රංග දිසානායකගේ ඇත්ත හෙළුව
1 min read
රංගගේ දෙබිඩි රංගනය….
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක රඟ දක්වන්නේ තමන් හැර, ශ්‍රී ලංකාවේ දේශපාලන හා රාජ්‍ය සේවයේ සිටින සියළුම දෙනා, හොරු, දූෂිතයන් නොවේනම් තක්කඩියන් ලෙස සළකනු ලබන භූමිකාවක් ය. ඔහුගේ මේ දිනවල කරන කථා ඇසූ කල ඕනෑම කෙනෙකුට සිතෙන්නේ ඔහු තරම් පරම පවිත්‍ර අයකු මුළු සමාජයම තුළ නොසිටින්නේය කියාය. ජනාධිපති අනුරගේ ද නොමද විශ්වාසය හා පිළිගැනීම දිනා ගැනීමට ඔහු සමත්ව ඇත්තේ මේ රඟ දක්වන “වීර” භූමිකාව හේතුකොටගෙන ය. එහෙත් මේ ඔබ හමුවේ පෙනී සිටින්නේ ඇත්ත රංග දිසානායකද? නොඑසේනම්, ව්‍යාජ රංග දිසානායකද?

ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ධූරයට පත් වීමට පෙර, කටයුතු කළේ බලපිටිය “හයි කෝට්” උසාවියේ විනිසුරුවරයා ලෙසය. අනුර දිසානායක ජනාධිපති වීමට පෙර සිටම රංග දිසානායක විනිසුරුවරයා ජ.වි.පෙ. හිතවතෙකු විය. ඉහත සඳහන් අධ්‍යක්ෂ ධූරය ඔහුට හිමිවීමට එකී හිතවත්කම ද බෙහෙවින් ඉවහල් විය.
ඉතිහාසයේ සරදමට ලක් වූ අගවිනිසුරු…..
කොහොම නමුත්, මෙම තනතුර සඳහා ඒ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ සුදුසුකම් ලබා සිටි පුද්ගලයා වූයේ මාධව තෙන්නකෝන් ය. පනත අනුව නීතිඥයෙකු වශයෙන් සැපිරිය යුතු නිශ්චිත අවම සේවා කාලයක් පිළිබඳ කොන්දේසියට මෙම ධූරය දරණ තැනැත්තා අවනත විය යුතුය. එහෙත් රංග දිසානායක එම කොන්දේසිය සම්පූර්ණ කරන ලද්දෙකු නොවීය. මේ හේතුව මත මාධව තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ රංග දිසානායකට “අල්ලස් හෝ දූෂණ” චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ධූරය දැරීමට ඇති නුසුදුසුකම නීත්‍යානුකූලව පෙන්වා දී ඔහුව එම තනතුරෙන් ඉවත් කරවා නියමිත සුදුසුකම් සපුරා ඇති තමන්ට එම අවස්ථාව උදා කර ගනු පිණිසය.
මීට පෙර, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ද මෙම කොමිසමට මේ අන්දමේම පත් කිරීමක් සිදු කර තිබුණි. ඒ නියමිත සුදුසුකම් සපුරා නොමැති, විනිසුරුවරයෙකු වූ කණිෂ්ක විජේරත්න උක්ත කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කිරීම ය. එහිදී ද, ඊට එරෙහිව අධිකරණය හමුවේ පැමිණිල්ලක් විභාග වුණි. එදා ඒ පිළිබඳ විභාග කළ විනිසුරුවරයෙකු වූයේ වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ය.

“තමන් නඩුව විභාග කරන්න ද? නොමැතිනම් ඔබ ඊට පෙර තීරණයක් ගනු ලබන්නේද? “
යනුවෙන් සුරසේන විනිසුරුවරයා එදා කණිෂ්ක විජේරත්න වෙතින් විමසා සිටියේ ය. ලැබීමට නියමිත තීන්දුව පිළිබඳව මනා අවබෝධයක් තිබූ කණිෂ්ක විජේරත්න මහතා “තමන් තීරණයක් ගන්නා” බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ අනුව, ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ එතෙක් දැරූ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස් විය.
