන් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය නිමවීමට සෑම අයුරකින්ම කටයුතු කළ රටකි. එබඳු රටක ව්‍යාප්තවාදී උවමනාවන් ඉටුකර දීමට 76 වසරක කවර ආණ්ඩුවක්වත් මේ අයුරින් ක්‍රියා කර නැත. අනුර – ටිල්වින් ජ.වි.පෙ. ආණ්ඩුව 78 වසර වන විට කරමින් ඉන්නේ ඒ කටයුත්ත ය.
ජ.වි.පෙ. සමරන ‘‘ඉල්මහ විරුවන්“ යනු ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ක්‍රියා කර සිය ජීවිත පූජා කළ වුන්ය. අදත් ජ.වි.පෙ. ලාබෙට විකුණන්නේ සිය නිර්මාතෘවරයා ඇතුළු එලෙස මරා දැමුණු මිනිසුන්ගේ ජීවිත ය. ඒ විකිණීම එසේ කරන ගමන් රටම ඉන්දියාවට බිලිදීමට මේ ජ.වි.පෙ. නායකයන්ට කිසිදු අවුලක් නැත. ඒ ටික කරගන්න ‘අනුර‘ට කීයක් හරි දී ටිල්වින්ට ඉන්දීය සවාරියක් දීම පමණක් වුව ප්‍රමාණවත් ය.
මේවා දැක දැක ජ.වි.පෙ. කොඩිය අත දරා සිටින අවංක මිනිසුන් සිටීනම් තවදුරටත් ඔහේ බලන් සිටින්නේ කෙසේද? අපට නොතේරෙන ලොකුම ප්‍රශ්නය එයම ය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
