උවිඳුගේ බෝම්බය!
1 min read
උවිඳු කුරුකුලසූරිය යනු, අනුර කුමාරගේ ගජ මිතුරෙකි. ජනාධිපතිවරණයට පෙර සිටම අනුර උවිඳු සමග ඉතා සමීපව ඇසුරු කර තිබේ. ජයවර්ධනපුර සරසවියේ අධ්‍යාපනය ලබන කාලයේ දී උවිඳුට ගැහුවේ ද ජ.වි.පෙ.ය. උවිඳුම කියන පරිදි , ඒ ගැහිල්ල නිසා ඔහුගේ කටේ දත් වලට ද හානි වී තිබේ.
උවිඳු මාධ්‍යවේදියකු ද වේ. දැන් ඔහු ඉන්නේ එංගලන්තයේ ය. එහේ ගතින් සිටියත් ඔහු සිතින් ඉන්නේ ලංකාවේ ය. ජනාධිපති අනුරට ”හු-තෝ” කියා අමතන්නට හයියක් උවිඳුට තිබේ. ටිල්වින් සිල්වා ලන්ඩන් ආ විට වෙනම හමු වී සාකච්ඡා කරන්නට තරම් උවිඳුව ටිල්වින්ට වටින්නේ ය.
මේ මොන ඇසුර තිබුණ ද උවිඳු නිවැරදි යැයි තමා සිතන දේ කීමට ඒ ඇසුර බාධාවක් කර නොගනී. උවිඳු අන් අයගෙන් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන්ම එතැනදී ය. මෙම ලියුම්කරු එකඟ වන හා එකඟ නොවන මත උවිඳුට තිබේ. එය මෙම ලියුම්කරුට උවිඳු ගැන අදහස් පළ කිරීමට බාධාවක් නොවේ. අදහස් අතර විවිධත්වයක් නොවේ නම් ලෝකයේ කිසි ”රහක්” ඇත්තේ නැත.! ඒ ”රහ” විඳින්නට අපට හැකි විය යුතුය.
උවිඳු ජනාධිපති අනුර සමඟ කොතරම් සමීපව ඇසුරු කළ ද, ආණ්ඩුවේ වැරැද්දක් වේ නම් එය හෙලා දැකීමට ඔහු ඒ ඇසුර බාධාවක් කර ගත්තේ නැත. සෑම කරුණක් පිළිබඳවම පාහේ තමන් සතු මතය කීමට ඔහු ඒ ”ඇසුර” අවුලක් බවට පත් කර ගත්තේ නැත. එය, කෙනෙකු තුළ වන දුර්ලභ ලක්ෂණයක් බව කියන්නට අපට නොහැක්කේ නම් අප තරම් කුහකයෝ මිහිපිට තවත් ඇත්තේ නැත.
හරිනි කර ගහගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන උවිඳුට ඇත්තේ විවේචනයකි. ලාල් කාන්තගේ ඇතැම් මත දැක්වීම් ගැන ඔහු තම නිර්දය අදහස එළිපිට දක්වන්නේ ය. ඔහු ආණ්ඩුවට දමා ගසා ඇති අලුත්ම ‘බෝම්බය’ වන්නේ බැඳුම්කර හොරකමෙන් ජ.වි.පෙ. ටත් කොටසක් ගලා ගිය බව ය. ඒ, බැඳුම්කර හොරකමෙන් පසුව ආ ඡන්දය වෙනුවෙන් වියදම් කරන්නට ය. ඔහු එය කියන්නේ, ඒ හොරකමේ ප්‍රබල පාර්ශවකරුවන්ගෙන් දැනගත් තොරතුරු මත පදනම්ව ය.
මේ චෝදනාව නම්, නොදැක්කා සේ සිටීමට අනුරලාට හැකියාවක් නැත. එය, අනුරලාගේ යට ඇඳුමත් ගැලවෙන චෝදනාවක් බව ඉතා පැහැදිලි ය. හොරකම වළක්වනවා යයි කියමින් හා හොරු හිරේ දමන බව සපථ කරමින් බලයට ආ ජ.වි.පෙ. ලංකාවේ සිදු වූ මහා හොරකමෙන් කොටසක් භුක්ති විඳි බව උවිඳු කියන විට එයට අභියෝග කළ හැක්කේ කාටද? එම හොරකමේ පංගුකාරයින් බලයට ඒමට පෙර හොරකමින් තර වුණේ එසේ නම්, බලය ගැනීම යටතේ එය තරවනු ඇත්තේ කවර අන්දමේ හොරකම් වෙතින් ද?
උවිඳු ගහන ලද ‘බෝම්බය’ දැන් ජ.වි.පෙ. යට ඇඳුම ද ගැලවීමට තරම් ප්‍රබල ය. පසු කම්පන ද ඊට වඩා ප්‍රබල වනු නිසැක ය.! ලන්ඩන් සිටින උවිඳු දැන් මේ බරපතල චෝදනාවේ තමන් දන්නා ඉතිරි කරුණු ද රටට කිව යුතුය. එය උවිඳු රටට කරන යහපතක් ය.
ජනාධිපති අනුරට මචං කීමට හැමෝටම නොහැකි ය. උවිඳු යනු ජනාධිපති අනුරට මචං කියන එකම එක්කෙනා වන්නට ද පුළුවන. දැන් ඉතින් මචං උත්තර දීම හැර වෙන කරන්නට කිසිවක් ඉතිරිව නැත. නැත්තන් මචං ”රෙද්දේ ”රෙ-නවා” වලකන්නට ද නොහැකි ය.
හරිනි වගේ මගේ අමුඩේ කැත කළේ කවුදැයි අසන්නට අනුරට නොහැකි ය. බැඳුම්කර හොරකමෙන් තමන් ලද කුට්ටියේ ප්‍රමාණය දන්නෝ වෙනින් කවුරුන් නොව අනුර කුමාරලාම ය. උවිඳු ඉතුරු ටිකත් කියන තුරු අප බලා ඉන්නේ ඒ ගැනත් දැනගන්නට ය.