ඉතිහාසයේ සරදමකට දෝ රංග දිසානායකට එරෙහිව මාධව තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල විභාග කිරීමට සිදු වූයේ ද අගවිනිසුරු ධූරයට පත් වීමට පෙර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුව සිටි ප්‍රීති පද්මන් සුරසේන මහතාටම ය. ඔහු මෙවර, පෙර දී කණිෂ්ක විජේරත්නට යොමු කළ ප්‍රශ්නය රංග දිසානායකට යොමු කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ නඩු විභාගය මාස 6 කට එහා පැත්තට කල් දැමීම ය. ඒ, තම අගවිනිසුරු ධූරය පිළිබඳ බලාපොරොත්තුව ඉටුවේ ද, නොවේද යන ප්‍රශ්නයට පිළිතුරු ලැබීමට නියමිත කාලය ගත වන තුරුය. දැන් කෙසේ හෝ වේවා ප්‍රීති පද්මන් සුරසේන මහතා ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ධූරයට පත්ව සිටී. ඒ පිළිබඳව රංග දිසානායක අධ්‍යක්ෂ ජනරාල්වරයා සිටිනුයේ මහත් සතුටෙනි. (ප්‍රීති පද්මන් සුරසේන මහතා අගවිනිසුරු බවට පත් වූ කතාවේ UnderGround තොරතුරු ඉදිරියේදී වෙනම ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.)
ආන්දෝලනාත්මක පෞද්ගලික ජීවිතය….
ඒ ආකාරයෙන්, නියමිත සුදුසුකම් සපුරන්නේ නොමැතිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්ව සිටින රංග දිසානායක මහතාගේ පෞද්ගලික ජීවිතය ද ආන්දෝලනාත්මක ය. රංග දිසානායක මහතා විවාහ වී සිටියේ දිලිනි විලත්ගමුව මහත්මිය සමගය. ඇය නීතිඥවරියක් වූ අතර පළමුව සේවය කළේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ ය. පසුව දිලිනි, මහ බැංකුවේ නීති අංශයට සහකාර අධ්‍යක්ෂවරියක ලෙස පත්වීම ලැබුවා ය. ඒ කාලය තුළ ඇයට රංග මහතාගේ විවාහය හරහා දරු සම්පතක් ද ලැබී තිබුණි.
දිලිනි මහ බැංකුවේ සේවය කරන කාලයේ දී ඇයගේ හිතවත්ම යෙහෙළියක් වූයේ අමිලා දහනායක මහත්මිය යි. අමිලා විවාහක එක් දරු මවක් විය. 2005 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂවරියක ලෙස පත්වීම ලැබ සිටි ඇය, 2017 ජනවාරි තෙක්, මහ බැංකුවේ සේවය කළා ය. එම සේවා කාලය තුළ සිදු වූ බරපතල කරුණ නම්, කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාවට සැකකරුවෙකු ලෙස පිළිගැනෙන එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ ආන්දෝලනාත්මක චෝදනාව ය. මෙකල, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ලේකම්වරිය ලෙස කටයුතු කළේ අමිලා දහනායක ය. ඒ, 2015 පෙබරවාරි සිට 2016 ජූනි දක්වා ය. මේ කාලය තුළ ඇය අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ඉතා සමීපව කටයුතු කළ බව මහ බැංකුවේ සෙස්සන්ට රහසක් වූයේ නැත.

2016 ජූනි අග අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නික්ම යෑමෙන් පසු අමිලා මහත්මියට මහ බැංකුව තුළ යම් අසීරුතාවන්ට පෞද්ගලිකව මුහුණ පෑමට සිදු විය. එබැවින්, මහේන්ද්‍රන් මහතාගේ ඉල්ලීම පරිදි එවකට අගමැති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන්, අමිලා මහත්මියට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තනතුරක් ලබා දෙන ලදී.
අපගේ මූලික අවධානය යොමු වන එවකට විනිසුරු රංග දිසානායක හා අමිලා අතර නව ප්‍රේම සම්බන්ධයක් ඇති වූයේ මෙකල ය. ඒ සමගම රංග දිසානායක මහතාගේ නීත්‍යානුකූල බිරිඳ වූ දිලිනි විලත්ගමුව මහත්මිය ද මහ බැංකුවේ ඉහළ තනතුරක සේවය කළ වෙනත් පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබුණි. එම සියළු සබඳතා හේතුකොටගෙන රංග සහ දිලිනිගේ විවාහය බිඳ වැටී, මේ වන විට රංග සහ අමිලා එකට ජීවත්වන පරිසරයක් නිර්මාණය කරගෙන තිබේ.
වියානා ප්‍රේම සවාරිය….

මේ පසුබිම් කතාව අපට වැදගත් වන්නේ, පසුගිය දා අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඕස්ට්‍රියාවේ වියානා අගනුවර පැවැති නිල සමුළුවකට සහභාගී වීමට රංග දිසානායක මහතා රටින් නික්ම ගියේය. දින ගණනාවක් පුරා පැවැති මෙම සමුළුවට සහභාගී වීමට අදාළ බොහෝ වියදම් පියවන ලද්දේ ශ්‍රී ලංකා රජයේ අරමුදල් වෙතිනි. ප්‍රශ්නය වන්නේ, මෙම සමුළුවට තමන්ගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස හඳුන්වා අමිලා දහනායක මහත්මියව ද රැගෙන යාමය. මෙබදු විදේශ නිල සංචාරයකදී රජයේ වියදමින් තමන්ගේ පෞද්ගලික ලේකම්වරියක හෝ වරයකු රැගෙන යාමට කිසිදු ආයතනයක අධ්‍යක්ෂ ජනරාල්වරයකුට නීත්‍යානුකූල බලයක් හෝ පදනමක් ඇත්තේ නැත. එසේ තිබියදී, රජයේ මුදල් අවභාවිතය ගැන ලෝකෙටම බණ දෙසන රංග දිසානායක මහතා තම නොනිල සහකාරියව පෞද්ගලික ලේකම් ලෙස හඳුන්වා වියානා රැගෙන ගියේ කෙසේ ද? ඒ සඳහා නීති විරෝධීව වැය කරන ලද මහජන මුදල් ප්‍රමාණය කොපමණ ද? මේ ගැන ප්‍රශ්න කිරීමට කොන්දක් සහිත එක විපක්ෂ මන්ත්‍රීවරයකු හෝ පක්ෂ නායකයකු පාර්ලිමේන්තුව තුළ නැත්තේ මන් ද? ජනාධිපතිවරයා තම රට සවාරි ගොස් ඉතිරි කර ගන්නා මුදල ගැන පවා හුවා දක්වන ආණ්ඩුවක ප්‍රතිරූපයට, රංග දිසානායකගේ හා අමිලා දහනායකගේ මෙම වියානා ප්‍රේම සවාරිය කොතරම් දුරට ගැලපෙන්නේ ද? රංග දිසානායක අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙන්නේනම්, එවිට ඔහුගේ “සද්භාවය” අනාවරණය වනු නිසැකය. නමුත් සිදු වන්නේ ඔහුගේ අසම සම “අත්අඩංගුවට ගැනීමේ” ප්‍රාතිහාර්යයේ නාමයෙන්, වියානා ප්‍රේම සවාරියට වැය කරන ලද මහජන මුදල් තොගය කාලයේ වැලිතලාව මත වැලලී යාමය. අප ඊට ඉඩ දිය යුතු ද?
UnderGround ප්‍රධාන කර්තෘ
1 thought on “රංග දිසානායකගේ ඇත්ත හෙළුව”